රජය විවේචනය කරන්න ඕනෙම කෙනෙකුට පුළුවන් : ඒකට අත්අඩංගුවට ගන්න බෑ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ

පුරවැසියන්ට සිතීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා සේම රජයක් විවේචනය කිරීමේ නිදහස ද තිබෙන බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා සඳහන් කළේය.
අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රචාර පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී නීතිඥවරයා මේ බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වේරගොඩ මහතා මෙසේ ද පැවසීය.
සිතීමේ සහ කතා කිරීමේ නිදහස පිළිබඳ පැහැදිලි කළොත්?
තමන්ට හිතන්න සහ කතා කරන්න, හිතෙන දේ කියන්න තියෙන අයිතිය වෙනුවෙන් වසර දාහකට වැඩි කාලයක් තිස්සේ සිට මිනිස්සු පෙනීඉඳලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි, භාෂණයේ නිදහස කියලා අපි මේ කතා කරන්නෙ. ඒ අනුව 1218 මැග්නාකාටා ලියවිල්ලේ සිට මේ අයිතිවාසිකම් ගැන කතාකරලා තියෙනවා. මේ අයිතිවාසිකම් ගැන කතාව ඇතිවෙන්නේ මෙහෙමයි. අතීතයේ ඉඳන්ම පාලකයන්ට අවශ්‍ය වුණා, අත්තනෝමතික ලෙස වැඩ කරන්න.  ඒක අදටත් වෙනවා. ඒ අත්තනෝමතිකත්වයට මිනිස්සු විරුද්ධ වුණු නිසා තමයි, මේ අයිතිවාසිකම් කියන කතාව එන්නෙ. ඒ අනුව මිනිස්සුන්ට අයිතිවාසිකම් තිබෙන බව හැමෝම පිළිගත්තා.

ජීවිතවලින් වන්දි ගෙවලා ගත් අයිතියක්

ඒ අයිතිවාසිකම්වල එක දෙයක් තමයි, අපිට හිතන්න පුළුවන් බව සඳහන් කිරීම. හිතනවා කියන කාරණය නවත්වන්න කාටවත් බැහැ. මට මානසිකව මගේ ඔළුවෙන් හිතෙන ඕනෙම දෙයක් හිතන්න පුළුවන්. ඒ හිතන හැමදේම මට කියන්නත් පුළුවන්. මම හිතලා ඒ දේ කියනවා නම් තව කෙනෙක්ට එය අහන්නත් පුළුවන්. චින්තනයට ඇති නිදහස ම අදහස් ප්‍රකාශ කිරීමටත් ඒ අදහස් ලබාගැනීමටත් තිබෙනවා. යම් කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරනවා වගේම ඒ අදහස් ලබාගැනීමටත් ජනතාවට අයිතියක් තිබෙනවා. උදාහරණයක් ලෙස යම් කෙනෙක් රූපවාහිනියේ කතා කරනවා නම් ඒ කතා කරන දේ බැලීමටත් එයින් යම් දෙයක් ඉගෙන ගැනීමටත් මට අයිතියක් තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීම සහ අදහස් ලබාගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මූලිකවම කියන්න තිබෙන්නේ මේ දේවල් ටික. මේ සම්බන්ධනේ ලබාදුන් නඩු තීන්දු ගණනාවක් තිබෙනවා. මේ අයිතිය සුරක්ෂිත කරගන්න අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්සු ලක්ෂ ගණනක් ජීවිතවලින් වන්දි ගෙවලා තිබෙනවා. ඒ ආකාරයට තමයි මේ අයිතිය දිනාගෙන තිබෙන්නේ.
ඒ නිසා අසත්‍ය ප්‍රකාශ කළා කියලා, අන්තර්ජාලයේ තමන්ට මඩ ගැහුවා කියලා මේ අයිතිය කාටවත් හිතුමතේ නවත්වන්න බැහැ. යම් අයෙක් අසත්‍ය ප්‍රකාශ කරනවා නම්, ඒවට විසඳුම් හොයන්න අවශ්‍යයි. එහෙම නැතිව මේ කියන විදිහට පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිවේදන නිකුත් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඒ වගේම අදහස් ප්‍රකශ කිරීමට සීමා පනවන්න පුළුවන් ආකාරය ගැන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියේ සඳහන් කර තිබෙනවා. ඒම කරුණු මත පමණයි සීමා පනවන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව රජයට හිතෙන-හිතෙන දේවල් සීමා කිරීමේ අයිතියක් රජයට නැහැ.
රජයක්, රජයේ ක්‍රියාවක් විවේචනය කිරීමට ජනතාවට අයිතියක් තිබෙනවා නේද?
මේ රජය පමණක් නෙමෙයි, සෑම රජයක්ම තමන්ගේ ප්‍රතිරූපය කෙරෙහි ඉතාමත්ම මර්දනකාරී ආකාරයටයි කටයුතු කරන්‍නේ. කිසිම කෙනෙක් කැමති නැහැ අපි නෙමෙයි හොඳටම කළේ කියන්න. හැමෝම කැමති අනෙක් අයට වඩා අපි හොඳයි කියලා කියන්න. ‘අපි තමයි හොඳටම කළේ’ කියන කතාව මතුවෙන්නේ එතැනින්. තම-තමන්ගේ මහන්තත්වකම තමයි ඒ විදිහට පෙන්වන්නේ. එහෙම වුණාම රජය කියන හැමදෙයක්ම පරම සත්‍යය කියලා තමයි තීරණය කරන්න වෙන්නේ. මේ නිසා රජයට අවාසිදායක දෙයක් හෙළිවන එක වළක්වන්න තමයි රජය උත්සාහ කරන්නේ. අපේ රටේ කොහොමත් තිබෙන්නේ පරපීඩිත මානසිකත්වයක්. අපි මෙච්චර කාලයක් දැනගෙන හිටියේ රජයේ තොරතුරු එළියට දීම අපරාධයක් කියලා. මොකද 2016 වෙනකම් තිබුණේ රාජ්‍ය රහස් පනතක්. ඒ අනුව රාජ්‍ය රහස් පනතක් කියලා ඔ්නෑම දෙයක් හංගන්න පුළුවන්. 2016න් පසුව තමයි තොරතුරු දැනගැනීමේ පනතක් ලංකාවට හඳුන්වලා දුන්නේ. එහෙම හඳුන්වලා දුන්නත් රජය තවමත් ඉන්නේ අර පරණ සිතුවිල්ල තුළ.  වසංගතයේ තොරතුරු ඉදරිපත් කරන්න එපා කියලා දොස්තරලට චක්‍රලේඛ නිකුත් කරන්නේ, ආණ්ඩුවේ සුළු අතපසුවීම් විචේනය කරන අයට විරුද්ධව නඩු දානවා කියලා කියන්නේ මේ නිසා.
වැරැද්දේ තරම තීරණය කරන්නෙ කවුද?
යමක් සුළු වැරැද්දක් හෝ ලොකු වැරැද්දක් කියලා කවුද තීරණය කරන්නේ. එහෙම කියනවා නම් ආණ්ඩුව වාහන ගෙන්නන්න යන සිද්ධිය ගැනවත් කතා කරන්න බැහැ. මොකද ආණ්ඩුව කියනවා ඒවා ගෙන්වන්නේ නැහැ කියලා කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා. එතැනින් එහාට ඒ ගැන කතා කරන්න එපා, එහෙම කතා කළොත් කතා කරන හැමදෙයක්ම බොරු කියලා කියන්න ආණ්ඩුවට බැහැනෙ.
නමුත් අද වන විට ලෝකය තවත් ඉදිරියට ගිහින් තියෙන්නේ. තොරතුරු හෙළිකරන්නන්ව ලෝකයේ හැමතැනම පිළිගන්නවා. ඒ කියන්නේ රජය සිදුකරන අකටයුත්තක්, වැරැද්දක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්න අවශ්‍යයි.
ඇමරිකාව නීතිවිරෝධීව ඒ රටේ දුරකතන සංවාදවලට සවන්දෙනවා කියලා ලෝකය දැනගත්තේ කොහොමද? ස්නෝඩ්න් නමැති පුද්ගලයා එය හෙළිදරව් කරපු නිසා. මේ හෙළිදරව්ව කරපු නිසා ස්නොඩ්න් අත්අඩංගුවට ගන්න ගියා. ඒ නිසා ඔහු රුසියාවට පැනලා ගියා. ඇමරිකාවේ එහෙම දෙයක් කළා කියලා ලංකාවෙත් ඒ දේ කරන්න බැහැ. භාෂණයේ අයිතිය යම්-යම් සීමාවන්ට යටත් කියලා ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ සීමාවන් මොනවද කියලායි අපි හදුනාගන්න අවශ්‍ය වෙන්නෙ. ඒ සඳහා තියෙන හොඳම නඩු තීන්දුව විදිහට සුනිලා අබේසේකර එදිරිව ආරිය රූබසිංහ නඩු තීන්දුව පෙන්වන්න පුළුවන්.

සුනිලා අබේසේකර එදිරිව ආරිය රූබසිංහ

යුද්ධය පැවති කාලයේදී නිසි බලධාරියා කියලා කෙනෙක් පත්කරලා තිබුණා රජයෙන්. මාධ්‍යයේ පළවෙන්න නියමිත යුද්ධය පිළිබඳ තොරතුරු ඔහුට කපාහරින්න පුළුවන්. මෙයට විරුද්ධව දාපු නඩුවේ තීන්දුව තමයි සුනිලා අබේසේකර එදිරිව ආරිය රූබසිංහ කියලා මම සඳහන් කළේ. මේ නඩුවේදී ශ්‍රේෂ්ධාධිකරණය කියනවා, නීතියකින් අවසර දීලා තියෙන දේවල් විතරයි නවත්වන්න පුළුවන් කියලා. එහෙම නැතිව රජයට අවශ්‍ය හැමදේම නවත්වන්න බැහැ කියලා. හදිසි නීතිය යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු නිසි බලධාරියාට නවත්වන්න පුළුවන්. යුද්ධ තත්ත්වය තුළ එය සාධාරණයි. ඒ නඩු තීන්දුව දෙන්නේ ඒ විදිහට.
ඒ කාලේ එක් පුවත්පතක සතිපතා තත්ත්වය වාර්තා කිරීමේ ලිපියක් පළවුණා. මේ නිසි බලධාරියාගේ අසාධාරණ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීම අනුව ඒ කාලයේ මාධ්‍ය කොච්චර බලවත්ද කියලා කියන්න පුළුවන්. මොකද එක සතියක මේ පුවත්පතේ මේ ලිපිය පළවන පිටුවෙම නිසි බලධාරියා විසින් කපාහරින ලදි කියලා පළකළා. මට මතක විදිහට පුවත්පතේ මුළු පත්තර පිටුවම කළුපාටින් පළකළා. ඒ කියන්නේ එයට විරෝධතාවය පළකිරීමක් කළේ. ඒ තරමට අපේ මාධ්‍ය බලවත් වුණා. රජයට අවශ්‍ය විදිහට ඇත්ත කියන්නේ මොකක්ද කියලා තීරණය කරන්න බැහැ. ඇත්ත කියන්නේ ඇත්ත. එච්චරයි.
යම් කරුණක් අර්ථ නිරූපණය කිරීමේදී රජයට සහ ජනතාවට වෙනස් මත තියෙන්න පුළුවන්. එහෙම වෙනස් මත ඉදිරිපත් වුණා කියලා කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න බැහැ. ඒත් පසුගිය සතියේදී මෙවැනි අත්අඩංගුවට ගැනීම් දක්නට ලැබුණා.
අසත්‍ය පුවත් සම්බන්ධ මේ ආසන්නතම සිදුවීම ගැන කතා කරනවා නම්?
අන්තර්ජාලයේ අසත්‍ය පළකළ බවට සඳහන් කරමින් පසුගිය සතියේ තරුණයෙක් අත්අඩංගුවට ගත්තා. එතැනදි යම් මතයක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් මතයක් ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් අත්අඩංගුවට ගන්න බැහැ. යම් දෙයක් සත්‍යද, අසත්‍යද කියන කාරණය ගැටළුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පිළිබඳව බලන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මත පදනම් වී පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න බැහැ.
සමාජ මාධ්‍ය තහනමක් පිළිගත හැකිද?
කිසිවෙකු හෝ  සමාජ මාධ්‍ය තහනම් කරන්න යනවා කියලා කියන්නේ මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි කියලා රජය පිළිගන්නවා කියන කාරණයයි. මොකද සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් පමණද හුවමාරු වෙන්නේ. හොඳ දේවල් කොච්චර හුවමාරු වෙනවද? සත්‍ය පුවත් හුවමාරු වෙනවා. ඒ කියන්නේ අපිට පිහියකින් පාන් කපන්නත් පුළුවන්, මිනිසෙකුගේ බෙල්ල කපන්නත් පුළුවන් වගේ දෙයක්. එහෙම පිහියක් අතේ තිබුණු පමණින් මිනීමැරුමකට මාව අත්අඩංගුවට ගන්න බැහැනේ. එහෙම කියලා පිහිය භාවිතය තහනම් කරන්නත් බැහැනේ. අන්න ඒ වගේ තමයි මේ තීරණය ගැනත් කියන්න තියෙන්නේ.  සමාජ මාධ්‍ය නියාමනය කිරීම ගැන විවිධ රටවල් එක-එක දේවල් කරලා තියෙනවා. ඉන්දියාව එහෙම දෙයක් කරන්න ඇවිත් ඒ ගැන විශාල ආන්දෝලනයක් ඇතිවෙලා තිබෙනවා. ලංකාවේ නීතිමය පිළිවෙත තියෙන්නේ නිදහස් සමාජයක් උදෙසා. ඒ නිසා මේ කියන විදිහට කරන්න අමාරුයි.

ජනතාව දැනුවත් විය යුතුයි !

අපේ රටේ දේශපාලනඥයන්ට අසත්‍ය සහ හාස්‍ය තේරෙන්නේ නැහැ. එහෙම බලද්දි අනූව දශකයේ සහ ඊට කලින් හිටපු දේශපාලනඥයන් හොඳයි. මොකද ඒ දවස්වල කොච්චර හාස්‍ය දේවල් ගියාද. මේ වනවිටත් ඇමරිකාවේ හැමදාම හවසට ඒ රටේ ජනාධිපතිවරයා හාස්‍යයට ලක්කරනවා. ඒ අතින් බලනකොට අපි පිටුපසින් ඉන්නේ. විහිළු කරන්න, උපහාසයට ලක්කරන්න, ප්‍රශ්න අහන්න අයිතියක් තිබෙනවා. විශේෂයෙන් දේශපාලකයන්ව. රජයක් ප්‍රශ්න කරන්න අයිතියක් තිබෙනවා. කොවිඩ් එන්නත් දීම ගැන ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න කිරීම මත රජය අපහසුතාවයට පත්කරනවා කියලා නඩු දාන්න පුළුවන්ද? එහෙම කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍යයි.
නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා MediaLK සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ සම්මුඛ සාකච්ඡාවක් පහතින්….

Previous articleඉන්ධන මිල වැඩිවීමෙන් ජනතාවට දෙන වියළි සලාක පාර්සලයේ වියදමත් ඉහළ⁣ට – කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක
Next articleවාහන ගෙන්වීමට එරෙහිව අපි ලබන සතියෙ නඩු දානවා : පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන්නෙ වැරදි ප්‍රකාශ – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here