අරමුණ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම නොවේ – ෆේස්බුක් සටහනක් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සහ අපි !

 

(තරිඳු ජයවර්ධන)
‘චින්තන ජිහාදය’ නම් වචනයක් භාවිත කිරීම මත ජාතීන් අතර වෛරය ඇති කරවීම වැනි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ අප්‍රේල් 09දා මහනුවර ප්‍රදේශයේ රම්සි රාසික් නම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි ඔහු මේ වන විට ඇප මත සිටී.
ඔහු 2020 අප්‍රේල් 02දා ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණේ මුස්ලිම්වරුන්ට එරෙහිව දැවැන්ත වෛරී, ජාතිවාදී වැඩපිළිවෙලක් දියත් වන බවයි. පෑන සහ කීබෝඩය භාවිත කර ජනතාවට සත්‍ය වටහා දෙමින් ඊට මුහුණ දිය යුතු බව ඔහු සිය සටහනේ සඳහන් කර තිබිණි. එහි මතවාදී අරගලයක් යන්නට භාවිත කර තිබුණේ ‘චින්තන ජිහාදය’ යන්නයි. චින්තන ජිහාදය යනුවෙන් සඳහන් කර වරහන් ඇතුළේ මතවාදී අරගලයක් යනුවෙන් ද සඳහන් කර තිබුණත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන අයී.සී.සී.පී.ආර්. පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර, කාලයක් යන තුරු ඇප ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කළේය.
ෆේස්බුක් සටහනේ ඇති වචනයක් අල්ලාගෙන රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තද, රහස් පොලිසිය කළ යුතුව තිබුණේ ඔහු එම සටහනින් පෙන්වා දුන් කාරණය ගැන අවධානය යොමු කිරීම ය. රම්සි රාසික් අත්අඩංගුවට ගැනීමට පෙර සහ පසු ෆේස්බුක්හි යම් යම් දේ පළ කළැයි කියමින් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ. මෑතම උදාහරණය වූයේ ‘වට්ස්ඇප්’ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ  ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ තොරතුරු තාක්ෂණ සංවිධානයක තරුණයෙකු වන රජිව් යසිරු කුරුවිටගේ මැතිව් අත්අඩංගුවට ගැනීම ය. මෙම සිදුවීමේදී ද රහස් පොලිසිය සමස්තය ගැන පොදු අවබෝධයක් නොගෙන කටයුතු කළ බවක් පෙනිණි.

අසල්වැසියාගේ තත්ත්වය සහ පැට්‍රීෂියා

ශ්‍රී ලංකාව මෙසේ ක්‍රියා කරන්නේ ලෝකයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පුළුල් කරන අධිකරණ ක්‍රියාවලි සහ නීතිමය ක්‍රියාවලි සිදුවෙද්දී ය. ඊට හොඳම උදාහරණය ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු වන පද්ම ශ්‍රී සම්මාන ලාභී පැට්‍රීෂියා මුඛීම්ට (Patricia Mukhim) එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැරදි බවට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවයි. යම් ප්‍රකාශයක වචනයක් දෙකක් හෝ එක් වාක්‍යයක් අල්ලාගෙන චෝදනා කිරීම වැරදි බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ 2021 මාර්තු 25 වැනිදා ය.
ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 153 (ඒ), 500 සහ 505 (1) (සී) යටතේ මාධ්‍යවේදිනියට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
153(ඒ) වගන්තියෙන් කියැවෙන්නේ ආගම, ජාතිය, උපන් ස්ථානය, පදිංචිය, භාෂාව යනාදිය මුල්කරගත් විවිධ කණ්ඩායම් අතර සතුරුකම ප්‍රවර්ධනය කිරීම සහ සමගිය පවත්වා ගැනීමට අගතිගාමී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ය. 500 වැනි වගන්තියෙන් කියවෙන්නේ අපහාස කිරීම සඳහා දෙන දඬුවම ගැන ය. 505 (1)(සී) වගන්තියෙන් කියවෙන්නේ වෙනත් ඕනෑම පංතියකට හෝ ප්‍රජාවකට එරෙහිව කිසියම් වරදක් කිරීමට පෙළඹවීමේ හෝ උසිගැන්වීමට ඉඩ ඇති ඕනෑම පන්තියකට හෝ ප්‍රජාවකට ලබා දෙන දඬුවම ගැනයි.
ඉන්දියාවේ සහකාර පොලිස්පති විසින් 2020.07.04 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලද අතර, ඊට පෙර දින සිදුවීමක් පිළිබඳව එම නිවේදනයේ සඳහන් විය. පෙර දින දහවල් 12.30ට පමණ නාඳුනන පිරිමි ළමයින් 25දෙනෙකු පමණ ලෝසොතුන්හි, බ්ලොක් 4හි බාස්කට්බෝල් ක්‍රීඩා කරමින් සිටි තරුණයන් පිරිසකට යකඩ පොලු ඇතුළු පොලුවලින් පහර දී ඇති බව එම නිවේදනයේ සඳහන් විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 326, 307, 506, 34 වගන්ති යටතේ ලාබන් නම් පොලිසියේ පැමිණිල්ලක් ලියාපදිංචි කර තිබිණි. පහරදීමට අදාළ සමහර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, සෙසු සැකකරුවන් අල්ලා ගැනීම සඳහා මහජනතාවගේ සහාය විමර්ශන කණ්ඩායම් බලාපොරොත්තු වන බවත් නිවේදනයේ සඳහන් විය. කිසිවෙකු වාර්ගික සාමය හා සමගිය උල්ලංඝනය නොකළ යුතු බව ද එහි සඳහන් විය.
මේ ප්‍රහාරයෙන් අරින්දම් ඩෙබ්, සුභරාෂි දාස් පාස්පූර්කායස්ත, සප්තර්ෂි දාස් පුර්කයාෂ්තා, බිනක් ඩෙබ්, බිෂාල් ගොෂ් සහ ප්‍රිතිෂ් ඩෙබ් යන පිරිස තුවාල ලැබූහ. ඔවුහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා වුඩ්ලන්ඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් 2020.07.04 දා ජනමාධ්‍යවේදී පැට්‍රීෂියා මුඛීම් ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබිණි. එම සටහනේ පරිවර්තනය සරලව පහත පරිදි ය.

පැට්‍රීෂියා ලිව්වේ කුමක්ද?

‘ඊයේ Lawsohtunහිදී පැසිපන්දු ක්‍රීඩා කරන ගෝත්‍රික නොවන තරුණයන් පිරිසකට ආයුධවලින් පහර දී දැන් රෝහලේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, රජයක් සහ ක්‍රියාකාරී පොලිස් බලකායක් සහිත ප්‍රාන්තයක මෙම සිදුවීම පිළිගත නොහැකිය. පහර දුන් අය වෙස්මුහුණු පැළඳ සිටින ගෝත්‍රික පිරිමි ළමයින් යැයි කියනු ලබන අතර, ඔවුන්ට වහාම නඩු පැවරිය යුතුය. දශක ගණනාවක් තිස්සේ මුතුන් මිත්තන් මේගලායාහී ජීවත් වන සහ බ්‍රිතාන්‍ය යුගයේ සිට සමහර අය පැමිණ ඇති බව කියන ගෝත්‍රික නොවන අයට එල්ල වන මෙම අඛණ්ඩ ප්‍රහාරය පැවසීමට පවා නින්දිතය. 1979 සිටම මෙවැනි ප්‍රහාරකයන් සහ කරදර කරන්නන් කිසිවිටෙකත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, අත්අඩංගුවට ගනු ලැබුවහොත් කිසිවිටෙකවත් නීතියට අනුව දඬුවම් ලැබී නැත. මේගලායා දිගු කලක් තිස්සේ අසාර්ථක රාජ්‍යයක් වී ඇති බව ඉන් හැඟවෙයි.
ඔබගේ රජයෙන් සහ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ආර්. චන්ද්‍රනාදන් යටතේ ඇති පොලිස් බලකායෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම කාරණය සංකීරණව ගන්නා ලෙසයි. අපට බලා සිටිය හැකි පොලිස් බලකායක් ඇති බව මහජනයාට පෙන්වන්න.
ප්‍රදේශයේ Dorbar Shnong ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ ඇස් සහ කන් නැද්ද? ඔවුන්ගේ අධිකරණ බල සීමාවේ සිටින අපරාධකරුවන් ඔවුන් දන්නේ නැද්ද? ඔවුන් එම මිනීමරු කොටස් හඳුනාගත යුතු නොවේද? ප්‍රජා අවශ්‍යතා, කුල හා ආගම්වලට වඩා ඉහළින් නැගී යුක්තිය ඉල්ලා සිටින කාලය මෙයයි.
මෙය පොලිස් ලිපිගොනු තුළ නැතිවූ තවත් සිද්ධියක් නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපට ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. අපරාධකරුවන්ට ප්‍රජාවක් නොමැත. නීතියට අනුව ඒවා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.
අපේ ගෝත්‍රික නොවන සහෝදරයන් තමන්ගේ රාජ්‍යය තුළ නිරන්තර භීතියෙන් ජීවත් විය යුත්තේ ඇයි? මෙහි උපන් හා හැදී වැඩුණු අයට ආදිවාසී ගෝත්‍රිකයන්ට මෙන් මේ මේගලයා ඔවුන්ගේ ප්‍රාන්තය ලෙස හැඳින්වීමට අයිතියක් ඇත.’

නීතිමය පියවර ගනී !

ෂීලෝංහි ප්‍රධානී සහ ලේකම් ඩෝර්බාර් ෂ්නොං මීට එරෙහිව අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කළේය. ප්‍රජාව අතර ගැටුමක් නිර්මාණය කිරීම පැට්‍රීෂියාගේ අරමුණ වී ඇති බව ද එහි සඳහන් විය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කරමින් ලාබන් පොලිස් ස්ථානයේ නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, 41 (ඒ) වගන්තිය යටතේ මාධ්‍යවේදිනියට නොතීසි නිකුත් කෙරිණි.
තමන් සම්බන්ධයෙන් පවරා ඇති මූලික තොරතුරු වාර්තාව අවලංගු  කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදිනිය මහාධිකරණයට පෙත්සමක් ගොනු කළාය. කෙසේ වෙතත් මහාධිකරණය 2020 නොවැම්බර් මාසයේ දී එම පෙත්සම නිශ්ප්‍රභා කිරීමට නියෝග කළේය. මහාධිකරණයේ මතය වූයේ මේගල ප්‍රාන්තයේ ගෝත්‍රික නොවන අයට ගෝත්‍රිකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය යැයි සඳහන් කිරීම ප්‍රජාවන් දෙකක් අතර මතභේදයක් ඇති කිරීමට නැඹුරුතාවක් ඇති බවයි. ෆේස්බුක් සටහනක් මගින් ප්‍රජාවන් දෙකක් අතර සතුරුකම හා වෛරය පිළිබඳ හැඟීම් ඇවිස්සීමට ඇය උත්සාහ කළ බව නිරීක්ෂණය කළ බව කී මහාධිකරණය, මෙය මූලිකව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 153 වගන්තිය යටතේ ගැනෙන වරදක් බවට පෙනි යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

මහාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට

මහාධිකරණය තම නඩුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මාධ්‍යවේදිනිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළාය. මාධ්‍යවේදිනිය වෙනුවෙන් නීතිඥ වෘන්ද් ග්‍රෝවර් මහත්මිය පෙනී සිටියාය. මේගල ප්‍රාන්තය වෙනුවෙන් නීතිඥ අවිජිත් මනි ත්‍රිපාති මහතා පෙනී සිටියේය.
අභියාචක මාධ්‍යවේදිනිය ප්‍රකාශ කළේ මෙම ෆේස්බුක් සටහනේ අරමුණ ප්‍රජාවන් දෙකක් අතර සතුරුකමක් හෝ වෛරයක් පිළිබඳ හැඟීමක් ඇති කිරීම නොවන බවයි. එම ෆේස්බුක් සටහනේ අරමුණ වූයේ මෙම අමානුෂික ප්‍රහාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම බවත්, වැරදිකරුවන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බල කිරීම බවත් මාධ්‍යවේදිනිය කීවාය. පොලිසියේ මෙම ක්‍රියාව මඟින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (1) (අ) වගන්තියෙන් තහවුරු කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ද මාධ්‍යවේදිනිය ඉල්ලා සිටියාය.
වගඋත්තරකරු (ප්‍රාන්තය සහ පොලිසිය) වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ අභියාචකයා කීර්තිමත් මාධ්‍යවේදියෙකු වන බැවින් ජනතාවට අදහස් දැක්වීමේදී වැඩි වගකීමක් ඇතිව කටයුතු කළ යුතු බවයි. මාධ්‍යවේදිනියගේ ප්‍රකාශයෙන් වාර්ගික අසමගියක් ඇති කිරීමේ ප්‍රවණතාවක් ඇති බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය. එබැවින් මහාධිකරණය ඇගේ අභියාචනය නිශ්ප්‍රභ කිරීම නිවැරදි බවත්, ඇගේ සටහන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බැවින් මේ සඳහා මැදිහත්වීමක් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභිප්‍රාය කුමක්ද?

දෙපාර්ශ්වයේම කරුණුවලට ඇහුම්කන් දුන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගයේ දී ප්‍රකාශ කළේ අදාළ ප්‍රකාශයේ අභිප්‍රාය බැලීම වඩාත් යෝග්‍ය බවයි. වාර්ගික අසමගිය ඇති කිරීම වරදක් වන නමුත් ප්‍රකාශයේ අරමුණ සහ අභිප්‍රාය ප්‍රචණ්ඩත්වය ඇති කිරීම ද යන්න ඔප්පු විය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. එනම් ප්‍රචණ්ඩත්වයට මිනිසුන් පොළඹවා ගැනීමේ අභිප්‍රායෙන් අදාළ ප්‍රකාශය සිදු කර ඇතැයි ඔප්පු කළ යුතු බවයි. අභිප්‍රාය මූලික වශයෙන් විනිශ්චය කළ යුත්තේ අදාළ ප්‍රකාශයේ (ලිවීමේ) භාෂාව සහ එය ලියා ප්‍රකාශයට පත් කරන ලද තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් බවත්, අදාළ කාරණය සමස්තයක් ලෙස කියවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශ කළේය. ප්‍රකාශයේ යම් වචනයක් හෝ වාක්‍යයක් පමණක් උපුටා ගනිමින්, ඒ මත සිටිමින් ජන කොට්ඨාස අතර වෛරයක් ඇති කිරීමේ අභිප්‍රායක් ඇතැයි තර්ක කිරීම සාධාරණ නොවන බවත් අධිකරණය කීවේය.
වැඩිදුරටත් අධිකරණය ප්‍රකාශ කළේ අභියාචක මාධ්‍යවේදිනියගේ ෆේස්බුක් සටහන හොඳින් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ගෝත්‍රික නොවන තරුණයන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට මේගලයායේ මහ ඇමැති සහ පොලිසිය දැක්වූ උදාසීනත්වයට එරෙහිව ඇය වේදනාවෙන් එම සටහන තබා ඇති බවයි.

පසුබිම නිරීක්ෂණය

1979 වසරේදී ද මෙම පිරිසට කළ පහරදීමක් ගැන මාධ්‍යවේදිනිය සඳහන් කර ඇති බවත්, ප්‍රාන්තයේ ගෝත්‍රික නොවන පිරිසට වෙනස්කොට සැලකීම ගැන මෙම ෆේස්බුක් සටහනින් ඉස්මතු කර ඇති බවත්, අපරාධකරුවන්ට ප්‍රජාවක් නොමැති බව හා ගෝත්‍රික නොවන තරුණයන්ට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයන්ට එරෙහිව වහාම පියවර ගත යුතු බව මාධ්‍යවේදිනිය පැහැදිලිවම සඳහන් කර ඇති බවත් අධිකරණය ප්‍රකාශ කළේය. මේගලයා ප්‍රාන්තයේ ගෝත්‍රික නොවන අයගේ සාමානාත්මතාව සඳහා වන ආයාචනයක් ඇගේ ෆේස්බුක් සටහනෙන් නිරීක්ෂණය වන බව කී ශ්‍රේෂ්ඨාධිකරණය, කණ්ඩායම් දෙකක් අතර වෛරය ප්‍රවර්ධනය කිරීමේ අභිප්‍රායක් එම සටහනින් නොපෙනන බව ද කීවේය.
වින්දිතයන් ඔවුන්ගේ ගැටළු පිළිබඳව කතා කරද්දී රජ්‍ය බලධාරීන් ඇස් පියාගෙන සිටින්නේ නම් හෝ කකුල් දෙකෙන් ඇදගෙන යන්නේ නම්, එය යුක්තිය ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රමාද වීමට හේතු විය හැකි බව ද, මෙම සිදුවීමේදී සිදු වී ඇත්තේ එය බව ද කී ශ්‍රේෂ්ඨාධිකරණය, මාධ්‍යවේදිනියගේ ඉල්ලීමට ඉඩදෙමින් ඇයට එරෙහි චෝදනා අවලංගු කරන ලෙස නියෝග කළේය.

ඉදිරියට වෙනුවට පසුපසට

ඉන්දියාව වැනි රටක ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි තීන්දු ලබාදෙද්දී, ශ්‍රී ලංකාව සමාජ මාධ්‍යවල ලියන-කියන අය මර්දනය කිරීම සඳහා නීති සැකසීමට උත්සාහ කිරීමත්, තිබෙන නීති උපයෝගී කරගෙන ලියන-කියන අය මර්දනය කිරීමට උත්සාහ කිරීමත් මඟින් පෙන්නුම් කරන්නේ ලෝකය ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව ආපස්සට යන බවක් නොවේද?
Previous articleඑක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක් ඕනෑ – සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය
Next articleඉන්ධන මිල වැඩිවීමෙන් ජනතාවට දෙන වියළි සලාක පාර්සලයේ වියදමත් ඉහළ⁣ට – කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here