කිව්ව විදියට බස් නෑ : ගම්පහ උසස්පෙළ සිසුහු කිලෝමීටර් 10-12 පයින් යති

ඇඳිරිනීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවල උසස්පෙළ විභාගයට ලියන සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට බස් රථ නොමැතිවීම නිසාා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ශාලාධිපතිවරු කිහිප දෙනෙක්ම MediaLK.com වෙත ප්‍රකාශ කළහ.

පසුගිය දින කිහිපයේ ඇතැම් සිසුන් කිලෝමීටර 10ක් 12ක් පාගමින්ම පැමිණ ඇති බවත්, දිනපතා එසේ කිරීමෙන් ඔවුන්ගේ විභාග කටයුතුවලට පවා බාධා පැමිණෙන බවත් විභාග රාජකාරි කරන කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ.

ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් කිහිපයක මෙන්ම නගරයෙන් පිට පාසල් කිහිපයක ද විභාග කටයුතු පැවැත්වෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිට එම පාසල්වලට සිසුහු පැමිණෙති. ඇඳිරිනීතිය නිසා සාමාන්‍යයෙන් ධාවනය වන බස් රථ ධාවනය නොවන අතර ලංගම බස් රථ කිහිපයක් පමණක් නිශ්චිත ප්‍රදේශ කිහිපයකට ධාවනය වුවද එය ප්‍රමාණවත් නොවන බව සිසුහු පවසති.

ඇතැම් අවස්ථාවල 11.30 වන විට විභාග කටයුතු අවසන් වුවද සවස 4.30 පමණ වන තෙක් බස් රථයක් පැමිණෙන තුරු සිටීමට සිදුවන බවත්, එමගින් තමන් දැඩි පීඩාවට පත්වන බවත් ඔවුහු පවසති. බස්රථ සීමිත ප්‍රදේශවලට පමණක් යන නිසා ඇතැම් විට පයින් කිලෝමීටර 10ක් 12ක් පමණ යාමට සිදුවන අවස්ථා ද ඇති බව සිසුහු සඳහන් කරති.

”ඊයෙත් එක ළමයෙක් කිලෝමීටර 12ක් පයින් ගියා යන්න වාහන නැතුව” යැයි විභාග මධ්‍යස්ථාන නිලධාරියෙක් සඳහන් කළේය.

”යන්න එන්න බස් නෑ. ඉතින් ගොඩක් දෙමාපියෝ සල්ලි දීලා ත්‍රීවිල්වල එක්කන් එන්නේ. ඔවුන්ට දවසකට ලොකු ගණනක් වියදම් වෙනවා. සමහරු ණය වෙලයි ළමයි එක්කන් එන්නෙත්” යැයි විභාග රාජකාරි කරන ගුරුවරයෙක් ප්‍රකාශ කළේය.

විභාග අවසාන වෙන වෙලාවල් අනුව දිනපතා සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බස්රථ ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

Previous articleපාකිස්තානයෙන් හාල් ගෙන්වීම : කැබිනට් පත්‍රිකාවේ සහ කැබිනට් ප්‍රකාශකගේ කතාවේ පරස්පරතාවක්
Next articleවනාතවිල්ලුව සැකකරුවන් නිදහස් කරන්න අත්සන් කළ කෙනා වගකීම බාරගත යුතුයි – මෛත්‍රී : අත්සන් කර ඇත්තේ මෛත්‍රී – කොමිසම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here