ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට – බන්ධනාගාරවල භයානක තත්ත්වයක් – වෛද්‍ය ජයාන් මෙන්ඩිස්  

(ශාලික විමලසේන)

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටි තවත් රැඳවියකු ඊයේ (08) සියදිවි හානිකරගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුළ වැලිකඩ, මීගමුව සහ මහර යන බන්ධනාගාර තුළ රැඳවියන් හයදෙනෙකු මෙසේ සියදිවි හානිකරගෙන තිබීම විශේෂත්වයකි.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසන්නේ මෙසේ මියගිය සියලු රැඳවියන් මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වූවන් බවත්, ඔවුන් සියල්ලන් තරුණ වයසේ පසුවූවන් බවත් ය. පසුගිය කාලයේදී බන්ධනාගාර තුළට මත්කුඩු රැගෙන ඒමට තිබූ අවස්ථා අවම කිරීමට පරිපාලනය කටයුතු කළ බවත්, මෙම සියදිවි හානිකර ගැනීම්වලට එම තත්ත්වය බලපා ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

රැඳවියන්ගේ ආරක්ෂාව කෝ ?

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තේමා පාඨය ලෙස රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව දක්වා තිබුණද, ඊට දෙපාර්තමේන්තුව සමත් වී නැති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු, නීතිඥ සේනක පෙරේරා පැවසීය. කෙමසාරිස් ජනරාල්වරයාම පවසන ආකාරයට රැඳවියන් හයදෙනෙකු එකම ආකාරයට මියයන තුරු, එය වළක්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවත්, හත්වැනියා ද මියයන තුරු එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමේ සූදානමක් පෙනෙන්නට නැති බවත් අවධාරණය කරන නීතිඥවරයා, බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ වගකීම බන්ධනාගාර නියාමකවරුන් සතු බවත්, රැඳවියකු බන්ධනාගාරය තුළට ඇතුළු කර ගැනීමේදී ඔහු සතු බඳපටි, මාල ඇතුළු සියල්ල ඉවත් කරන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහා බවත් පෙන්වා දෙයි.

බරපතළ මානසික පීඩා

රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා එවැනි ආරක්ෂිත ක්‍රමවේද සකස් කර ඇති තත්ත්වයක් තුළ, මෙසේ එකදිගට රැඳවියන් සියදිවි හානිකර ගැනීම බරපතළ තත්ත්වයක් බව ද නීතිඥවරයා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන් විශේෂයෙන්ම බරපතළ මානසික පීඩාවලින් පෙළෙන බවත්, ඊට අදාළ මානසික සායන පවා විධිමත්ව නොපැවතීම අවධානය ලක්විය යුතු කරුණක් බවත් එම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මානසික සායන ආරම්භකයා 

බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ට මෙවැනි මානසික සායන පැවැත්වීම ආරම්භ කරන ලද්දේ 2004 වසරේ සිට ය. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ එවකට හිටපු අධ්‍යක්ෂ, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් ය. මේ වන විට කොතලාවල විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජයාන් මෙන්ඩිස් සමග MediaLK පැවැත්වූ සාකච්ඡාවක සටහනක් පහත පළ වේ.

බන්ධනාගාර භයානකයි 

මෙරට බන්ධනාගාරවල තත්ත්වය අතිශය භයානක ය. කිසිදු මානසික පීඩාවක් නොමැති අයෙකු වුවද, ඒ තුළට ගාල් කළ විට විශාදය වැනි දරුණු මානසික රෝගවලින් පීඩාවිඳීමේ වැඩි සම්භාවිතාවක් තිබේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට බන්ධනාගාරවල ඇති වැසිකිළිවල තත්ත්වය පමණක් වුවද ප්‍රමාණවත් ය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මානසික රෝගවලින් පීඩා විඳින ප්‍රමාණය සාපේක්ෂව වැඩි ය. ඒ නිසාම ඔවුන් සියදිවි හානිකර ගැනීමෙට පෙළඹීමේ වැඩි නැඹුරුවක් ද පවතී. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දේශන මගින් පුළුල් අවබෝධයක් පවා ලබා දී තිබේ. එහෙත් කනගාටුවට කරුණ වන්නේ එම දේශනවලදී අවධාරණය කෙරෙන කිසිදු කරුණක්, බන්ධනාගාර අභ්‍යන්තරයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ය.

අධ්‍යයන නැති ලංකාව

ලෝකයේ බොහෝ රටවල බන්ධනාගාරවල සිදු වන සියදිවි හානිකර ගැනීම් සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයන සිදු වේ. එම අධ්‍යයනවලින් හඳුනාගන්නා විශේෂිත කරුණුවලට පිළියම් යෙදීම සිදු වේ. එහෙත් ලංකාවේ මෙතෙක් එවැනි විධිමත් අධ්‍යයන එකක් හෝ සිදු නොකිරීම අතිශය බරපතළ තත්ත්වයකි. එවැනි තත්ත්වයක් යටතේ පසුගිය කාලයේ හය දෙනෙකු පමණක් සියදිවි හානිකර ගත් බව පැවසීම වඩා යහපත් කරුණකි. එම ගැටළුව ගැන කිසිදු පිළියමක් යෙදීමේ වැඩසටහනක් නැති තත්ත්වයක් තුළ, එම සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් නොගැනීම පුදුමයට කරුණකි.

බන්ධනාගාරය නීති කඩයි

බන්ධනාගාර පිළිබඳ ලෝකයේ පිළිගත් තත්ත්වයන්ට අනුව එක් බන්ධනාගාරයකට අනිවාර්යෙන්ම මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු සිටිය යුතුය. සියලු රැඳවියන් ඔහුගේ පෞද්ගලික අවධානයට යොමු කළ යුතුය. ලංකාවේ කිසිදු බන්ධනාගාරයක එවැනි විශේෂඥවරුන් වෙනම නැත. එසේ නොමැති නම් කළ යුත්තේ රටේ නීතියට අනුව මානසික රෝගී පුද්ගලයන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යැවීම ය. ඔවුන් බන්ධනාගාර තුළ රඳවාගෙන සිටීම නීතිවිරෝධී වේ.

තවත් ලෝක මානසික සෞඛ්‍ය දිනයක්

හෙට (10) දිනට ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත. කනගාටුදායක වුවත්, මෙවැනි සියදිවි හානිකර ගැනීමක් මගින් හෝ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අපේ රටේ කතිකාවක් ආරම්භ කෙරෙන්නේ නම් එය වැදගත් ය. බන්ධනාගාර, රෝහල්, පාසල්, රජයේ කාර්යාල ඔය කිසිදු ස්ථානයක එවැනි විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවේ. මාධ්‍ය මගින් ද එම විෂයට ලැබෙන්නේ ඉතා අඩු ප්‍රමුඛස්ථානයකි. ඇතැම් අවස්ථාවල හුදෙකලා උත්සාහයන් ක්‍රියාත්මක වේ. එහෙත් ඒවාට සමස්ත සමාජයට කළ හැකි බලපෑම අඩු ය. බන්ධනාගාරවල නමට මානසික සායන පැවැත්වුණද, මානසික සෞඛ්‍ය පවත්වාගැනීමට අදාළ පරිසරයක් එහි නැත. බන්ධනාගාරවල තත්ත්වය භයානක ය. කෙසේ වෙතත් සමස්ත සමාජයටම එය පොදු ය.

Previous articleචීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වෙනම නීතියක් : නිරෝධායනය නෑ : පීසීආර් පමණයි
Next articleඅපේ බිය අපව පහත් කරනවා : අපේ නිදහස නැතිකරනවා – මහාචාර්ය හූල්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here