අසත්‍ය පුවත් : නඩු තීන්දු උපුටා දක්වමින් නීතිඥ සංගමය නීතිය කුමක්දැයි කියයි !

ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති පාර්ශ්ව පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය අවධානය යොමු කරයි.
දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු සමාජයේ සාමාජිකයෙකු හෝ පාර්ශ්වකරුවෙකු ලෙස බැරෑරුම් අදහස් බෙදාහදාගැනීමේ හෝ නිදහසේ අදහසේ ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්ත්වයක් බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මූලික නිදහස ආරක්ෂා කිරීම

පැමිණිල්ලක් සම්බන්ධ පූර්ණ විමර්ශනයකට පෙර ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ චෝදනාවක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් අන්දමින් එය සිදුකළ යුතු බව ද, එම අත්අඩංගුවට ගැනීම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට හා නිදහසට දක්වන ගරුත්වයට අනුකූල විය යුතු බව ද, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදුකළ යුත්තේ මූලික නිදහස ආරක්ෂා වන පරිදි බව ද එම සංගමය කියයි.
එමගින් නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතිය මර්දනය කිරීමක් සිදු නොවිය යුතු බවත්, කරන ලදැයි සැලකෙන නීතිමය වරද සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත ලෙස සලකා බලා වෘත්තීයමය අන්දමින් තක්සේරුවක් සිදුකර, අත්අඩංගුවට ගැනීමට සත්‍ය, සාධාරණ හේතුවක් තිබේද යන්න නිගමනය කිරීම වඩා යහපත් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.

මැදිහත්වීමේ සූදානමක්

නීතිය ක්‍රියාත්මක කිරීම, සාධාරණ හා සමාන අන්දමින් සිදුවිය යුතු බව ද, තෝරාගෙන ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිය යුතු බව ද එම සංගමය අවධාරණය කරයි. කිසියම් අයිතිවාසිකමක් හෝ මූලික මානව හිමිකමක් උල්ලංඝනය වේද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත්, අවශ්‍ය අවස්ථාවලදී වැඩිදුර මැදිහත්වීම් ද සිදුකරනු ඇති බවත් එම සංගමය පවසයි.
එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
“ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘අසමගිය, වෛරය හා කොවිඩ්-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම’ මැයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විධායක කමිටුව විසින් විශේෂ අවධානය යොමු කර තිබේ.
නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ අංශය වැරදිකරුවන් සොයා අන්තර්ජාලය නිරීක්ෂණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් එම නිවේදනයේ අඩංගු වේ. එසේම ව්‍යාජ පුවත් ප්‍රචාරණයෙන් හා ඒ සඳහා උදව් උපකාර කිරීමෙන් වළකින ලෙස චක්‍රලේඛය මහජනයාට දැනුම් දෙයි.

විරොධාකල්ප මර්දනය

වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධයක් නැත. එහෙත් අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් එම නීති භාවිත නොකරන බව සහතික කිරීම වැදගත් ය.
එසේම ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති අය පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිලිමත් වේ.
එම චක්‍රලේඛයේ සඳහන් වන නීතිමය විධිවිධාන පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස අවධානය යොමුකරයි.

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මූලික අයිතිවාසිකම් වන කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාකිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් ඒවා අවභාවිත කළ හැකිය. කොවිඩ්-19 අධිවසංගතය හේතුවෙන් පනවා තිබෙන සංචරණ සීමා පවතින අතරතුර මහජනතාවගේ කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සහ විරුද්ධ වීමේ හා එකඟ නොවීමේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන නඩු තීන්දු කෙරහි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු කරයි.

නඩු තීන්දුවලින් කියන්නේ කුමක්ද?

වඩාත්ම මෑතකාලීන නඩුවක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එදිරිව යූ.එන්.එස්.පී. කුරුකුලසූරිය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හා ජේ.කේ.ඩබ්ලිව්. ජයසේකර SCFR 556/2008 සහ 557/2008 නඩුවේ තීන්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු අලුවිහාරේ මහතා තවත් විනිසුරුවරුන් දෙපළකගේ එකඟතාව සහිතව 2021 පෙබරවාරි 17 දින මෙසේ නිගමනය කළේය.
‘ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු තුළ වසර ගණනාවක් තිස්සේ පරිනාමය වූ නීති සංග්‍රහයක් අඩංගු වේ. පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේ සහ රාජ්‍ය නිලධාරීන් හා ආයතන විවේචනය කිරීමේ අයිතිය ප්‍රජාතාන්ත්‍රික සමාජයක මහත් සේ අගයනු ලබන, සිවිල් හා දේශපාලනික නිදහස භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනාගෙන තිබේ.’
නඩු තීන්දු කිහිපයක සඳහන් වන පහත දැක්වෙන ඡේද අනුමත කරමින් අධිකරණය විසින් ඒවා උපුටා දක්වන ලදි.
‘ආණ්ඩුවලට හා දේශපාලන පක්ෂවලට, ප්‍රතිපත්තිවලට හා වැඩසටහන්වලට සහාය දීම හෝ විවේචනය කිරීම ප්‍රජාතාන්ත්‍රික ජීවිතයේ මූලිකාංග වේ. එම විරෝධාකල්ප ඉවසීම පමණක් නොව, ඒවා දිරිගැන්වීම ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය ය.’

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

‘රජය, දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසේ ඓන්ද්‍රීය කාරණයකි.’
දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු, සමාජයේ සාමාජිකයෙකු/ පාර්ශ්වකරුවෙකු ලෙස අදහස් බෙදාහදාගැනීමේ හෝ නිදහසේ අදහසේ ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්ත්වයකි. පැමිණිල්ලක් සම්බන්ධ පූර්ණ විමර්ශනයකට පෙර ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ චෝදනාවක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් අන්දමින් එය සිදුකළ යුතුය.
එසේම, එම අත්අඩංගුවට ගැනීම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට හා නිදහසට දක්වන ගරුත්වයට අනුකූල විය යුතුය. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදුකළ යුත්තේ මූලික නිදහස ආරක්ෂා වන පරිදි ය. එසේම, එමගින් නිදහස් ප්‍රකාශනයේ අයිතිය මර්දනය කිරීමක් සිදු නොවිය යුතුය. කරන ලදැයි සැලකෙන නීතිමය වරද සම්බන්ධයෙන් පරෙස්සම් සහගත ලෙස සලකා බලා වෘත්තීයමය අන්දමින් තක්සේරුවක් සිදුකර, අත්අඩංගුවට ගැනීමට සත්‍ය, සාධාරණ හේතුවක් තිබේද යන්න නිගමනය කිරීම වඩා යහපත් බව අපේ දැක්මයි. අදාළ සංදර්භයන් තුළදී, නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම ද යෝග්‍ය ය.
නීතිය ක්‍රියාත්මක කිරීම, සාධාරණ හා සමාන අන්දමින් සිදුවිය යුතු බව ද, තෝරාගෙන ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිය යුතු බව ද කීමට අවශ්‍ය නැත. එය ස්ථිර ලෙසම අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් බව අවධාරණය කරන්නෙමු. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිලිමත් වන මෙම කාරණා පිළිබඳ 2021/06/10 දින දරන ලිපිය මගින් පොලිස්පතිවරයාගේ අවධානය සඳහා යොමු කරන ලදි. කිසියම් අයිතිවාසිකමක් හෝ මූලික මානව හිමිකමක් උල්ලංඝනය වේද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, අවශ්‍ය අවස්ථාවලදී වැඩිදුර මැදිහත්වීම් ද සිදුකරනු ඇත.’
Previous articleවාහනවලට යන වියදමෙන් එන්නත් ලක්ෂ 36ක් ගෙන්වන්න පුළුවන් : ඩොලර් මිලියන 18ක් වැය කරන්න කැබිනට් අනුමැතියත් නෑ – ජවිපෙ නායක
Next articleත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බලන බවට ආණ්ඩුව ජනවාරි 25 දුන් පොරොන්දුව කුමක්ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here