රිෂාඩ්ව පාර්ලිමේන්තු ගේන්න – වේත්‍රධාරීවරයාගෙන් සීඅයිඩී අධ්‍යක්ෂට ලිපියක් !

අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු සැසි වාර සහ කාරක සභා රැස්වීම් සඳහා සහභාගි කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතා විසින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවන ලෙස ඉල්ලීමක් කළහොත් පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත් විධිවිධාන සහ කතානායකවරයාගේ උපදෙස් ප්‍රකාර බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් වෙත උපදෙස් දෙන්නැයි ⁣වේත්‍රධාරීවරයා ලිපියක් මගින් මෙසේ ඉල්ලා ඇත.
2021 ජුනි මස 08 වැනිදා පෙරවරු 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇතැයි ද, එදිනට බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ද, ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින තීරණය කිරීමෙන් පසු අවශ්‍ය වෙතොත් ඒ බැව් දැනුම්දීම⁣ට කටයුතු කරනු ලබන බව ද එම ලිපියේ දැක්වේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම පක්ෂ නායකයන් ⁣ සහභාගි වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් හෙට (07) පැවැත්වීමට නියමිත බවත්, එම කාරක සභාවේ සාමාජිකයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඊට සහභාගි කරවන මෙන් ඉල්ලීමක් කරනු ලැබුවහොත් ඊට සහභාගි වීමට ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වේත්‍රධාරීවරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ අනුව මෙම කටයුතු සිදුකරන්නැයි ද එහි සඳහන් වේ.
Previous articleඑන්නත්කරණ ප්‍රතිපත්තිය අත්තනෝමතික සහ අවිචාරවත් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය !
Next articleසංචාරකයන් ගෙන්වන්නේ අපිව පර්යේෂණාගාර මීයන් කරන්න : ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ – විපක්ෂ නායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here