මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් දීම වළක්වන්න සැකකරුවන් රහසිගත ස්ථානයක සඟවලා – සීඅයිඩීයට චෝදනාවක් !

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින ගුරුවරුන් දෙදෙනෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීම වැළැක්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා හඳුනා නොගත් තැන් දෙකකට දමා ඇතැයි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඉකුත් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අල්-සුහ්රියා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා මෙසේ වෙන්කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයා සමඟ කතා කිරීම නැවැත්වීමට බව ඔහු පැවසීය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා චෝදනාවලට ⁣පටළැවීම සඳහා සාක්ෂි ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බල කරන බවට සඳහන් කරමින් එම ගුරුවරුන් දෙදෙනා නීතිඥ එරික් බාලසූරිය මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූ අතර, එම පෙත්සම් පසුගිය 07 දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවන ලද අවස්ථාවේ සුමන්තිරන් මහතා මේ බව අධිකරණයට දැන්වීය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා චෝදනාවලට ⁣පටළැවීමට සාක්ෂි ලබාදෙන්නේ නම්, යම් සහනයක් ලබා දෙන බවට හඬ පටිගත කිරීමේ උපකරණයක් සහිතව සීඅයිඩී නිලධාරීන් දෙදෙනෙකු පැවසූ බව එම ගුරුවරුන් දෙදෙනා නීතිඥ බාලසූරිය මහතාට දැනුම් දී ඇතැයි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ‘ඔවුන්ට හිස්බුල්ලා එම වැරදිවලට සම්බන්ධ කරන්න සාක්ෂි දෙන්නැයි බල කරලා තිබෙනවා. එහෙම කළොත් යම් ලිහිලක් දෙන බවට හිජාස් හිස්බුල්ලා කවුද කියලා දන්නේවත් නැති ඔවුන්⁣ට පොරොන්දු වී තිබෙනවා’ යනුවෙන් ඔහු අධිකරණයට පැවසීය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, දැන් මද්‍රසා පාසලක දේශනයක් පැවැත්වූ බව කියමින් චෝදනා එල්ල කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් හිජාස් හිස්බුල්ලාට එ⁣රෙහිව ප්‍රකාශ ලබාගත් බව කියමින් ළමයින් සිව්දෙනෙකු ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබිණි.
හිස්බුල්ලා මහතාට එරෙහි නඩුව පදනම් වී ඇත්තේ අරාබි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දරුවෙකුගේ තනි ප්‍රකාශයක් මත බව ද කියැවිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අහ්නාෆ් ජසීම් නම් කවියෙකු ද අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ සිටී.
‘ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නඩුව ශක්තිමත් කිරීමට සහ සාක්ෂිකරුවන් සෑදීමට පමණයි’ සුමන්තිරන් මහතා අධිකරණයට කියා සිටියේය.
ගුරුවරුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරනු ලැබ ඇ⁣ත්තේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම ගොනු කිරීමෙන් පසුව බව ද ඔහු පැවසීය. ඉන්පසු ඔවුන් විවිධ ස්ථානවලට වෙන් කර ඇති බව සුමන්තිරන් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ගුරුවරුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත්තේ ඔහු ඉදිරියේ ප්‍රකාශ ලබාදීමට අදහස් කරන බවයි.
කෙසේ වෙතත් දෙදෙනා වහාම වෙන් කිරීමට කටයුතු කර ඇති බවත්, නාඳුනන ස්ථානවලට යවා ඇති බවත් සුමන්තිරන් මහතා පැවසීය.
‘මම වගකීමෙන් යුතුව කියනවා ඔවුන් වෙන්කර රටේ තැන් දෙකකට ගෙන යෑමට එකම හේතුව ඔවුන් මහේස්ත්‍රාත්වරයා සමඟ කතා කිරීම නැවැත්වීමටයි’ ඔහු පැවසීය. නීතිඥ එරික් බාලසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් අතරතුරදී සිදුවූ දේ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති බව ද සුමන්තිරන් මහතා කීවේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ ඇයට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත යුතු බවයි. ඒ අනුව නඩුව ජුනි 21 දක්වා කල් තැබිණි.
පෙත්සම්කරු වන එරික් බාලසූරිය මහතා වෙනුවෙන් නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සහ නීතිඥ එරමිසා ටීගල් මහත්මිය සමග ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටි අතර, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අවන්ති පෙරේරා පෙනී සිටියාය.
Previous articleඅසත්‍ය පුවත් මුවාවෙන් වැටබඳින ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අධිකරණයට වගකීමක් නැද්ද ?
Next articleපොලිස් භාරයේ සිටින පුද්ගලයන් මියයෑම මහජන ආරක්ෂාවේ බිඳවැටීමක් – මානව හිමිකම් කොමිසම බලය භාවිත කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here