මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි
සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති මිලියන ගණනකට බෙදා වෙන් කළ හැකි වුවත්, ඒවා අතර අන්තර් සම්බන්ධතාව පවත්වාගෙන යමින් එකිනෙකාගේ පැවැත්ම තහවුරු කරගෙන ඇත්තේ, එක් පරිසර පද්ධතියක විනාශය, තවත් පරිසර පද්ධතියක විනාශයක ආරම්භය විය හැකි නිසාවෙනි.
පෘථිවි පෘෂ්ඨයෙන් සියයට 71ක භූමි ප්‍රමාණයක් වසා සිටින සාගරයේ ඇති පර්ණාංග, විවිධ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු සාගරයේ ජෛව ගෝලය, වායුගෝලයේ වායු සංයුතිය පවත්වාගෙන යෑමට විශාල දායකත්වයක් සපයයි. එමෙන්ම වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය කර ගනු ලබනුයේ සාගරයෙනි. මේ හේතුවෙන් සාගරයේ තුලිතතාව පරිසර පද්ධතිවල ආරක්ෂාවට ඉතා වැදගත් සාධකයකි. සාගරයේ තුල්‍යතාව ආරක්ෂා කිරීම සඳහා බලපාන භෞතික හා රසායනික පරාමිතීන් රාශියකි. සාගර ජලයේ පී.එච්. අගය (ආම්ලිකතාව), සාගර ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය (බී.ඕ.ඩී.), සාගර ජලයේ ඇති ඝණ අංශු ප්‍රමාණය, ලවන ප්‍රමාණය, බැර ලෝහ ප්‍රමාණය, විකිරණශීලී අංශු ප්‍රමාණය, උෂ්ණත්වය ආදිය ඉන් ප්‍රධාන වේ. පෘථිවියේ පාරිසරික තුල්‍යතාව ආරක්ෂා වීමට, සාගරයේ ජීවී පැවැත්මට සාගර ජලයේ පිරිසිදු බව ඉතා වැදගත් සාධකයකි. නමුත්, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සාගරයේ තුල්‍යතාවට හානි වන සියලු පරාමිතීන්වලට අදාළ දූෂකකාරක සාගරයට එක් කරමින් තිබේ. නිෂ්පාදන ක්‍රියාවලියේ අපද්‍රව්‍ය බැහැර කරන ඩස්පිනයක් බවට සාගරය පත්ව ඇත.
ලෝකයේ සිදු වන සමුද්‍ර දූෂණ හේතුවෙන් සාගරයේ ජීවත් වන ජීවීන් මිලියන ගණනක් මියයමින් හා මිය ගොස් ඇත. එය කොතෙක් ද යන්න තේරුම් ගැනීමට දැනට සාගරයේ ජීවත් වන මුහුදු ජීවීන්ගෙන් සියයට 33ක් හෙවත් තුනෙන් එකක් පමණ ජීවීන් රතු දත්ත ලේඛනයට අයි. යූ. සී. එන්. විසින් ඇතුළත් කර ඇත. ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳවවත්, ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවවත් කිසිදු සාර්ථක අධ්‍යයනයක් සිදු කොට නොමැත.

සමුද්‍ර දූෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මුති

දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ සමුද්‍ර දූෂණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත ‘සාගර පරිසර ආරක්ෂා කීරීමේ කමිටුව’ (Marine Environment Protection Committee – M.E.P.C පසුව I.M.O. ලෙස කෙටි විය.) විසින් 1959දී නාවික කටයුතුවල දී සාගරයට බැහැර වන තෙල් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන ලදි. පසුව අයි. එම්. ඕ. ආයතනයේ උප කමිටුවක් වන එම්. ඒ. ආර්. ඕ. ඒ. විසින් රසායන ද්‍රව්‍ය, මළ අපද්‍රව්‍ය, කසළ හා වෙනත් අපද්‍රව්‍ය පිළිබඳව සම්මුතියකට එළැඹිණි. එය 1973 සිට ක්‍රියාත්මක කරන ලදි. සමුද්‍ර දූෂණය පිළිබඳ නීතිවලට අදාළව ප්‍රඥප්තීන්, සම්මුතීන් නිර්මාණය කරනුයේ, මෙම අයි. එම්. ඕ. සංවිධානය මගින් ය. එමෙන්ම 1982දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කරන ලද සාගර නීතිය මගින් සමුද්‍ර දූෂණය හා සමුද්‍ර භූමිය නෛතික රාමුවකින් ආවරණය කොට ඇත. මෙම අයි. එම්. ඕ. සංවිධානය මේ දක්වාම සමුද්‍ර දූෂණය පිළිබඳව විවිධ වූ ප්‍රඥප්තීන් සකස් කරමින් සිටී. යම් රටක් මෙම ප්‍රඥප්තීන්වලට, ගිවිසුම්වලට අත්සන් කළත්, එහි නෛතිකභාවය සඳහා එම රටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒවා ඇතුළත් කිරීම හෝ අදාළ නීති සම්පාදනය කිරීම හෝ කළ යුතුය. එය යම් මුදලක් ලබාගැනීමට ද පිටුවහලක් වේ. ලංකාව මේ ආකාරයේ විවිධ ප්‍රඥප්තීන් 10කට වැඩි ප්‍රමාණයකට අත්සන් කර ඇතත්, එහි අඩංගුව රට තුළ නීති රාමුවකට ඇතුළත් කර නොමැත. පෙරදිග භා බටහිර යා කරන නාවික ගමන් මාර්ගය ශ්‍රී ලංකාවට පහළින් පිහිටීමත්, දිනකට ඒ ඔස්සේ නැව් 300කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන බැවින්, එම නැව්වලින් ඇති වන සමුද්‍ර දූෂණ පිළිබඳව සොයාබැලීමත්, එයට නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වීම සඳහාත් අත්සන් කරනු ලබන සමුද්‍ර දූෂණය පිළිබඳ ප්‍රඥප්තීන් රටේ පනත්වලට ඇතුළත් කළ යුතුය. පසුගිය දශක කිහිපය තුළ එවැනි අනතුරු කිහිපයක් සිදූ වු අතර, පසුගිය කාලය සැලකූ විට විශාල සමුද්‍ර පරිසර හානි කිහිපයක්ම සිදු විය. එයින් ප්‍රමුඛ වන්නේ X-Press Pearl නෞකාව මගින් සිදු කළ දැවැන්ත පරිසර විනාශයයි.

එම්.ටී.  නිව් ඩයමන්ඩ් නෞකාව

දළ වශයෙන් ලෝකයේ වසරකට සාගරයට එකතු වන තෙල් ප්‍රමාණය ගැලුම් මිලියන 700කට ආසන්න ය. මෙයින් සියයට 20 – 25ක ප්‍රමාණයක් නැවත රැස්කරනු ලැබේ. ඉතිරිය සාගරය මතුපිට තෙල් ස්ථර ලෙස පැතිරී පවතී. සාගරය මතුපිට පැතිරී ඇති තෙල් ස්ථර මඟින් සාගර ජල පෘෂ්ඨය හා වායුගෝලය අතර සම්බන්ධය බිඳදමනු ලැබේ. මේ හේතුවෙන් සාගරයට පැමිණෙන හිරු එළිය නොලැබීමත්, සාගර ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමත් මඟින් සාගරයේ තුල්‍යතාව බිඳදමනු ලැබේ. වාතයේ ඇති ඔක්සිජන් හා හිරු එළිය මඟින් සිදු වන ඔක්සිකරණ ක්‍රියාවලියෙන් මේවා විනාශ වන තෙක් බොහෝ කාලයක් මෙම තෙල් ස්ථර පවතී. මේ හේතුව නිසා විවිධ ජෛව පද්ධති විනාශ වේ. එමෙන්ම විවිධ පක්ෂීන්, කෘමීන් ආදී සත්ත්ව කොට්ඨාස විනාශ වේ.
ඕස්ට්‍රේලියානු ජාතික ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එක් කළ ‘මහා බාධක කොරල් පරය’ (Great Barrier Reef) විනාශ වී ගොස් ඇති නිසා වසර කිහිපයකට පෙර එය මිය ගොස් ඇතැයි ඕස්ට්‍රේලියානු බලධාරීහු ප්‍රකාශ කළහ. එයට ප්‍රධාන හේතුවක් වූයේ තෙල් නිසා සිදු වන පරිසර දූෂණයයි.
ලංකාවට දකුණු දෙසට වන්නට පිහිටි මුහුදේ දිනකට නැව් 300ක් පමණ ප්‍රමාණයක් ගමන් කරයි. එයින් එකක් වූ එම්. ටී. නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහනය කරන නෞකාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් 2020 සැප්තැම්බර් 03 දින ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආසන්නයට ගසාගෙන එන ලදි. එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් තිබිණි. නැවේ ඇති වූ ගින්නෙන් මෙම තෙල් ගබඩාවට හානියක් නොවූවත්, ධාවනයට අදාළ තෙල් සාගරයට එක් විය. මෙම ගින්න නිවීමට සුපර් රෙසින් නම් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4,500ක් හෙළන්නට සිදු විය. අවසානයේ ඒ ගින්න නිවීම සඳහා වැය වූ මුදල පමණක් ලැබුණු බව සඳහන් ය.

එම්. වී. බී. බී. සී. නාපල්ස් නමැති නෞකාව

යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් UF6 පුරවා ගත්  එම්. වී. බී. බී. සී. නාපල්ස් නමැති නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායේ සිට චීනය දක්වා ගමන් කිරීමේ දී සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් 2020 අප්‍රේල් මස 21 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට සේන්දු විය.
යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් යනු න්‍යෂ්ටික බලාගාරවලට හෝ පරමාණු බෝම්බ නිපදවීමට අවශ්‍ය යුරේනියම් 235 විකිරණශීලී සමස්තානිකය, යුරේනියම් නිධිවලින් ලබාගන්නා නියැදි හයිඩ්‍රෝ ෆ්ලෝරයිඩ් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන වාෂ්පශීලී කහ පැහැ ජෙලි ය. (Yellow cake) මේවා වේගයෙන් කරකැවෙන සිලින්ඩරාකාර භ්‍රමණ යන්ත්‍ර මඟින් යුරේනියම් 235 විකිරණශීලී සමස්තානිකය ලෙස වෙන්කරනු ලැබේ. යුරේනියම් නිධිවල යුරේනියම් 235 විකිරණශීලී සමස්තානිකය සියයට 0.3ක් පමණ අඩංගු ය. මෙම යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් සියයට 4ක් දක්වා සුපෝෂණය කිරීම මඟින් න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලෙස සුපෝෂණය කිරීමෙන් පරමාණු බෝම්බ නිපදවීම සිදුකරනු ලබයි.
යුරේනියම් හේක්සා ෆ්ලෝරයිඩ් වායුගෝලයට විවර වුවහොත්, එය ඉතා වාෂ්පශීලී නිසා පහසුවෙන් වායුගෝලයේ පැතිරී යයි. ජලය තුළ ද පහසුවෙන් පැතිරී යයි. මෙය සියලු ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර ය. සත්ත්ව කොට්ඨාසවල රතු රුධිරානු අඩු වීම හා වකුගඩු, සම, පෙනහලු, අක්මාව ආදී ඉන්ද්‍රියයන්ට දැඩි බලපෑම් එල්ල කරයි.
මෙවැනි අනතුරුදායක විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම අතරතුර යම් අනතුරකට ලක් වුවහොත්, සිදු විය හැකි අනතුර ඉතා විනාශකාරී වීම හේතුවෙන් එවැනි නැව් වරාය තුළට ඇතුළු වීම තහනම් කොට ඇත. න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව වූ ප්‍රඥප්තීන් කිහිපයක් ඇති අතර, එයින් කිහිපයකට අප රට ද අත්සන් කොට ඇත.
මෙවැනි අනතුරුදායක තත්ත්වයන් තුළ එම්. වී. බී. බී. සී. නාපල්ස් නෞකාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය තුළට ගැනීම ඉතා භයානක ක්‍රියාවකි.

X-Press Pearl නෞකාව 

2021 මැයි මස 20 දින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව බහාලුම් 1,486ක් සමඟ කොළඹ වරායට ඇතුළුවීමට වරායෙන් පිටත නැංගුරම් ලා තිබිණි. මෙහි නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, මෝල්ඩින් ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක්, රුපලාවන්‍ය ද්‍රව්‍ය, බැර ඉන්ධන මෙට්‍රික් ටොන් 300ක් පමණ, කෝස්ටික් සෝඩා, සෝඩියම් මෙතොක්සයිඩ්, මෙතනෝල් ආදිය ඇතුළුව තවත් රසායනික ද්‍රව්‍ය තිබූ බවට වාර්තා විය. රසදිය මෙන්ම වෙනත් බැර ලෝහ සහිත රසායනික ද්‍රව්‍ය මෙහි අඩංගුව තිබූ බවට විශ්වාස කළ හැකි ය. මේවා සියල්ල පරිසර විනාශකාරී උපද්‍රව ද්‍රව්‍ය ලෙස සැලකේ. මේවායින් බොහොමයක් ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමේ දී තාප වියෝජනයක් සිදු වේ. නිර්මාණය වන තාපය ගින්නක් ඇතිවීමට පහසු වන අතරම, ගින්නක් ඇති වුවහොත්, එය පාලනය කිරීමට ජලය භාවිත කළහොත්, ගින්න තවත් පැතිරීමට එය පිටුවහලක් වේ.
කොළඹ වරායට පැමිණීමට පෙර කටාරයේ හමාඩ් වරායටත්, ඉන්දියාවේ හසීරා වරායටත් මේ නෞකාව ගොස් ඇති බවටත්, නැවේ බහාලුමකින් නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක් සිදු වන බවත්, එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය විශේෂඥ ඥානය ඔවුන් සතුව නොමැති බව පවසමින් එය පිටත් කළ බවටත් වාර්තා විය. කෙසේ වෙතත්, මැයි 20 දින දුමාරයක් පිටවෙමින් තිබූ එය ගින්නක් බවට පත් වී දැවෙන්නට විය. බහාලුම් විශාල ප්‍රමාණයක් මුහුදට වැටුණු අතර, සමහර ඒවා පිපිරිණි. ප්ලාස්ටික් සාගරය පුරා පැතිරී වෙරළ තීරයට ද ගොඩගසන්නට විය.  ශ්‍රී ලංකාවේ විශාලතම සමුද්‍රීය පරිසර විනාශය සිදු විය. සිදු විය හැකි පරිසර විනාශය තක්සේරු කිරිමට හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා එහි තිබූ ද්‍රව්‍ය හෙළි කළ යුතුම ය. මෙතෙක් එය විධිමත්ව නොකිරීම ඛේදජනක ය. බහාලුම් තුළ තිබෙන විනාශකාරී ද්‍රව්‍ය සමග බහාලුම් මුහුදුබත් වෙමින් පැවතිණි. කාලයත් සමඟ බහාලුම් දිරාපත් වීමෙන් හෝ වෙනයම් ක්‍රියාවලියකින් ඒවා සිදුරු වීමෙන් මහා විනාශයක් සිදු විය හැකිය. මෙම ගිලුණු බහාලුම් සැඟව ඇති කාල බෝම්බයක් වැනි ය.
මීගමුව කලපුවේ මාළු දැලකට  වීදුරු කෙඳි – ෆයිබර් ග්ලාස් පැටළී තිබූ බවට තොරතුරු වාර්තා විය. ෆයිබර් ග්ලාස් සහ කාර්මික හා රසායනාගාර භාවිතයට ගනු ලබන වීදුරු කෙඳි ප්‍රවාහනය කළේ නම්, එය තවත් බිහිසුණු ය. සාගර ජලයේ කුඩා කෙඳි ලෙස කැඩෙන මේවා මගින් මිනිස් ඇස්වලට දැඩි ලෙස හානි පැමිණීමත්, ශරීර අභ්‍යන්තරයට ගමන් කළ විට විශාල හානි පැමිණීමත් සිදු වේ. එහෙයින්, මුහුදේ දිය නෑම පමණක් නොව මුහුදට බැසීම පවා අහිතකර විය හැකිය. මුහුදු ජීවීන්ගේ කරමල්වල පැටළීමෙන් ශ්වසන ක්‍රියාවලියට බාධා පැමිණීම නිසා විශාල වශයෙන් මසුන් මිය යා හැකි ය. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලියට දැඩිව හානි පැමිණේ.

අනාගතයේ කුමක් සිදුවෙයිද?

මුහුදු ජලයට බැර ලෝහ එක්කාසු වන්නේ නම්, ඒවා හා මුහුදු ජලයේ ඝන අංශු ප්‍රමාණය වැඩි වීම ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම අභියෝගයට ලක්කරන්නකි. තවද, මෙය මුහුදු බෙල්ලන්, ස්ටාර් ෆිෂ් ආදී ජලය පෙරීමෙන් ක්ෂුද්‍ර ජීවීන් ආහාරයට ගනු ලබන ජීවීන්ට ද, කොරල් ආදියේ පැවැත්මට, වර්ධනයට හා බෝවීමට ද බලපැම් කරන්නකි. සියලු සංචරණ මත්ස්‍යයන්ට වාසය කිරීමට නුසුදුසු පරිසරයක් මෙමගින් නිර්මාණය විය හැකිය.
දිය වැල් සමග පැමිණෙන පී. එච්. අඩු ආම්ලික ජලය හේතුවෙන් ඇතැම් කුඩා ස්ථානවල කොරල් පර විනාශ වේ. ප්ලාස්ටික් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මත්ස්‍යයන්ගේ ශරීරගත වීම තුළින් මසුන් මිය යෑම, වර්ධනය හා බෝවීම නැතිවීමත්, ජීවත් වීමට නුසුදුසු පීඩාකාරී පරිසරයෙන් මසුන් ඉවත් වීමත් සිදු වේ. ප්ලාස්ටික් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාගරයට එක්කාසු කරන පළමු රටවල් 5 ඇතුළත ලංකාව සිටී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ ප්ලාස්ටික් හා නිර්මාණය වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීමටත්, ඒවා මත යැපෙන විශාල ජීවීන් ප්‍රමාණයක් මෙම පරිසරවලින් අතුරුදහන් වීමටත් හේතුවිය හැකිය.
රටේ ඕනෑම ව්‍යාපෘතියක දී පරිසරය පිළිබඳව අවතක්සේරු කරන මෙන්ම සමුද්‍රීය පරිසර දූෂණය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන පාලන ක්‍රමයක් මඟින් විවිධ වූ පරිසර පද්ධතිවලින් සමන්විත සමස්ත පරිසරයේ ස්ථාවරත්වයක් බලාපොරොත්තු වන්නේ නම්, එය මිරිඟුවකි. රට අසලින් දිනකට නැව් 300ක් පමණ ගමන් කරන විටෙක, එය රටේ ආර්ථික සංවර්ධනයට යොදාගැනීමේ හැකියාවට පයින් ගසන වසර 73ක් පුරාවට පැවැති ක්‍රමවේදයෙන් සමුද්‍රීය පරිසර දූෂණය අවම කිරීම හෝ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම බලාපොරොත්තු වීම ද මිරිඟුවකි. මේ තත්ත්වය යටතේ රතු ඉන්දියානු නායකයකු වූ සියැටල්ගේ පරිසරය පිළිබඳ වූ දැක්ම නැවත කියැවීම වඩාත් කාලෝචිත ය.
පරිසර ක්‍රියාවලියේ වටිනාකම් අවබෝධ කර නොගෙන ඒ වෙනුවෙන් වෙළෙඳපොළ මිලක් නියම කිරීමත්, සිදු වන පරිසර විනාශවලට මිලක් නියම කිරීමත් නරුමකමක් මිස, පරිසරය ආරක්ෂා කිරීමේ හෝ රටක අනාගත පැවැත්ම ආරක්ෂා කිරීමේ හෝ අරමුණින් නොකරන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.
(ලියුම්කරු දශක ගණනාවක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥයෙකු වන අතර, ඛනිජ සම්පත් පිළිබඳව පර්යේෂණ ලිපි රැසක් ද විවිධ මාධ්‍යවල පළකර ඇති ලේඛකයෙකි.)
Previous articleදූෂකයා ගෙවීමේ මූලධර්මය යටතේ වන්දි අයකරගන්න : එක්ස්ප්‍රස් පර්ල් විනාශයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් !
Next articleඑන්නත්කරණ ප්‍රතිපත්තිය අත්තනෝමතික සහ අවිචාරවත් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here