රට ගැන තිබුණු විශ්වාසයත් නැති කරලා : මේ හදන්නෙ කොටසක් බිල්ලට දෙන්න – මන්ත්‍රිනී හරිනි අමරසූරිය

නිදහස් වෙළෙඳ කලාප අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබුණද, ඒ කර්මාන්තවල සේවය කරන අයගේ ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
නිදහස් වෙළෙඳ කලාපයේ බොහෝ සේවකයන් වැඩකරන්නේ මෑන්පවර් ඒජන්සි හරහා බවත්, ඔවුන් වෙනුවෙන් ව්‍යාපාර හිමි අය හෝ රජය හෝ මෑන්පවර් ඒජන්සි හෝ වගකියන්නේ නැති බවත් ඇය සඳහන් කළාය. රැකියා ස්ථානවලදී කොවිඩ් ආසාදනය වුවහොත් ඔවුන්ගේ නේවාසිකාගාරවල නතර වන ලෙස දැනුම් දී ඇති බවත්, ඔවුන්ට ආහාර ලබාගැනීමටවත් ක්‍රමයක් නැති බවත් ඇය කීවාය.
‘එදිනෙදා රැකියාවට ගියේ නැත්නම් ආදායමක් ලැබෙන්නෙත් නැහැ. මේ අය පිළිබඳ කිසිම වගකීමක් කවුරුත් අරගෙන නැහැ. ඒ හා සමාන ව්‍යාපාර ගොඩාක් තියෙනවා. සුපර් මාර්කට්වල වැඩ කරන අයත් එහෙමයි. ඔවුන් බොහෝදෙනෙක් කොළඹින් පිට අය. ඔවුන් ජීවත් වෙන්නෙ බෝඩිංවල. නිරෝධායනයට අවශ්‍ය පහසුකම් බෝඩිංවල තියෙනවාද?’ යැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කළාය.
ඇය මේ බව සඳහන් ක⁣ළේ ඊයේ (07) ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොළඹ ආර්ථික සේවා සපයන බොහෝඅයගේ තත්ත්වය මෙය බව ද, මේ කරන්නේ රටේ ජනගහනයෙන් යම් කිසි පිරිසක් බිල්ලට දීම බව ද ආණ්ඩුව සිටින්නේ  ‘කොටසක් ⁣රෝගී වී මැරුණාට කමක් නැතැයි’ යන මතයේ බව ද මන්ත්‍රීවරිය කීවාය.

අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ ගැටළුවක

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ ගැටළු රැසක් ඇති බවත්, අවුරුදු එකහමාරකට වැඩි කාලයක් පාසල් සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යැමට නොහැකි වී ඇති බවත් ඇය සඳහන් කළාය. ඔන්ලයින් මාර්ගයෙන් ඉගැන්වීම් සිදුකරන බවත්, කිසිම ප්‍රශ්නයක් නැති බවත් අධ්‍යාපන බලධාරීන් පැවසුවද, මව්පියන්ගෙන්, පාසල් දරුවන්ගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උත්තරයක් බව ද ඇය සඳහන් කළාය. ඔන්ලයින් ක්‍රමය තුළින් නිසි පරිදි ඉගෙන ගැනීමට නොහැකිව අධ්‍යාපනය අත්හරින පිරිස අතිවිශාල බවත්, අංක ගණිතයෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන තක්සේරු කළ නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
ඇය මෙසේ ද සඳහන් කළාය.

මේක භයානක තත්ත්වයක්

‘ලෝකයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරන කොට අපේ රට යම්කිසි විදිහකට වාසනාවන්ත රටක් කියලා හැඟීමක් ශ්‍රී ලාංකිකයන්ට තිබුණා. ගැටළුවලට මුහුණ දුන්නත් අපිට ඒවගෙන් ගොඩඑන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. අප්‍රිකාවේ රටවල් එක්ක, බංගලිදේශය එක්ක, එහෙමත් නැත්නම් ජපානය එක්ක වගේ සංසන්දනය කරලා වාසනාවන්ත රටක් කියන හැඟීමක් තිබුණා. බිංදුවට වැටෙන්නේ නැහැ කියන ව්‍යුහාත්මක ශක්තිමත් බවක් තියෙනවා කියලා විශ්වාසයක් තිබුණා. අවුරුදු දෙකක්වත් යන්න කලින් මිනිස්සුන්ට තමන්ගේ රට, තමන්ගේ අනාගතය ගැන කිසිම විශ්වාසයක් නැති තැනකට මේ ආණ්ඩුව පත්කර තිබෙනවා. වර්තමානය පිළිබඳවත් අනාගතය පිළිබඳවත් තමන්ගේ ජීවිතය පිළිබඳවත් ජනතාවට තිබෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිතභාවයක්. මේ ප්‍රශ්නවලින් ගොඩඑන්න බැහැ කියන හැඟීමක්  ඇතිවෙලා තියෙනවා. අපිට එන දුරකතන ඇමතුම්, අපිට එන ලියුම්වලින් ජනතාව අතර තියෙන බලාපොරොත්තු රහිත අවිනිශ්චිතභාවය හොඳටම දැනෙනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්.

සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවාද?

උදාහරණයක් හැටියට මේ මොහොතේ ක්‍රියාත්මක සංචරණ සීමා දැක්විය හැකියි. ආණ්ඩුව මේ සංචරණ සීමාවලට විරුද්ධවයි හිටියේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන වගේම ජනතාවගෙන් ලොකු බලපෑමක් එල්ල වීම නිසා සංචරණ සීමා පැනවූවා. ආණ්ඩුව එය කළේ අකමැත්තෙන්. සංචරණ සීමා ඉල්ලුවේ කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා. සෞඛ්‍ය සේවයට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයකට වසංගතය පාලනය කිරීමේ අවශ්‍යතාව අනුවයි ඒ වෙනුවෙන් පෙනීහිටියෙ. නමුත් සංචරණ සීමා පැනවිය යුත්තේ එහි ප්‍රතිඵල ලබාගන්න සැලසුම්සහගත ක්‍රියාමාර්ග සමඟයි.
බොහෝ රටවල සංචරණ සීමා පැනවූවාට ආහාර බෙදාහැරීම, සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම, ඉතාමත්ම වැදගත් නිශ්චිත ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම සඳහා සැලසුම් තියෙනවා. නමුත් අපේ රටේ අත්‍යවශ්‍ය සේවා කියලා ඕනෑම ක්ෂේත්‍රයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පාරට බැස්සාම සංචරණ සීමා ගැන පේන්නේ නැහැ.

නිදහස් වෙළෙඳ කලාපවල තත්ත්වය

නිදහස් වෙළෙඳ කලාපය අත්‍යවශ්‍ය සේවාවක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක විය යුතුයි කියලා පිළිගන්නවා නම් ඒ කර්මාන්තවල වැඩකරන අයගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කර තිබෙන්නේ මොනවාද? ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ ආරක්ෂාව දීලා තියෙන්නේ ඒ ව්‍යාපාරිකයන්ට. නිදහස් වෙළෙඳ කලාපයේ බොහෝ අය වැඩකරන්නේ මෑන්පවර් ඒජන්සි හරහා. ඔවුන් වෙනුවෙන් ව්‍යාපාර හිමි අය වගකියන්නෙත් නැහැ. රජය වගකියන්නෙත් නැහැ. මෑන්පවර් ඒජන්සි වගකියන්නෙත් නැහැ. රැකියා ස්ථානවලදී කොවිඩ් ආසාදනය වුණොත් ඔවුන්ගේ බෝඩිංවල නතර වෙන්න කියනවා. ඒ තැන්වල සමාජ දුරස්ථභාවයක් තියාගන්න බැහැ. ඔවුන්ට ආහාර ලබාගන්නවත් විදිහක් නැහැ.

මිනිස්සු බිල්ලට දෙන්නෙ ඇයි?

මේ කරන්නේ රටේ ජනගහනයෙන් යම් කිසි පිරිසක් බිල්ලට දීමයි. කොටසක් ලෙඩවෙලා මැරුණට කමක් නැහැ කියන තැනකයි ආණ්ඩුව ඉන්නේ. එවැනි කෲර විදිහට ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් දැන් තියෙන්නේ. මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය ගැන කිසිම හැඟීමක් නැති විදිහට ක්‍රියාත්මක වෙනකොට සංචරණ සීමාවලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබාගන්න බැහැ. කොවිඩ් පැතිරීමත්, මරණ සංඛ්‍යාවත් අඩු කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය දැන් මතුවී තිබෙනවා.

විදේශිකයන්ට වෙනම නීති

විදේශිකයන් පිරිසකට යාල, උඩවලව උද්‍යාන යම්කිසි අනුමැතියකට යටත්ව විවෘත කරන්න තීරණය කර  තිබෙනවා. මේ තීරණ ගන්නේ කවුද? මෙවැනි තීරණ ගන්න මොන සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියද ලබාගත්තේ? මේ තීරණවලට වගකියන්නෙ කවුද? මාස කිහිපයකට ඉස්සර යුක්‍රේනියානුවන් පිරිසකට යාල විවෘත කළා. එතැන හිටපු මඟපෙන්වන්නන් කිසිම සැලැස්මක් නැතිව නිරෝධායනයට යැව්වා. අන්තිමට මේ තැන්වල වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? මිනිස්සුන්ගේ ජීවිත ගැන පවා කිසිම වගකීමක් නැතිව ක්‍රියාකරන ආණ්ඩුවක් දැන් තියෙන්නේ.

ඡන්දය දෙනකොට වරදින්න පුළුවන් !

අපේ රටේ පාලකයෝ හැසිරෙන්නේ මේ රටේ මිනිසුන්, මේ රටේ සම්පත් තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ සලකලා. ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න මේ සියල්ල යොදාගන්නවා. හැට නම ලක්ෂයක් ඡන්දය දුන්නේ මේකට නෙමෙයි. ඡන්දය දුන්න අයට මේ තත්ත්වය හොඳටම තේරිලා තියෙනවා. ඔවුන් ඉතාමත්ම අසරණයි. ඔවුන් දැන් අතරමං වෙලා ඉන්නේ. නමුත් අපි කියන්නේ ඡන්දයේදී ඔවුන්ට වරදින්න පුළුවන්. නමුත් රටට මේ වගේ විනාශයක් වෙන්න දෙන්න බැහැ. මේ රටට අනාගතයක් තියෙන්න ඕනෑ. මේ රට වාසනාවන්තයි කියන හැඟීම නැති වුණු එක ඛේදවාචකයක්. අපේ භූගෝලීය පිහිටීම, විවිධත්වය, සංස්කෘතීන් සියල්ල කොතරම් වටිනවාද කියලා අපි දන්නවා. ආත්මාර්ථකාමී මුග්ධ හැඟීම් තියෙන පාලකයන්ට මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. එය නතර කිරීමට අපි සියලුදෙනාටම වගකීමක් තියෙනවා. තමන්ගේ බලාපොරොත්තු අත්නොහැර මේ තත්ත්වය වෙනස් කිරීමට ප්‍රගතිශීලී සහ මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන පිරිසත් එක්ක එකතු වෙලා විනාශය නතර කරන්න එක්වෙමු කියන ආරාධනය කරනවා.’
Previous articleසාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට ලක්කරයි !
Next articleකොරෝනා පාලනය සංසන්දනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව නොමග යවයි?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here