කොරෝනා පාලනය සංසන්දනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව නොමග යවයි?

කොරෝනා පාලනය පිළිබඳව ලෝකයේ ධනවත්ම රටවල් 10 සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පෙන්නුම් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දත්ත වගුවක් සහ නිවේදනයක් ඊයේ (07) නිකුත් කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලොව බලවත්ම රාජ්‍යයන් ඊට මුහුණ දී ලබාගෙන තිබෙන ජයග්‍රහණ සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව ද එම රාජ්‍යයන් හා සම-සමව එම අභියෝගය ජය ගැනීමට සමත්ව ඇති බව වත්මන් දත්ත අනුව පැහැදිලි වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි.
ලෝකයේ බලවත්ම රාජ්‍යයන් දහයේ එම රටවල ජනගහනයට සාපේක්ෂව, වෛරසය ව්‍යාප්ත වීමේ ප්‍රමාණය, මරණ සංඛ්‍යාව සහ සුව වීමේ සංඛ්‍යාවල ප්‍රතිශත සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව ඇතැම් තැනෙක මෙම රාජ්‍යයන් අභිබවා වසංගතය පාලන කිරීමට සමත් වී ඇති බවත් මෙම දත්ත පැහැදිලිව පෙන්නුම් කරන බව ද එහි සඳහන් විය.
එහි මෙසේද දැක්විණි.
‘විශේෂයෙන්ම වසංගතය පැතිරයෑමත් මරණ සංඛ්‍යාවත් ශ්‍රී ලංකාව සාර්ථකව පාලනය කර ඇත. සුව වීමේ ප්‍රවණතාව ද මෙම බලවත් රාජ්‍යයන් හා ආසන්න මට්ටමක පවතී. සෞඛ්‍ය අංශ මෙම රෝගීන් වෙනුවෙන් දක්වන දැඩි සැලකිල්ල මත සුව අතට පත්වන රෝගීන් ප්‍රමාණය දිනෙන්-දින ඉහළ යමින් වේගවත්ව සිදුවෙමින් තිබේ.
මේ අනුව මෙම වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වන අභූත චෝදනාවල පදනමක් නැති බව පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ශඛ්‍යතාව උපරිමයෙන් යොදාගෙන අද දින මෙම වසංගත තත්ත්වය සාර්ථක ලෙස මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුවත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ප්‍රමුඛ ආරක්ෂක අංශය සහ සෞඛ්‍ය අංශ සාමාජිකයනුත් පුරවැසි ජනතාවත් කළ කැපකිරීම්වල ප්‍රතිඵලය මත අද අපට අභිමානවත් රටක් ලෙස ලෝකය හමුවේ නැගීසිටීමේ හැකියාව ලැබී තිබේ.’
නමුත් මෙම දත්තවල ඒ ඒ රටවල් කරන ලද කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව කොතැනකවත් සඳහන් වූයේ නැත. එම නිසා එම දත්ත පෙන්නුම් කිරීම නොමග යවන සුළු විය හැකිය.
ජනාධිපති මාධ්‍ය අංශය අදාළ දත්ත වගුව සකස් කිරීම සඳහා ඇතැම් දත්ත ලබාගෙන තිබුණු වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියට අනුව ජනගහනයෙන් මිලියනයකට කරන ලද කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 129 තැන ය.
ශ්‍රී ලංකාව කරන ලද මුළු පීසීආර්/ ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3,557,469කි. ජනගහනයෙන් මිලියනයකට කරන ලද පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 165,487කි.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ දැක්වෙන රටවල් 11ට අදාළව එම වෙබ් අඩවියේ දත්ත ඇතුළත් කළ විට, ජනගහනයෙන් මිලියනයකට කරන ලද පරීක්ෂණ අනුව බැලුවහොත් ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 11 අතරින් 09 වැනි තැනය. කරන ලද මුළු පරීක්ෂණ සංඛ්‍යාව අතින් බැලුවහොත් ශ්‍රී ලංකාව සිටින්නේ 11 වැනි තැන එනම් අවසන් ස්ථානයේය. කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාව සිටින්නේ 09 වැනි තැන ය. ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින්නේ වසංගතය ආරම්භ වූ බව පැවසෙන චීනය සහ ජපානයයි.
ජනාධිපති මාධ්‍ය අංශයේ වාර්තාවට ගෙන ඇති ඒ ඒ රටවල කරන ලද මුළු කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට වැඩිම ප්‍රතිශතයක් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයට ය. ඒ සියයට 277.3කි. එනම් එරට ජනගහනය වන මිලියන 67.89 මෙන් තුන්ගුණයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර, එය මිලියන 189.1කි.
එක්සත් ජනපදයේ ජනගහනය මිලියන 332.8කි. සිදු කර ඇති කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 489.7කි. ජනගහනය මිලියන 65.27ක් වන ප්‍රංශයේ කර ඇති මුළු කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 87.3කි. මිලියන 60.4ක් වෙසෙන ඉතාලියේ කර ඇති මුළු කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව 67.4ක් වන අතර, මිලියන 37.7ක් ජීවත් වන කැනඩාවේ සිදුකර ඇති කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 35.3ක් වේ. ජර්මනියේ ජනගහනය මිලියන 84ක් වන අතර, කර ඇති මුළු පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 61.3කි. මිලියන 1392.8ක් වෙසෙන ඉන්දියාව කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 368.2 ක් වන අතර, මිලියන 212.6ක ජනගහනයක් සහිත බ්‍රසීලයේ කර ඇති කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 50කි. නමුත් මිලියන 21.4ක් සිටින ශ්‍රී ලංකාවේ කර ඇති මුළු කොවිඩ්-19 පරීක්ෂණ (පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන්) සංඛ්‍යාව මිලියන 3.5කි. එනම් ලක්ෂ 35කි.
ඒ අනුව එක්සත් ජනපදය (141.1%), ප්‍රංශය (133.5%) සහ ඉතාලිය (111.6%) යන රටවල්වල ද සිය ජනගහනයට වඩා වැඩි සංඛ්‍යාවක් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකර ඇත. ඊට අමතරව කැනඩාව සිය ජනගහනයෙන් සියයට 92.8ක් ද, ජර්මනිය සියයට 73ක් ද කොවිඩ්-19 පරීක්ෂණ සිදුකර තිබේ.
ඉන්දියාව සිය ජනගහනයෙන් 26.4%ක⁣ටත්, බ්‍රසීලය 23.3%කටත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකර ඇති අතර, ශ්‍රී ලංකාව සිදුකර ඇති මුළු කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කල 16.5%කි. ජපානයේ සහ චීනයේ එම ප්‍රතිශතය 11%කි. චීනයේ ජනගහනය මිලියන 1444.6ක් වන අතර, සිදු කර ඇති මුළු කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 160කි. මිලියන 126.1ක ජනගහනයක් සහිත ජපානයේ කර ඇති කොවිඩ්-19 පරීක්ෂණ ගණන මිලියන 14.9කි.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිවෙිදනය  
(ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ දත්තවල සඳහන් නොවූ) ඒ ඒ රටවල කරන ලද කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස පහත දැක්වෙයි.

පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ලොව 21 වැනි තැන බව ද, ආසියාවෙන් 09 වැනි තැන බවද ජනාධිපති මාධ්‍ය අංශය සිය වාර්තාව සඳහා ඇතැම් තොරතුරු ලබාගෙන ඇති වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියම දක්වා සිටී.
පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 21,615ක් ආසාදිතයන් වාර්තා වී ඇති අතර, ඊට පෙර සතියේ ආසාදිතයන් 19,192 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව සතියක් තුළ 13%කින් ආසාදිතයන් වාර්තා වීම වැඩි වී තිබේ. එමෙන්ම මරණ වාර්තා වීම පසුගිය සතිය තුළ 27% කින් ඉහළ ගොස් ඇත. ඊට පෙර සතියේ මරණ 241ක් වාර්තා වී ඇති අතර, පසුගිය සතියේ එම සංඛ්‍යාව 305ක් දක්වා වැඩි වී තිබේ.
එම වෙබ් අඩවියේ පසුගිය සතිය තුළ ආසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව, ඉරානය, මැලේසියාව, පිලිපීනය, තුර්කිය, ඉන්දුනිසියාව, නේපාලය, සහ ඉරාකයයි. එම සියලුම රටවල පසුගිය සතියේ ආසාදිත රෝගීන් වැඩි වී ඇති ප්‍රතිශතය ශ්‍රී ලංකාවට වඩා අඩු මට්ටමක පැවතීම වි⁣ශේෂත්වයකි. ඉන් බොහෝ රටවල ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති ප්‍රතිශතය දැක්වෙන්නේ සෘණ සංඛ්‍යාවක් ලෙස ය. එනම් ආසාදිත සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ය.
  • ඉන්දියාව = -33%
  • ඉරානය = -16%
  • මැලේසියාව = -7%
  • පිලිපීනය = +0.3%
  • තුර්කිය = -20
  • ඉන්දුනිසියාව = +2%
  • නේපාලය = -26%
  • ඉරාකය = -5%
පසුගිය සතිය තුළ ඒ ඒ රටවල ජනගහනයෙන් මිලියනයකට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව අනුව ආසියාවෙන් ශ්‍රී ලංකාව සිටින්නේ තුන්වැනි තැන ය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ මැලේසියාව සහ නේපාලයයි.
පසුගිය සතියේ ආසියාවේ මිලියනයකට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව
  • ඉන්දියාව = 591
  • ඉරානය = 684
  • මැලේසියාව = 1518
  • පිලිපීනය = 412
  • තුර්කිය = 519
  • ඉන්දුනිසියාව = 150
  • නේපාලය = 1019
  • ඉරාකය = 676
  • ශ්‍රී ලංකාව = 1005
Previous articleරට ගැන තිබුණු විශ්වාසයත් නැති කරලා : මේ හදන්නෙ කොටසක් බිල්ලට දෙන්න – මන්ත්‍රිනී හරිනි අමරසූරිය
Next articleසත්‍ය තීරණය කරන්නෙ පොලිසිය ද? – විපක්ෂය : රටවල් ගණනාවක් මෙහෙම කරනවා – ආණ්ඩුව : මර්දනය කිරීමේ අපේක්ෂාවක් නෑ – පොලිසිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here