කිසිවක් හංගලා නෑ : නොතීසි නිකුත් කිරීම නීතිවිරෝධියි – එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට කියති !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වෙද්දී නිවැරදි තොරතුරු වසන් කළ බවට නැගෙන චෝදනා අසත්‍ය බවත්, සියලු තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දුන් බවත් නෞකාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (07) අධිකරණයට දැනුම් දුන්හ.
නැවෙන් සොයා ගත් වීඩීආර් උපාංගයේ (Voyage Data Recorder – VDR) සියලුම පණිවුඩ හුවමාරු සටහන් වී ඇති බවත්, එය පරීක්ෂා කිරීමෙන් මේ බව තහවුරු කර ගත හැකි බවත් නීතිඥවරු අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්හ. නැව්වලින් හුවමාරු වන පණිවුඩ පටිගත කරන උපාංගයක් වරාය අධිකාරියේ ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය පරීක්ෂා කිරීමෙන් මෙම විමර්ශන ආරම්භ කළ හැකි බව ද, නැව සහ නැවේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කපිතාන් ඇතුළු පිරිස නෑ

නැවේ කපිතාන්, ප්‍රධාන ඉංජිනේරු සහ දෙවැනි ඉංජිනේරු යන පිරිසට අද (07) අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි. එහෙත් අද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ එම තිදෙනා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔවුන් තිදෙනා ඇතුළු 10 දෙනෙකුට යළි නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය. නෞකාවේ කපිතාන් සහ නෞකාවේ ලංකාවේ ඒජන්තවරයා ඇතුළු පිරිසක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවේ කපිතාන්වරයා ඇතුළු පිරිසට යළිත් නොතීසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමට අදාළව කරුණු දක්වමින්, මීට පෙර ඔවුන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විරෝධය පළ කළේය. ‘නිරෝධායන නීතිය අනුව මේ පිරිස සති දෙකක් නිරෝධායනය විය යුතුයි. එසේ නිරෝධායනය වන අතරතුර නීති කඩමින් රහස් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා’ යැයි ඔහු සඳහන් කළේය.
එමෙන්ම 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතට (MEPA) අනුව විමර්ශන බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවත්, ඔවුන්ට නොතීසි නිකුත් කළ හැක්කේ මහාධිකරණයෙන් බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ක්‍රමයට කටයුතු නොකර, වෙනත් ක්‍රමවලින් කපිතාන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ දරන බවත්, ඔවුන් වරදක් කර ඇත්නම් විමර්ශන කර අත්අඩංගුවට ගන්නවා මිස මෙලෙස කටයුතු කිරීම වැරදි බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී අවධාරණය කළේය.

ලංකාව නොහැකියාව පෙන්වූවා

ශ්‍රී ලංකාවේ ආයතන තම නොහැකියාව වසා ගැනීමට නැවේ කපිතාන් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කරන බව ද, ශ්‍රී ලංකාව ලෝකයේ නැව් යන හොඳ ස්ථානයක තිබෙන බව කිව්වද නැවක ගින්නක් නිවා ගැනීමටවත් හැකියාව නැති බව මෙහිදී පෙන්වූ බව ද කී ජනාධිපති නීතිඥවරයා, නැවේ පිරිස අධිකරණයට ඉදිරිපත් කළහොත් ඉදිරියේ දී නැව් ලංකාවට ඒමට පෙර දෙවරක් සිතා බලනු ඇති බව ද ප්‍රකාශ කළේය. එමෙන්ම නැවේ කපිතාන් ඇතුළු පිරිසට විරුද්ධව ක්‍රියා කළහොත් ඉදිරියේ දී ලංකාවට ඇතුළු වන නැව්වල රක්ෂණ මුදල වැඩි කරනු ඇති බවත්, එයින් ද වරායට බලපෑම් ඇති විය හැකි බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

කිසිවක් හංගලා නෑ

නැවේ සිදුවීම සම්බන්ධයෙන් යම්-යම් තොරතුරු ලංකාවට දැනුම් නොදී සඟවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, එම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නීතිඥවරු කීහ. නැව සම්බන්ධ සියලුම තොරතුරු දැනුම් දුන් බවත්, කිසිම තොරතුරක් සඟවා නැති බවත් කී නීතිඥවරු, නැවේ වීඩීආර් උපාංගය පරීක්ෂා කිරීමෙන් හෝ වරාය අධිකාරියේ උපාංග පරීක්ෂා කර බලා එය තහවුරු කර ගත හැකි බව ද ප්‍රකාශ කළේය.

යළිත් නොතීසි නෑ

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නැවේ කපිතාන් ඇතුළු පිරිසට නොතීසි නිකුත් කිරීමට බලයක් නැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නාය. නැවට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ද අධිකරණය නාවික හමුදාවට නියෝග කළේය.
Previous articleසෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගේ ‘තර්ඩ් ක්ලාස්’ ප්‍රකාශය අපහාසයක් – නිග්‍රහයක් : මාධ්‍ය සංවිධාන එකතුවේ අප්‍රසාදය
Next articleහේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here