සාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට ලක්කරයි !

කොළඹ වරාය ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
ඒ තුළින් මෙරට වෙරළ තීරයටත්, සාගර ජීවීන්ටත්, සාගර පරිසරයේ ජෛව විවිධත්වයට සහ ධීවර ප්‍රජාවට එල්ල කළ බලපෑම ගණනය කළ නොහැකි තරම් බව ද අගමැතිවරයා සඳහන් කරයි. නෞකා සහ යාත්‍රා දියත්වීම සහ ඒවායේ අනතුරු සාගරය දූෂණයට සෘජුව බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.
ගංගා හෝ ඇළ මාර්ගවලින් මෙන්ම සෘජු ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය සාගරයට මුදාහරින බව පසුගියදා පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දුන් බව ද, ඒ අනුව ගත්විට වෙරළ දූෂණයට ප්‍රධානම බලපෑම එල්ල වනුයේ ඒ තුළින් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
අදට (08) යෙදී ඇති ලෝක සාගර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.
‘සමුද්‍රීය පරිසරයේ වැදගත්කම ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ ‘ලෝක සාගර දිනය’ වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.
සංවර්ධනය සහ  කාර්මීකරණය යන‍ මානව ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් සමුද්‍රීය පරිසර දූෂණය ද මේ වනවිට ඉහළ යමින් ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ අදහසයි.ඉන්දියන් සාගරයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් ය.
ඒ වෙනුවෙන් 2008 වසරේ දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමටත්, සමුද්‍ර ආරක්ෂාව හා බැඳී පවතින නෛතික ක්‍රියාදාමයන්ට මුලපිරීමටත් අපට හැකියාව ලැබිණි. අප ජීවත්වන මෙම පෘථිවි තලයෙන් සියයට 70ක් ම වැසී ඇත්තේ ජෛව විවිධත්වයේ නිවහන ලෙස සැලකෙන සාගරයෙනි. ජීවීන්ගේ පැවැත්මට සෘජුව දායක වන සාගර පරිසර පද්ධතිය විවිධ මිනිස් ක්‍රියාකාරකම් මත දූෂණයට ලක්වීම කණගාටුවට කරුණකි.
සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත වන නිසා එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන අතර, දේශගුණික විපර්යාස බලපෑම් දක්වා එය දිගුවනු ඇත.
නෞකා සහ යාත්‍රා දියත්වීම සහ ඒවායේ අනතුරු සාගරය දූෂණයට සෘජුව බලපා ඇති අතර, පසුගියදා කොළඹට නුදුරු මුහුදේ අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව මාගේ විශ්වාසයයි. ඒ තුළින් අපගේ වෙරළ තීරයටත්, සාගර ජීවීන්ටත්, සාගර පරිසරයේ ජෛව විවිධත්වයට සහ ධීවර ප්‍රජාවට එල්ල කළ බලපෑම ගණනය කළ නොහැකි තරම් ය.
ගංගා හෝ ඇළ මාර්ගවලින් මෙන්ම සෘජු ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය  සාගරයට මුදා හරින බව පසුගියදා පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදි. ඒ අනුව ගත්විට වෙරළ දූෂණයට ප්‍රධානම බලපෑම එල්ල වනුයේ ඒ තුළිනි.
ප්ලාස්ටික් සහ පොලිතින් මේ ආකාරයට සාගරයට එක්වුවහොත් එමගින් ඇතිවන බලපෑම නූපන් පරපුර දක්වා දිගුවනු ඇත. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය මේ වසරේ දී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා මූලාරම්භය තබා තිබේ.
වෙරළ තීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනය මෙන්ම, කොරල් ප්‍රතිස්ථාපන වැඩසටහන් සැලකිය යුතු මට්ටමෙන් ඉදිරියට ගෙනයෑමටත්, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ පිළිබඳව පශ්චාත් අධීක්ෂණ වඩාත් කාර්යක්ෂම කිරීමටත් විෂය භාර අමාත්‍යවරයා ලෙස මම උපදෙස් දී ඇත්තෙමි.
සාගර විශ්වවිද්‍යාලයක් පිහිටුවමින් මෙම විෂයට තිබෙන උනන්දුව සහ සාගරය පිළිබඳව අධ්‍යයනයන් ඉදිරියට ගෙනයෑමට මා එදා තැබූ පියවර අදට වඩා හෙට තවත් කාලෝචිත වන බව මාගේ විශ්වාසයයි.
ධීවර ප්‍රජාව ඇතුළු සමුද්‍රීය පරිසරය ජීවනෝපාය කරගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෘජුව බලපාන සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව සිහිපත් කරමි.
‘ජීවිතය හා ජීවනෝපාය සාගරයයි’ යන මෙවර ලෝක සාගර දින තේමාව ද මේ ආකාරයට සාගරය හා බැඳුණු සියලු වටිනාකම් සිහිපත් කරයි.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අපේ මාතෘ භූමියේ පැවැත්ම සහ සුන්දරත්වය වෙනුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පෙළගැසෙමු යැයි මම ඔබට ආරාධනා කරමි.’

අගමැති කියන්නේ ඇත්තමද?

අගමැතිවරයා මෙසේ පැවසුවත්, ආණ්ඩුවේ සමුද්‍ර වගකීම සම්බන්ධයෙන් විශේෂඥයෝ ප්‍රශ්න කරති.
වරායවලට ඇතුළු වීම තහනම් කර ඇති අනතුරුදායක විකිරණශීලී ද්‍රව්‍ය රැගත් නෞකාවක⁣ට 2020 අප්‍රේල් මස 21 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට ඇතුළු වීමට අවසර දීම වැනි සිද්ධීන් මුල් කරගනිමින් ඔවුහු මෙසේ ප්‍රශ්න කරති.
එලෙස එවැනි නැව් ගමන් කිරීම අතරතුර යම් අනතුරකට ලක්වුවහොත්, සිදු විය හැකි අනතුර ඉතා විනාශකාරී වීම හේතුවෙන් එවැනි නැව් වරාය තුළට ඇතුළු වීම තහනම් කොට ඇත.
යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් UF6 පුරවා ගත් එම්. වී. බී. බී. සී. නාපල්ස් නමැති නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායේ සිට චීනය දක්වා ගමන් කිරීමේ දී සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් 2020 අප්‍රේල් මස 21 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට සේන්දු විය.
යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් යනු න්‍යෂ්ටික බලාගාරවලට හෝ පරමාණු බෝම්බ නිපදවීමට අවශ්‍ය යුරේනියම් 235 විකිරණශීලී සමස්තානිකය, යුරේනියම් නිධිවලින් ලබාගන්නා නියැදි හයිඩ්‍රෝ ෆ්ලෝරයිඩ් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන වාෂ්පශීලී කහ පැහැ ජෙලි ය. (Yellow cake) මේවා වේගයෙන් කරකැවෙන සිලින්ඩරාකාර භ්‍රමණ යන්ත්‍ර මඟින් යුරේනියම් 235 විකිරණශීලී සමස්තානිකය ලෙස වෙන්කරනු ලැබේ. යුරේනියම් නිධිවල යුරේනියම් 235 විකිරණශීලී සමස්තානිකය සියයට 0.3ක් පමණ අඩංගු ය. මෙම යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් සියයට 4ක් දක්වා සුපෝෂණය කිරීම මඟින් න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලෙස සුපෝෂණය කිරීමෙන් පරමාණු බෝම්බ නිපදවීම සිදුකරනු ලබයි.
යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් වායුගෝලයට විවර වුවහොත්, එය ඉතා වාෂ්පශීලී නිසා පහසුවෙන් වායුගෝලයේ පැතිරී යයි. ජලය තුළ ද පහසුවෙන් පැතිරී යයි. මෙය සියලු ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර ය. සත්ත්ව කොට්ඨාසවල රතු රුධිරානු අඩු වීම හා වකුගඩු, සම, පෙනහලු, අක්මාව ආදී ඉන්ද්‍රියයන්ට දැඩි බලපෑම් එල්ල කරයි. න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව වූ ප්‍රඥප්තීන් කිහිපයක් ඇති අතර, එයින් කිහිපයකට අප රට ද අත්සන් කොට ඇත.
මෙවැනි අනතුරුදායක තත්ත්වයන් තුළ එම්. වී. බී. බී. සී. නාපල්ස් නෞකාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය තුළට ගැනීම ඉතා භයානක ක්‍රියාවක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.
Previous articleහේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්
Next articleරට ගැන තිබුණු විශ්වාසයත් නැති කරලා : මේ හදන්නෙ කොටසක් බිල්ලට දෙන්න – මන්ත්‍රිනී හරිනි අමරසූරිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here