සංචාරකයන් ගෙන්වන්නේ අපිව පර්යේෂණාගාර මීයන් කරන්න : ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ – විපක්ෂ නායක

ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනය පැතිරෙනවාද, නැද්ද යන්න පිළිබඳව සොයාබලන පර්යේෂණාගාරයක් බවට වර්තමාන ආණ්ඩුව පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රට පුරා සංචරණ සීමා මෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වා රටට කරන්නට යන විනාශයේ තේරුම කුමක්දැයි සහ ආණ්ඩුව විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දෙවැනි පෙළ පුරවැසියන් ගානට දමා විදේශිකයන්ට ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයන් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීම මගින් ආණ්ඩුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියන් පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීමේ අලුත්ම නාඩගම ආරම්භ කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.
නිවේදන දෙකක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කරයි.
‘එක් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකුගේ දොළ දුක සංසිඳවනු පිණිස ආණ්ඩුව මිනිස් ජීවිත සමග කරනු ලබන මේ සාහසික නාඩගම වහාම නතර කළ යුතු අතර, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සිය පළමු, දෙවනු සහ තෙවනු න්‍යාය පත්‍රය බවට පත්කරගත යුතුය’ යනුවෙන් ද ඔහු සඳහන් කරයි.
එන්නත්කරණ ක්‍රියාවලිය මෙන්ම නිරෝධායන ක්‍රියාවලිය දේශපාලනයට නතුකරගෙන ඇතැයි ද පවසන විපක්ෂ නායකවරයා, සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලවතා සහ දුබලයාට දෙආකාරයකට සලකන ක්‍රියාවලියක් බවට පත් කර ඇති බවත්, දේශපාලන බලපුළුවන්කාරකම සහ හිතවත්කම මත නීති සහ රීති නැවීම සිදුවෙමින් පවතින බවත්, එක රටක් – එක නීතියක් වෙනුවට එක් එක් අයට නීති රැසක් නිර්මාණය වී ඇති බවත් සඳහන් කර සිටී.
අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බවත්, ඉන් වි⁣ශේෂයෙන්ම පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හදවත් රෝගීන් සහ වකුගඩු රෝගීන් අවසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කියයි. ආණ්ඩුව එන්නත් ගෙන්වන්නේ සිල්ලර ක්‍රමයට සොච්චම් ප්‍රමාණයක් බව ද, එම ප්‍රමාණය ද බලපුළුවන්කාර පිරිස් ඩැහැගනිමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි. රටේ සියලුම ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත්තේ ආණ්ඩුවේ නොහික්මුණු, අකාර්යක්ෂම සහ වියවුල් සහගත වැඩපිළිවෙළ නිසා බව ද මේ නිවේදන මගින් ඔහු අවධාරණය කරයි.
විපක්ෂ නායකවරයා ඊයේ (06) නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් ය.
‘මේ රටේ ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර, ඒ ජීවිත සමග සෙල්ලම් කිරීම ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙත බව ආණ්ඩුවේ ම වගකිවයුත්තන් ප්‍රසිද්ධියේ ම පවසා ඇත. කොරෝනා ව්‍යසනය ආරම්භ වූ වකවානුවේ ලොව සියලුම රටවල් සංචාරකයන්ට සිය රටවල් වසා දමද්දි ලංකාව දැන්වීම් පළකොට කොරෝනා සහ සංචාරකයන් ගෙන්වාගත් ආණ්ඩුවක් සහිත රටකි.
ඊට පසුව දෙවැනි රැල්ල ආරම්භ වන විට ද ආණ්ඩුව යුක්‍රේන සංචාරකයන් ගෙන්වීය. නිරෝධායන නීති-රීති අමු-අමුවේ උල්ලංඝනය කරමින් ගෙනා යුක්‍රේන සංචාරකයන් කිසිදු පාලනයකින් තොරව රට පුරා සංචාරය කළ අතර, යුක්‍රේන සංචාරකයන් ගෙන්නුවේ ‘කොරෝනා බෝවෙනවාද කියා පරීක්ෂා කිරීමට’ යැයි වගකීම් විරහිත, සාහසික උත්තර ලබාදුන් ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාසගත ය.
මේ නවතම තීන්දුව එහි දුෂ්ඨ අරමුණේ තවත් දිගුවකි.
රට පුරා සංචරණ සීමා මෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය සිදුවන අතරේ සංචාරකයන් ගෙන්වා රටට කරන්නට යන විනාශයේ තේරුම කුමක්ද?
ආණ්ඩුව විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දෙවැනි පෙළ පුරවැසියන් ගානට දමා විදේශිකයන්ට ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණ කුමක්ද?
මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් සිය පුරවැසියන්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස දැනුම් දී ඇති තත්ත්වයක් තුළ අපේ රටේ බලධාරීන් මෙරටට සංචාරකයන් ගෙන්වාගෙන මේ සූදානම් වන්නේ යුක්‍රේන ව්‍යසනයේ ⁣දෙවැන්න ආරම්භ කොට නව ⁣පොකුරකට දොරටු විවර කරන්නට ද?
මේ හරහා ලොව පුරා පැතිර ඇති නිරන්තරයෙන් වෙනස් වන නව කොරෝනා ප්‍රභේද රටට ආනයනය කරන්නට කටයුතු කරන අතර, එය එසේ නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක්ද?
ලොව පුරා රටවල් සිය පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා ඉතාමත් වගකීම් සහගත ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් දිනපතා ආසාදිතයන් තුන්දහසක් ඉක්මවමින් හමුවන තත්ත්වයක් තුළ සහ මරණ සංඛ්‍යාව ඉතා භයානක ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මේ රට තවත් බිහිසුණු රැල්ලකට හිතාමතාම තල්ලු කරමින් ආණ්ඩුව කරන මේ හිතුවක්කාරී, දුර්ධාන්ත ක්‍රියාවලියේ තේරුම කුමක්ද?’
ඔහු පෙරේදා (05) නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘කොරෝනා ව්‍යසනය දිනෙන්-දින උග්‍ර වී ඇති අතර, ආණ්ඩුව සිය අශිෂ්ඨත්වය ප්‍රකට කරමින් එයින් දේශපාලනය කරමින් සිටී. කොරෝනා ව්‍යසනය පැතිරෙනවාද, නැද්ද යන්න පිළිබඳව සොයාබලන
පර්යේෂණාගාරයක් බවට ආණ්ඩුව මේ රට⁣ පත්කළ අතර, එම සාපරාධී වරදේ වන්දිය ආණ්ඩුව මේ රටේ සමස්ත ජනතාවට ගෙවිය යුතුය. එමෙන්ම රුපියල් 5,000 දීමනාව ලබාදීම, එන්නත්කරණ ක්‍රියාවලිය මෙන්ම නිරෝධායන ක්‍රියාවලිය ද දේශපාලනයට නතුකරගෙන ඇත. අත්‍යවශ්‍ය ඖෂධ පවා දැඩි හිඟයක් ඇති අතර, වි⁣ශේෂයෙන්ම පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හදවත් රෝගීන්, වකුගඩු රෝගීන් එයින් අවසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් සිටී. සිල්ලර ක්‍රමයට සොච්චම් ප්‍රමාණයක් එන්නත් ගෙන්වන අතර, එය ද බලපුළුවන්කාර පිරිස් ඩැහැගනිමින් සිටී.
සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලවතා සහ දුබලයාට දෙවිදියකට සලකන ක්‍රියාවලියක් බවට පත්කොට ඇති අතර, දේශපාලන බලපුළුවන්කාරකම සහ හිතවත්කම මත නීති සහ රීති නැවීම සිදුවෙමින් තිබේ. එක රටක්-එක නීතියක් වෙනුවට එක්-එක් අයට නීති රැසක් නිර්මාණය වී ඇත.
මේ වන විටත් රටපුරා දැඩි වර්ෂාවක් පවතින අතර, අවතැන් ජනතාව වෙනුවෙන් ක්‍රමවත් සහ විධිමත් යන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මකව නැත. ආපදා කළමනාකරණ ක්‍රියාවලිය වල්වැදී ඇත. කොරෝනාවෙන් බැටකන ජනතාව ආපදාවෙන් ද බැටකන තුරු ආණ්ඩුව ආපදා කළමනාකරණ යන්ත්‍රණය සක්‍රීය නොකරන්නේ ඇයි?
පොහොර ප්‍රශ්නයෙන් ගොවි ජනතාව පීඩා විඳින අතර, අස්වනු අලෙවි කරගත නොහැකිව ද ඔවුහු පීඩා විඳිති. ධීවර ප්‍රජාව ඇතුළු සමස්ත කම්කරු ප්‍රජාව ද, රාජ්‍ය සේවකයා, පෞද්ගලික අංශ සේවකයා ඇතුළු සියලුදෙනා ද අතිශයින්ම පීඩාවට පත්ව සිටින අතර, ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට වැටී ඇත.
පරිසර විනාශය උග්‍ර වී ඇති අතර, මේ ව්‍යසනය මොහොතේත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් තිබේ. පසුගියදා සිදුවූ නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් වසර ගණනාවකට නැවත පිළිසකර කළ නොහැකි විනාශයක් රටට සිදු වී ඇති අතර, ඒ පිළිබඳ ආණ්ඩුව තවමත් සිටින්නේ නිද්‍රාශීලීව වන අතර, අදාළ විනාශයට වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය පවා තවමත් මන්දගාමීව සිදුවෙමින් තිබේ. අධ්‍යාපනය කඩාවැටී ඇති අතර, විෂය භාර අමාත්‍යවරයාට ඒ පිළිබඳව වගේ-වගක් නැත. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය පවා තවමත් ක්‍රියාත්මක වන්නේ ප්‍රාථමික මට්ටමේ ය.
දැනටමත් රටේ ආර්ථිකය බරපතළ කුණාටුවකට හසුවී ඇති අතර, කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ආසියානු කලාපයේ සියලු රටවල්වලට වඩා වේගවත් ආර්ථික බංකොලොත් බවකට අපේ රට පත්ව තිබේ. ⁣එදා වේල හෝ සපයාගන්නට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දුක් විඳිමින් සිටී. වැටුප් ගෙවාගැනීමේ හැකියාව පවා දැඩි ගැටළුවක් බවට පත්ව තිබියදීත් ආණ්ඩුවේ ඇතැමුන් තමන්ට මුදල් ඇති බවට පුරසාරම් දොඩවමින් සිටී.
රටේ සියලුම ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත්තේ ආණ්ඩුවේ නොහික්මුණු, අකාර්යක්ෂම සහ වියවුල් සහගත වැඩපිළිවෙළ නිසා ය. දෙවසරක් පුරා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව පෙන්වා ඇති අතර, වියත් යැයි කියා බලය ගත් ආණ්ඩුව ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය පවා කොල්ලකන දිනය වැඩි ඈතක නැත. එබැවින් මේ දුර්ධාන්ත පාලනය නෙරපා හැරීම උදෙසා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු අතර, ජනතාවාදී වැඩපිළිවෙලක් උදෙසා හෘද සාක්ෂියට එකඟව එකට එක්විය හැකි සියලු බලවේගවලට ඒ සඳහා දෑත් ඔසවා ආරාධනා කරමි.’
Previous articleරිෂාඩ්ව පාර්ලිමේන්තු ගේන්න – වේත්‍රධාරීවරයාගෙන් සීඅයිඩී අධ්‍යක්ෂට ලිපියක් !
Next article43 ගෙනාපු ද්විභාෂා අධ්‍යාපනය 56 විනාශ කළා – කන්නංගර ප්‍රතිපත්තිය පස්සට දැම්මේ ඇයි ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here