ඉන්ධන මිල වැඩිවීමෙන් ජනතාවට දෙන වියළි සලාක පාර්සලයේ වියදමත් ඉහළ⁣ට – කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක

මෙවැනි අසීරු අවස්ථාවක ජනතාවට තවත් බර පැටවීමෙන් වළකින්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ නගරයේ ජනතාවගෙන් සියයට හැටක් පමණ සිටින්නේ දෛනික වැටුපෙන් ජීවත්වන පිරිසක් බව ද, ඒ අයට මේ වන විට තම ජීවනෝපාය මාර්ග අහිමි වී ඇතැයි ද, රජයෙන් දෙන රුපියල් 5,000 මේ වන විට කොළඹ නාගරික බල ප්‍රදේශයේ බොහෝ පිරිසකට ලැබී නැතැයි ද ඇය පැවසුවාය.
මේ වන විට එම මුදල ලැබී ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පමණක් බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදිය යුතු එම රුපියල් 5,000 දීමනාව අපක්ෂපාතීව සහ දේශපාලන භේදයකින් තොරව ග්‍රාමීය කමිටු හරහා හැකි ඉක්මනින් ජනතාවට ලබා දීමට කටයුතු කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් නගරාධිපතිනිය කීවාය.
කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා වියළි සලාක මලු බෙදා දෙන ස්ථාන කිහිපයක් නිරීක්ෂණයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් කනගාටුව ප්‍රකාශ කරන බවත්, ඉන්ධන මිල වැඩිවීමත් සමග ජනතාවට ලබාදෙන වියළි ආහාර පාර්සලයක මිල පවා වැඩි වන බවත්, ඉන්ධන මිල වැඩිවීමත් සමග අනෙකුත් සියලු සේවාවන් සහ භාණ්ඩවල මිල වක්‍රව ඉහළ යන බවත් ඇය පැවසුවාය. මේ අවස්ථාවේදී දේශපාලනය සහ ව්‍යාපෘති සිදු කරනවාට වඩා වැදගත් වන්නේ ජනතාවගේ බඩගින්න නිවීම බව ද ඇය පෙන්වා දුන්නාය.
ඇය මෙහිදී වැඩිදුරටත් මෙසේ ද කීවාය.
‘කොළඹ නගරයේ ජනතාවගෙන් සියයට 60ක් පමණ සිටින්නේ දෛනික වැටුපෙන් ජීවත්වන පිරිසක්. ඒ අයට මේ වන විට තම ජීවනෝපාය මාර්ග අහිමි වෙලා තියෙනවා. මම පෞද්ගලිකව මැදිහත් වෙලා නගර සභාව හරහා සිදුකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති ගණනාවක් නතර කරලා, ජනතාවගේ බඩගින්න නිවන්න පවුල් 115,000ක් සඳහා වියළි ආහාර මලු ලබාදීමට කටයුතු කළා.
මේ අවස්ථාවේදී දේශපාලනය කරනවාට වැඩිය, ව්‍යාපෘති කරනවාට වැඩිය, ජනතාවගේ බඩගින්න නිවන එකයි වැදගත් වෙන්නේ. මේ අවස්ථාවේදී ජනතාවට ලබා දිය හැකි සාමාන්‍ය පහසුකම් හැකි අයුරින් ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා. නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට අවශ්‍ය බෙහෙත් ජංගම වෛද්‍ය සායන හරහා ඔවුන්ට ලබාදීම ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මේ වන විට සිදුකරගෙන යනවා. ගංවතුරින් පීඩා විඳි ජනතාව සඳහා දිනකට ආහාර පාර්සල් 10,000ක් ලබා දීමට කටයුතු කළා. මහජන ආධාර දෙපාර්තමේන්තුව හරහා පවුල් 13,000කට මහජන ආධාර මුදල් ලබාදීමට කටයුතු කළා.
අපි නගර සභාවක් හැටියට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු සියල්ලම අපේ රාජකාරිය නොපිරිහෙලා කොවිඩ් කියලා බලන්නැතුව මරණයත් එක්ක සටන් කරමින්  සිදු කරනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපට ලබාදිය යුතු සහන ටික අපට ලබාදෙන්න කියන එක. මේ අවස්ථාවේදී ජනතාව ඉතාමත් අසීරු තත්ත්වයකින් ඉන්නේ. ඉන්ධන මිල වැඩි වීම ගැන මම කනගාටුව ප්‍රකාශ කරනවා. ජනතාවගේ බඩට වැදිලා තියෙන අවස්ථාවක මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල වැඩි වුණොත් අපි මේ ලබාදෙන වියළි ආහාර පාර්සලයේ මිල පවා වැඩි වෙනවා. ඉන්ධන මිල වැඩි වීමත් සමග අනෙකුත් සියලු සේවාවන් සහ භාණ්ඩවල මිල වක්‍රව ඉහළ යනවා. ඉන්ධන මිල පාලනය කර ගැනීමේ හැකියාවක් අපට තිබිය යුතුයි. මේ අවස්ථාවේදී ජනතාවට තවත් බර පටවන්න එපා කියලා මම රජයෙන් ඉල්ලා සිටිනවා.’

Previous articleඅරමුණ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම නොවේ – ෆේස්බුක් සටහනක් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සහ අපි !
Next articleරජය විවේචනය කරන්න ඕනෙම කෙනෙකුට පුළුවන් : ඒකට අත්අඩංගුවට ගන්න බෑ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here