පොලිස් භාරයේ සිටින පුද්ගලයන් මියයෑම මහජන ආරක්ෂාවේ බිඳවැටීමක් – මානව හිමිකම් කොමිසම බලය භාවිත කරයි !

පොලිස් භාරයේ සිටින පුද්ගලයන් මිය යෑමේ සිදුවීම් මෙරට පුරවැසියන්ගේ පුද්ගල නිදහසට තර්ජනයක් මෙන්ම එමගින් රට තුළ මහජන ආරක්ෂාවේ බිඳ වැටීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් වධහිංසාවට ලක්වීම හා මිය යෑම සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව සඳහන් කරයි.
ඉකුත් ජූනි 03 වැනිදා මඩකලපුව ⁣මූලස්ථාන පොලිස් භාරයේ සිටියදී චන්දන විදූෂන් යන පුද්ගලයා මිය යෑම සහ ජූනි 06 වැනිදා පානදුර උතුර පොලිස් භාරයේ සිටියදී අලිඛාන් යන පුද්ගලයා මිය යෑම යන මාධ්‍ය විසින් වාර්තා කරන ලද සිදුවීම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දැඩි අවධානයට ලක්වූ බවත් මෙම සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 14 වගන්ති ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම කොමිසම කියයි.
මෙහිදී අදාළ පුද්ගලයන් දෙදෙනා පොලිස් භාරයේ සිටියදී මිය යෑම මෙන්ම අත්අඩංගුවේදී කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිල්ලකට ලක්වී ඇති බවට වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇති බව ද, ඒ අනුව පසුගිය දින කිහිපයක් තුළ පොලිස් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටළු පැන නැගී ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව කියයි. ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ මෙවැනි සිදුවීම් දිගින්-දිගටම වාර්තා වීම නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටීමක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජූනි 13 වැනිදාට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගන්නැයි ද එම කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාව මෙසේද සඳහන් කරයි.
‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 13(4) ව්‍යවස්ථාවන් හා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති නඩු තීන්දු මෙන්ම 2021.05.17 හා 2020.10.21 දිනැතිව ඔබ වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යොමු කරනු ලැබූ ලිපි පිළිබඳව නැවතත් ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.
පොලිස් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව දිගින්-දිගටම මෙවැනි සිදුවීම් වාර්තා වීම පුරවැසියන්ගේ පුද්ගල නිදහසට තර්ජනයක් මෙන්ම රට තුළ මහජන ආරක්ෂාවේ බිඳ වැටීමක්ද නිරීක්ෂණය වන බව සඳහන් කරමු.
එබැවින් උක්ත ලිපි මගින් දැන්වූ වාර්තාවලට අමතරව මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ඔබ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව 2021.06.13 දින⁣ට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගැනීමට මෙයින් ඔබට දැනුම් දෙමු.
මෙම දැන්වීම කරනුයේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව බව සලකන්න.’
Previous articleමහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් දීම වළක්වන්න සැකකරුවන් රහසිගත ස්ථානයක සඟවලා – සීඅයිඩීයට චෝදනාවක් !
Next articleජීඑස්පී සහනය ලංකාවට අවශ්‍ය ද? – මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ යුරෝපා සංගම් යෝජනාව සම්මත වෙයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here