වාහනවලට යන වියදමෙන් එන්නත් ලක්ෂ 36ක් ගෙන්වන්න පුළුවන් : ඩොලර් මිලියන 18ක් වැය කරන්න කැබිනට් අනුමැතියත් නෑ – ජවිපෙ නායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ගෙන්වීම සඳහා වන ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව බවත් වාහන ගෙන්වීමේ තීරණය පිටුපස විශාල වංචාවක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම ජීප් රථයක වර්තමාන වෙළඳපොල වටිනාකම ලක්ෂ 500ක් වන බවත් එම වාහන 227 ආනයනය කිරීම සඳහා වැය වන ඩොලර් මිලියන 18 යොදාගෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වන්නේ නම් එන්නත් ලක්ෂ 36ක් ආනයනය කළ හැකි බවත් චීනයේ සයිනෝෆාර්ම් ඇත්ත මිල වන ඩොලර් 10ට ගෙන්වන්නේ නම් එන්නත් ලක්ෂ 18ක් ගෙන්විය හැකි බවත් එමගින් පුරවැසියන් මිලියන ගණනකට එන්නත ලබාදීමට හැකියාව ඇති බවත් ඔහු පවසයි.
මේ ගනුදෙනුව මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා පමණක් කරන ලද එකක් නොවන බව ද මේ පිටුපස විශාල වංචාවක් තිබෙන බව ද සඳහන් කරන ඒ මහතා මෙසේ ද සඳහන් කරයි.
“කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ මැයි 18. එය විශේෂ කැබිනට් රැස්වීමක්. ඉහත වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට අනුමැතිය ඉල්ලනවා. සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය නිල ලෙස ලැබෙන්නේ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. එනම් මැයි මාසේ 24 වෙනිදා. නමුත් පුවත්පත් වාර්තා කළා මැයි 24 කැබිනට් මණ්ඩලය වාහන ගෙන්වීමේ තීරණය අවලංගු කළා කියලා. එහෙනම් අනුමත වූ කැබිනට් පත්‍රිකාවක් නැහැ. එහෙනම් කැබිනට් පත්‍රිකාවක් නැතුව ණයවර විවෘත කළේ කොහොමද? මා ළඟ තිබෙනවා මේ සම්බන්ධ ලියකියවිලි. එහි සඳහන් වෙනවා ණයවර ලිපි විවෘත කර තිබෙන්නේ 2021 අප්‍රේල් 22 දින කියලා. කැබිනට් අනුමැතිය ඉල්ලන්නේ මැයි 18. මොකක්ද කරලා තියෙන්නේ කැබිනට් අනුමැතිය ගන්න කලින් ණයවර ලිපි විවෘත කරලා. මෙතන ඩීල් එකක් සිදුවෙලා තිබෙනවා.
ඩීල් එකෙන් පස්සේ තමයි කැබිනට් අනුමැතිය ගන්න මතක් වෙලා තියෙන්නේ. වංචාව වහගන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් කෙහෙළිය කියනවා ණයවර ලිපි අවලංගු කරන්න බැහැ කියලා. එනිසා මෙතන බරපතල වංචාවක් තිබෙනවා. තමන්ට පාවිච්චියට ගේන වාහනවලිනුත් වංචා කරනවා. එනිසා තමයි කැබිනට් අනුමැතිය නැතිව ඩිල් දාන්නේ. මේ වාහන ගෙන්වන්න ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවුයේ නැහැ. මිල ගණන් කැඳවූයේ නැහැ. එනිසා මෙතන විශාල වංචාවක් සිදුවන බවට සැකයක් ඇතිවෙනවා.”
මෙම වාහන ගෙන්වීම නතර කළ යුතු බවත් රටේ වසංගත තත්වය මැඩ පැවැත්වීමට අවශ්‍ය මුදල් නැති මොහොතක මේ ආකාරයේ මුදල් වියදම් කිරීම නතර කළ යුතු බවත් අනුර කුමාර මහතා ප්‍රකාශ කරයි. කැබිනට් අනුමැතියකින් තොරව ණයවර ලිපි විවෘත කළේ කවුද යන්න සොයා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කරයි.
ආනයනය නතර කර නොහැකි නම් වාහන ගෙන්වූ පසු ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන ලෙසත් එමගින් කෝටි 1135ක් පමණ මුදලක් අය කරගත හැකි බවත් ඉන් දේශීය ණය ගෙවීමට හැකි බවත් අනුර කුමාර දිසානායක මහතා කියයි. නැතහොත් එම මුදල් අවතැන් ජනතාවට, කොවිඩ් නිසා ව්‍යාපාර කඩාවැටුණ ව්‍යාපාරිකයින්ට, ආදායම් අහිමි වූ පුරවැසියන්ට, ගංවතුරින් අවතැන් වූ ජනතාවට දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
ඔහු කළ සම්පූර්ණ කතාව පහතින්…
“මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය පිළිබඳ තීරණය ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. අපේ රට මේ වනවිට විශාල ඩොලර් හිගයකට මුහුණපා තිබෙනවා. පසුගිය වසරේ ජුනි මාසයේ ආණ්ඩුව මුළුමනින්ම වාහන ආනයනය නතර කළා. වාහන අමතර කොටස්, සුවඳ විලවුන් වර්ග, ධාන්‍ය වර්ග සහ කහ පවා ආනයනය නතර කළා. ඩොලර් හිගය සම්පූර්ණ කරගැනීම සඳහා රාජ්‍යයන්ගෙන් විවිධ ආයතනවලින් ණය ඉල්ලමින් සිඟමනේ ගියා. අන්තිමේදී මහින්ද රාජපක්ෂ බංගලාදේශයෙන් පවා ඩොලර් මිලියන 200ක ණයක් ඉල්ලුවා. ඒ අතර තමයි ආණ්ඩුව තීරණය කරන්නේ වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කරන්න. ඒ අතර මන්ත්‍රීවරුන් සඳහා ප්‍රාඩෝ ජීප් රථ 227ක් තිබෙනවා. මේ සියල්ල වෙනුවෙන් ආණ්ඩුව වැය කරන්න බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 18ක්. අපි ජනතාවගෙන් අහනවා ඔබ ඡන්දයෙන් පත්කරපු පාලකයා රටේ ඩොලර් හිඟයක් තිබෙන වෙලාවක රටේ මුදල් ඩොලර් මිලියන 18ක් වැයකරලා ගෙන්වන සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරනවට එකඟද? පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ මජර දේශපාලනය පරාජය කරන්න කියලා.
මේ වෙනකොට අපේ රටේ විශාල වසංගත තත්වයක් ඇතිවෙලා තිබෙනවා. බොහෝ දෙනෙකුගේ ආදායම අහිමි වෙලා තිබෙනවා. ව්‍යාපාර කඩාවැටී තිබෙනවා. එළවලු මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කරගන්න බැරිවී තිබෙනවා. මාස ගණන් ගෙවල්වල හිරවෙලා තමන්ගේ දරුවට කිරිපිටි පැකට් එක මිලදී ගන්න බැරිවෙලා තිබෙනවා. ජනතාවට ජීවත්වෙන්න ආහාර මල්ලක් සපයා ගන්න බැරිව තිබෙනවා. රටේ බහුතර පුරවැසියන් පිරිසක් විශාල අපහසුතාවයකට පත්ව තිබෙනවා. වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ, එන්නත් මිලදී ගැනීමට මුදල් නැහැ කියනවා. ඇඹිලිපිටිය වගේ ප්‍රදේශවල ජනතාව පීසීආර් යන්ත්‍ර මිලදී ගන්න මුදල් එකතු කරනවා. රෝහල් අධ්‍යක්ෂවරු රෝහල්වල අවම පහසුකම් සම්පූර්ණකරගන්න විවිධ ආධාර ඉල්ලා සිටිනවා. අවශ්‍ය වෙලාවට එන්නත් ටික මිලදී ගන්න මුදල් නැතිවුණා. මේ අතර එන්නත ලබාගන්න විවිධ රාජ්‍යයන්ගෙන් ආධාර ඉල්ලා සිටින්න සිදුවෙලා. මේ සියලු තත්වයන් තිබියදී තමයි වාහන ආනයනය කරන්න තීරණය කරන්නේ.
මේ ඩොලර් මිලියන 18 යොදාගෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වනවානම් එන්නත් ලක්ෂ 36ක් ආනයනය කරන්න පුළුවන්. චීනයේ සයිනෝෆාර්ම් ඇත්ත මිල ඩොලර් 10ට ගෙන්වනවා නම් එන්නත් ලක්ෂ 18ක් ගෙන්වන්න පුළුවන්. පුරවැසියන් මිලියන ගණනකට එන්නත ලබාදෙන්න හැකියාව තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ලක්ෂ 06ක් දෙවැනි එන්නත නැතිව පසුතැවෙනවා. එසේ තිබියදී මේ පාලකයෝ තමන්ගේ අධිපරිභෝජනවාදී නාස්තිකාර සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් වාහන ආනයනය කරනවා. මේ පාලකයෝ මොනතරම් මුග්ධ ද? මෙවැනි මුග්ධ නායකයින්ට රට සංවර්ධනය කරන්න පුළුවන්ද? මෙවැනි අදහසක් එන්නේ කවර පාලකයින්ටද? කවර වර්ගයේ අමානුෂික පාලකයින්ටද? මේ අන්කවරක්වත් නෙවෙයි මේ ජීප් රථ ගෙන්වන්නේ පෝට් සිටි පනතට සහය ලබාගන්න මන්ත්‍රීවරුන්ට වුන පොරොන්දුව ඉෂ්ට කරන්නයි.
මේ ජීප් රථයක අද වෙළඳ පොල වටිනාකම ලක්ෂ 500ක් පමණ වෙනවා. ජීප් රථ 227ක්. ඔබ ඡන්දය දෙන මන්ත්‍රීවරයා ලක්ෂ 500ක වාහනයක නැගලා ඔබේ ගමට එන්න ඕනෑද? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වාහන ඇණවුම නතර කරන්න කියලා. දැන් ආණ්ඩුව කියනවා මේක නතර කරන්න බැහැ කියලා. ණයවර ලිපි අවලංගු කිරීම අසීරුයි තමයි. නමුත් ආණ්ඩුව වාහන ආනයනය ආණ්ඩුව විසින් නතර කරන විට විවෘත කර තිබූ ණයවර ලිපි විශාල ප්‍රමාණයක් කල්ඉකුත්වෙන්න ඉඩ හැරියා. ඉන්පසු ණයවර ලිපි අවලංගු වුනා. ඒ නිසා ආණ්ඩුවටත් පුළුවන් මේ ණයවර ලිපි අවලංගුවීමට ඉඩහරින්න. ඊළඟ යෝජනාව වන්නේ ආනයනය නතර කරන්න බැරි නම් වාහන ගෙන්වූ පසු ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න. වාහන 227ක්. කෝටි 5 ගණනේ කෝටි 1135ක් පමණ මුදලක්. මේ ධනයෙන් දේශීය ණය ගෙවන්න පුළුවන්. නැත්නම් අවතැන් ජනතාවට, කොවිඩ් නිසා ව්‍යාපාර කඩාවැටුණ ව්‍යාපාරිකයින්ට, ආදායම් අහිමිවූ පුරවැසියන්ට, ගංවතුරින් අවතැන් වූ ජනතාවට දෙන්න. අපි පක්ෂයක් හැටියට මේ වාහන පාවිච්චියට ගන්නේ නැහැ. ඒවාට මොකද කරන්නේ කියලා අපි පසුව කියන්නම්.
මේ ගනුදෙනුව සිදුවන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා පමණක් කරන එකක් නෙවෙයි. මේ පිටුපස විශාල වංචාවක් තිබෙනවා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ මැයි 18. එය විශේෂ කැබිනට් රැස්වීමක්. ඉහත වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට අනුමැතිය ඉල්ලනවා. සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය නිල ලෙස ලැබෙන්නේ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. එනම් මැයි මාසේ 24වෙනිදා. නමුත් පුවත්පත් වාර්තා කළා මැයි 24 කැබිනට් මණ්ඩලය වාහන ගෙන්වීමේ තීරණය අවලංගු කළා කියලා. එහෙනම් අනුමත වූ කැබිනට් පත්‍රිකාවක් නැහැ. එහෙනම් කැබිනට් පත්‍රිකාවක් නැතුව ණයවර විවෘත කළේ කොහොමද? මා ළඟ තිබෙනවා මේ සම්බන්ධ ලියකියවිලි. එහි සඳහන් වෙනවා ණයවර ලිපි විවෘත කර තිබෙන්නේ 2021 අප්‍රේල් 22 දින කියලා. කැබිනට් අනුමැතිය ඉල්ලන්නේ මැයි 18. මොකක්ද කරලා තියෙන්නේ කැබිනට් අනුමැතිය ගන්න කලින් ණයවර ලිපි විවෘත කරලා. මෙතන ඩීල් එකක් සිදුවෙලා තිබෙනවා. ඩීල් එකෙන් පස්සේ තමයි කැබිනට් අනුමැතිය ගන්න මතක් වෙලා තියෙන්නේ. වංචාව වහගන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් කෙහෙළිය කියනවා ණයවර ලිපි අවලංගු කරන්න බැහැ කියලා. එනිසා මෙතන බරපතල වංචාවක් තිබෙනවා. තමන්ට පාවිච්චියට ගේන වාහනවලිනුත් වංචා කරනවා. එනිසා තමයි කැබිනට් අනුමැතිය නැතිව ඩිල් දාන්නේ. මේ වාහන ගෙන්වන්න ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවුයේ නැහැ. මිල ගණන් කැඳවූයේ නැහැ. එනිසා මෙතන විශාල වංචාවක් සිදුවන බවට සැකයක් ඇතිවෙනවා.
එසේනම් ආණ්ඩුව කළ යුතු කරුණු කිහියක් තිබෙනවා. පළවෙනි එක මේ වාහන ගෙන්වීම නතර කළ යුතුයි. රටේ වසංගත තත්වය මැඩ පැවැත්වීමට අවශ්‍ය මුදල් නැති මොහොතක මේ ආකාරයේ මුදල් වියදම් කිරීම නතර කළ යුතුයි. තෙවනුව කැබිනට් අනුමැතියකින් තොරව ණයවර ලිපි විවෘත කළේ කවුද කියලා සොයා බැලිය යුතුයි. වැක්සීන් ගැන කතා කළොත් වංචා දූෂණ, ඇන්ටිජන් කිට් ගැන කතා කළොත් වංචා දූෂණ, සීනි ගැන කතා කළොත් වංචා දූෂණ, පොල්තෙල් ගැන කතා කළොත් වංචා දූෂණ, වාහන ගෙන්වීම ගැන කතා කළොත් වංචා දූෂණ. මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලනවා තමන් පත් කරපු මන්ත්‍රීවරයට මේ වාහනයේ නැගලා ගමට එන්න දෙන්න එපා. ඒ වගේම මේ වගේ වෙලාවක මන්ත්‍රීවරුන්ට පුළුවන්ද මේ වාහනයේ නැගල යන්න පුළුවන්ද? “
Previous articleඅයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සංවිධාන 54ක් – සිවිල් ක්‍රියාකාරීහු 72ක් එක්වෙති
Next articleඅසත්‍ය පුවත් : නඩු තීන්දු උපුටා දක්වමින් නීතිඥ සංගමය නීතිය කුමක්දැයි කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here