එන්නත්කරණ ප්‍රතිපත්තිය අත්තනෝමතික සහ අවිචාරවත් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය !

වයස අවුරුදු 18 – 44 අතර පුද්ගලයන් සඳහා මුදල් අයකර කොවිඩ් -19 එන්නත්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ‘අත්තනෝමතික සහ අවිචාරවත්’ බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
මේ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ එන්නත් මිල සැමට සමාන විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව ය. මේ වන විට එරට එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය වන්නේ වයස අවුරුදු 45  සහ ඊට වැඩි අයට නොමිලේ එන්නත්කරණය ලබාදීම සහ වයස අවුරුදු 18 – 44 අතර අය සඳහා මුදල් අයකර එන්නත්කරණය ලබාදීමයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේ කොවිඩ් -19 වසංගතයේ දෙවන රැල්ල වයස අවුරුදු 18 – 44 අතර බොහෝදෙනෙකුට බලපා ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට දරුණු සංකූලතා ඇති වී ඇති බවත් සඳහන් කරමිනි.
‘පෙර ප්‍රතිපත්තිය මෙන් නොව, මෙම එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය සමාන රෝගාබාධ සහ වෙනත් රෝග ඇති පුද්ගලයන්ට, ආබාධිත පුද්ගලයන්ට හෝ වෙනත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ප්‍රමුඛතාව නොදක්වයි. වසංගතයේ දෙවන රැල්ල අනුව කොවිඩ් -19 වෛරසය විකෘති වීමට හැකියාව ඇති බවට අත්දැකීම් ඇති අතර, දැන් මෙම වයස් කාණ්ඩයේ (18 – 44) පුද්ගලයන්ටද මෙය තර්ජනයක් වී ඇත.’ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.
මධ්‍යම අයවැයෙන් කොවිඩ් -19 එන්නත මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති රුපියල් කෝටි 35,000ක් වියදම් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම රජයට දැනුම් දී තිබේ. වයස අවුරුදු 18 – 44 අතර පුද්ගලයන්ට එන්නත් ලබාදීම සඳහා මෙය භාවිත කළ නොහැක්කේ මන්දැයි ද අධිකරණය විමසීය.
සති දෙකක් ඇතුළත සියලුම කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීමට අදාළ දත්ත ලබා දෙන්නැයි ද එන්නත් මාත්‍රා දෙකක් හෝ එකක් ලබා දී ඇති නාගරික හා ග්‍රාමීය ජනගහනයේ ප්‍රතිශත දත්ත ලබාදෙන්නැයි ද විනිසුරුවරු ඉල්ලා සිටියහ. ඉතිරි ජනගහනයට එන්නත ලබාදෙන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව ද දළ සටහනක් සපයන ලෙසට නියෝග කෙරිණි. මීට අමතරව සති දෙකක් ඇතුළත නොමිලේ එන්නත ලබාදීමේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සියලුම ප්‍රාන්තවලින් ඉල්ලා තිබේ.
වැඩිදුර නඩු විභාගය සඳහා ජුනි 30 කැඳවීමට නියමිතය.
ඊට පෙර එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ එන්නත් ලබාගැනීම සඳහා ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක්  ගෝලීය ටෙන්ඩර් නිකුත් කර ඇති බවත්, මෙය මධ්‍යම ආණ්ඩුවේ සථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බවත් ය. මේ දක්වා කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීමට ඉන්දීය රජය අපොහොසත් වී ඇති බව අධිකරණය නිරීක්ෂණය කළේය. එන්නත් ලබාගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විධිවිධාන සම්බන්ධයෙන් සහ වයස අවුරුදු 18 ආසන්න වයස් කාණ්ඩ සඳහා එන්නත් රජය සපයන්නේ නැත්තේ ඇයි ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී ප්‍රශ්න කළේය.
කොරෝනා වෛරස් රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ, එන්නත් සහ වෛද්‍ය ඔක්සිජන් සැපයීම සම්බන්ධ නඩුවේදී එරට අධිකරණය මෙසේ පැවසීය.
එන්නත් මිල සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය මගපෙන්වීමක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී විමසූ අතර, එන්නත් මිල සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න කළේය.අවුරුදු 45ට අඩු පුද්ගලයන් සඳහා එන්නත් ලබානොදීම පිටුපස ඇති තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ප්‍රශ්න කරන ලද අතර, ‘අපගේ ප්‍රශ්නය වන්නේ තර්කය කුමක්ද යන්නයි. අවුරුදු 45ට වැඩි ජනගහනය සඳහා එන්නත ලබාදෙනවා. නමුත් අවුරුදු 45ට අඩු අයට තවමත් එන්නත ලබාදෙන්න ඉතිරිව තියෙනවා. මේ සඳහා ඔබේ තර්කය වූයේ අවුරුදු 45ට වැඩි මරණ අනුපාතය ඉහළ මට්ටමක පැවතීමයි. දෙවන රැල්ලේදී, අවදානම හුදෙක් 45ට වැඩි වයස් කාණ්ඩයට පමණක් බලපාන්නේ නැත. අවුරුදු 45ට අඩු අය ද මෙයින් පීඩාවිඳිමින් සිටිනවා. එසේම 18 සහ 45 අතර වයස් කාණ්ඩයේ වෙනත් රෝග ඇති පුද්ගලයන් ගැන කුමක් කිව හැකිද?’ යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කීවේය.
ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් සාක්ෂරතාවක් නොමැතිවීම හා ඊට ඇති බාධක පිළිබඳව රජය අවධානය යොමු කරන්නේ කෙසේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ප්‍රශ්න කළේය.
‘සෑම ගමකම සේවා මධ්‍යස්ථානයක් තියෙනවා. නමුත් ජංගම දුරකතනයක් නොමැති ගැමියෙක් නම්, පොදු සේවා මධ්‍යස්ථානය ලියාපදිංචි කර එන්නත ලබාදේවි’ යැයි ඊට රජයේ පාර්ශ්වයෙන් පිළිතුරු දී ඇත.
‘ඔබ ඔබේ අවධානය බිම් මට්ටම වෙතද යොමු කළ යුතුයි. ඔබ දිගටම ඩිජිටල් ඉන්දියාව යැයි කියනවා, නමුත් සිදුවන්නේ කුමක්දැයි බලන්න. රාජස්ථාන්හි සේවය කරන ජාර්කන්ඩ්හි දුප්පත් කෘෂිකාර්මික සේවකයෙකුට ලියාපදිංචි වීම සඳහා නැවතත් ජාර්කන්ඩ් වෙත යෑමට සිදුවෙනවා’ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
‘අපි විමසන්නේ ඔබ ඩිජිටල් පැත්තෙන් තියෙන බෙදීමට පිළිතුරු දෙන්නේ කෙසේද යන්නයි. එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට යන සංක්‍රමණික කෘෂිකාර්මික කම්කරුවන්ට එන්නත ලබාදෙන බවට ඔබ සහතික කරන්නේ කෙසේද?’ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විමසූ අතර, ඊට ඉන්දීය රජය පාර්ශ්වයෙන් ලැබුණු පිළිතුර එය ප්‍රතිපත්තිමය තීරණයක් බවයි.
Previous articleමහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?
Next articleරිෂාඩ්ව පාර්ලිමේන්තු ගේන්න – වේත්‍රධාරීවරයාගෙන් සීඅයිඩී අධ්‍යක්ෂට ලිපියක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here