සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගේ ‘තර්ඩ් ක්ලාස්’ ප්‍රකාශය අපහාසයක් – නිග්‍රහයක් : මාධ්‍ය සංවිධාන එකතුවේ අප්‍රසාදය

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා ‘තර්ඩ් ක්ලාස්’ වැඩ කළ මාධ්‍යවේදීන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය පළකරන බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.
ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ එම මාධ්‍යවේදීන්ට හේමන්ත හේරත් මහතා කර ඇත්තේ බලවත් අපහාසයක් සහ නිග්‍රහයක් බව එම සංවිධාන එකතුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදු වූ ඝාතන, අතුරුදන් කිරීම් සහ ප්‍රහාර ඇතුළු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද ඔවුන් කළ කාර්යභාරයන් වැළැක්වීම සඳහා බවත්, ඒවා හිතාමතා සැලසුම් කළ අපරාධ නිසා බවත් සිය විශ්වාසය බව එම සංවිධාන පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැක්කක් බව ද ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬනගන මාධ්‍ය ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල්වල සියලුදෙනාට මෙයින් බලවත් හිත් රිදීමක් ඇති වී තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති. එම ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන් වගකිව යුතු නිලධාරියෙකු ලෙස හේමන්ත හේරත් මහතා සමාව ගත යුතු බව ද එම සංවිධාන එකතුව අවධාරණය කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘ජුනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව ඔබ කෝපයෙන් යුතුව මේ  ප්‍රකාශය කර ඇත්තේ, එදින තේමාවට අදාළ නොවන ගැටළුවක් සම්බන්ධයෙන් දිගින්-දිගටම ප්‍රශ්න කළ, මාධ්‍යවේදියෙකු ඉලක්ක කරගෙන බව ප්‍රකාශ වේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට ඔබ කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැක්කකි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬනගන මාධ්‍ය ප්‍රජාව වන අප මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලුදෙනා ද මෙයින් බලවත් හිත් රිදීමකට ලක්වී ඇත.
‘තර්ඩ් ක්ලාස් වැඩ’ සහ ‘ක්ලාස්’ සම්බන්ධ ඔබගේ නිර්වචනය ගැන කතිකාවතකට යන්නට අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් මේ වන විට සමාජගත වී ඇති ඔබගේ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගැනීම වගකිව යුතු නිලධාරියෙකු වශයෙන් ඔබගෙන් ඉටු විය යුතු යුතුකමක් සේ අපි සලකන බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් කියා සිටිමු.’
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම් කනපතිපිල්ලේ සර්වානන්ද, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩආරච්චි යන මාධ්‍ය සංවිධාන නියෝජිතයන් මේ නිවේදනයට අත්සන් කර ඇත.
Previous articleවරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට !
Next articleකිසිවක් හංගලා නෑ : නොතීසි නිකුත් කිරීම නීතිවිරෝධියි – එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට කියති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here