දූෂකයා ගෙවීමේ මූලධර්මය යටතේ වන්දි අයකරගන්න : එක්ස්ප්‍රස් පර්ල් විනාශයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

(නිලූක සඳුන් පද්මසිරි)

එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න වැනි මෑත කාලීන අත්දැකීම් පවා තිබියදීත්, එවැනි තත්ත්වයන් හැසිරවීමට වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් නොවීම මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බව පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම්කරුවන් සිව් දෙනෙක් ⁣⁣ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසති.
සවන්ති පොන්නම්පෙරුම සහ රවීන්ද්‍රනාත් දාබරේ යන නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පාරිසරික යුක්ති කේන්ද්‍රය, එම යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත රංජිත් සිසිර කුමාර, ඩබ්. ඒ. හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත ප්‍රනාන්දු යන පෙත්සම්කරුවන් ය.

වගඋත්තරකරුවන්

1. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
2. ශ්‍රී ලංකා වරාය අධිකාරිය
2A. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) ආර්. එම්. දයා රත්නායක
3. වෙළෙඳ නැව් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ඩබ්ලිව්. සෙනෙවිරත්න
4. මධ්‍යම පරිසර අධිකාරිය
4A. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ
5. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවක
6. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි
7. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත
8. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
9. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර
10. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා
11. X-Press Feeders සමාගම – සී කන්සෝර්ටියම් ලංකා (පුද්.) සමාගම දේශීය නියෝජිතයා ලෙස නියෝජනය කරයි.
12. සී කන්සෝර්ටියම් ලංකා (පුද්.) සමාගම
13. නීතිපති

පෙත්සම්කරුවන් කියන්නේ කුමක්ද?

උපද්‍රවකාරී හා හානිකර ද්‍රව්‍ය සම්මුතිය (HNS සම්මුතිය 1996) සහ 2010 ප්‍රොටෝකෝලය අනුමත කිරීමට සහ ඒවාට එකඟවීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, ශ්‍රී ලංකාව එම සම්මුතියට අත්සන් කර අදාළ සම්මුතිය දේශීය නීතියට ඇතුළත් කළේ නම්, එවැනි සම්මුතියක් යටතේ සිදු වූ හානිය සඳහා වන්දි ලබාගැනීමට හැකියාවක් තිබූ බවත් පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.ශ්‍රී ලංකා බලධාරීන් මෙරට සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් යැයි කියා සිටියද, ජාත්‍යන්තර සම්මුති සහ නීති ක්‍රියාත්මක කිරීමේදී පසුගාමී බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.
එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න, සිදුවී ඇති නරකම නාවික පාරිසරික ව්‍යසනයක් බව පෙත්සම්කරුවන් මේ පෙත්සමේ සඳහන් කර තිබේ. එම නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දුවක් හේතුවෙන් ඉන්දියාවේ සහ කටාර් වරායවලින් නෞකාව බාරගෙන නැති බව මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් පෙත්සම්කරුවෝ සඳහන් කරති. නයිට්‍රික් අම්ලය කාන්දු වන කන්ටේනරය ගොඩබෑම සඳහා හසීරා සහ හමාඩ් වරායවලින් කරන ලද ඉල්ලීම්, එම වරායවල මෙවැනි කාන්දු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥ පහසුකම් හෝ විශේෂඥතාව නොතිබූ බැවින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද පෙත්සම්කරුවන් මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබේ. නෞකාවේ බලධාරීන් පවසන නයිට්‍රික් අම්ලයට වඩා හානිකර සහ අන්තරාදායක රසදිය, ආසනික් සහ ඊයම් මෙම නැවේ රැගෙන යන්නට ඇතැයි පෙත්සම්කරුවන් මෙන්ම පරිසරවේදීන් හා සමාන අදහස් ඇති පුරවැසියන් බිය පළකරන බවත් පෙත්සමේ සඳහන් වේ.

මාස නවයකදී සිද්ධි දෙකක්

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මාස නවයක් තුළ ශ්‍රී ලංකාව ප්‍රධාන සමුද්‍රීය සිදුවීම් දෙකක් (එම්ටී නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල්) අත්විඳ ඇති බවයි. මේ අවස්ථා දෙකේදී ම එවැනි ගින්නකට මුහුණ දීම සඳහා දේශීයව සූදානම් වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ යන්ත්‍රණයේ ඇති නොහැකියාව ඉස්මතු කර දක්වන ලද බව ද පෙත්සමේ දැක්වේ.
ලෝකයේ කාර්යබහුලම සමුද්‍ර මාර්ගවලින් එකක සහ භාණ්ඩ ප්‍රවාහනය කරන වරාය අතර මුල් ස්ථානවල සිටින බැවින් එම්වී එක්ස්ප්‍රස් පර්ල්හි ඇති වූ ගින්න සහ තෙල් කාන්දු වැනි සිදුවීම්වලින් සිය සමුද්‍ර සම්පත් ආරක්ෂා වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට සූදානමක් තිබිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
මේ අනුව එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාව වැනි මෑත කාලීන අත්දැකීම් පවා තිබියදීත්, එවැනි තත්ත්වයක් හැසිරවීමට වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් නොවීම මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බව ද පෙත්සම්කරුවෝ අවධාරණය කරති. ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ගිනි නිවීමේ කටයුතු සාමාන්‍යයෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බව ද, ඊට බොහෝ විට අසල්වැසි ඉන්දියාවෙන් සහාය ඉල්ලා සිටින බව ද පෙත්සමේ සඳහන් වෙයි. පෙත්සම්කරුවන් තවදුරටත් කියා සිටින්නේ එවැනි හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා කැපවූ හා විශේෂඥ ඒකකයක් පිහිටුවා සිය සමුද්‍රීය ආරක්ෂාව වැඩි කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වීම මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බවයි.
බටහිර හා දකුණු පළාත්වල වෙරළ තීරයට එක්ස්ප්‍රස් පර්ල් විසින් සිදුකරන ලද දැවැන්ත හා ආපසු හැරවිය නොහැකි විනාශය, වෙනස් කළමනාකරණය ඉගෙනීම සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් යැයි කියාගන්නා මෙරටට ඇති දැඩි අවශ්‍යතාව අවධාරණය කරන බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

වන්දි නොලැබෙයිද?

එම පෙත්සමේ මෙසේ ද දැක්වෙයි.
පරිසරයට සිදුවී ඇති අනපේක්ෂිත හානිය – ශ්‍රී ලංකාවේ සන්සුන් වෙරළ තීර දැන් එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ගසාගෙන ආ සුන්බුන්වලින් වැසී ඇති බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ. පරිසරය පිරිසිදු කිරීම ඇතුළු කටයුතු සඳහා යොදාගන්නා මහජන මුදල් 10 වැනි සහ 11 වැනි වගඋත්තරකරුවන්ගෙන් අය කර ගත යුතුය.
පවත්නා නීතියේ හිඩැස් සහ අන්තර්ජාතික සමුද්‍රීය සම්මුතීන් සහතික කිරීමට සහ පිළිගැනීමට අපොහොසත් වීම – පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ උපද්‍රවකාරී හා හානිකර ද්‍රව්‍ය සම්මුතිය (HNS සම්මුතිය 1996) සහ 2010 ප්‍රොටෝකෝලය අනුමත කිරීමට සහ ඒවාට එකඟවීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.  ශ්‍රී ලංකාව එම සම්මුතියට අත්සන් කර සම්මුතිය දේශීය නීතියට ඇතුළත් කළේ නම්, එවැනි සම්මුතියක් යටතේ සිදු වූ හානිය සඳහා වන්දි ලබාගැනීමට රටට හැකි වනු ඇත.
පෙත්සම්කරුවන් පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් මෙරට සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් යැයි කියා සිටියත්, ජාත්‍යන්තර සම්මුතීන් සහ නීති ක්‍රියාත්මක කිරීමේදී පසුගාමී බවයි. එබැවින් විකාශනය වෙමින් පවතින ජාත්‍යන්තර නීති හා සම්මුතීන්ට සමගාමීව පූර්ණ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහතික කිරීම අදාළ බලධාරීන්ගේ යුතුකම වේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ජාතික සම්මුතීන් ජාතික නීති තන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් බලධාරීන් ජාතික නීති කඩිනමින් සමාලෝචනය කර ශක්තිමත් කළ යුතු බවත්, මෙවැනි සිදුවීම් පාලනය කිරීම සඳහා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ අඩුපාඩු සංශෝධනය කළ යුතු බවත් ය. වසර ගණනාවක් තිස්සේ එසේ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දූෂකයන්ට ඔවුන්ගේ වගකීම් පැහැර හැර අවම වන්දි මුදලක් ගෙවා ඉවත්ව යෑමට හැකි වී තිබේ.
ඉහත විස්තර කර ඇති පරිදි වගඋත්තරකරුවන් තම රාජකාරි ඉටුකිරීමට අපොහොසත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති පෙත්සම්කරුවන් ඇතුළු පොදු ජනතාවගේ සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

දූෂකයා ගෙවීමේ මූලධර්මය

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, රටේ නීතියේ කොටසක් ලෙස සලකනු ලබන ‘දූෂකයා ගෙවීමේ මූලධර්මය’ චුන්නාකම් නඩුව ලෙස ප්‍රසිද්ධියට පත් රවීන්ද්‍ර ගුණවර්ධන කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් 10 දෙනෙකු යන නඩුවේ (SC/FR/141/2015) සහ විල්පත්තු නඩුව එනම් පරිසර යුක්ති කේන්ද්‍රය එදිරිව වන සංරක්ෂණ ජනරාල් අනුර සතරසිංහ සහ තවත් 08 දෙනෙකු යන නඩුවේ (CA Writ/ 291/15) තීන්දුවලදී ද පිළිගෙන ඇති බවත්, පරිසරයට, රටේ ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජනතාවට, සංචාරක කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ට, පෙත්සම්කරුවන්ට සහ විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිදු වූ පෙර නොවූ විරූ හා ආපසු හැරවිය නොහැකි හානිවලට නැව් හිමිකරු මෙන්ම නැව් සමාගමේ දේශීය නියෝජිතයා වගකිව යුතු බවත් ය.
රසායනික කාන්දුවක් ඇති බව සහ ගින්නක් ඇතිවීමට ඉඩ ඇති බවට රටේ සමුද්‍රීය බලධාරීන්ට කල්තියා හෙළිදරව් කිරීමෙන් හිතාමතාම වැළකී සිටීමෙන් 11 වන සහ 12 වන වගඋත්තරකරුවන් නැව් කර්මාන්තයේ හා සමුද්‍රීය නීති රෙගුලාසිවලට අදාළ නීති-රීති උල්ලංඝනය කර ඇති බවත්, දේශීය නීතිවල කොටසක් ලෙස සැලකෙන පූර්වාරක්ෂාව පිළිබඳ මූලධර්මය යටතේ නීතියෙන් අපේක්ෂා කරන පරිදි පූර්වාරක්ෂාව ලබාගැනීමට අපොහොසත් වී ඇති බවත්, එම නිසා ඔවුන් වන්දි ගෙවීමට බැඳී සිටින බවත් පෙත්සම්කරුවන් තවදුරටත් කියා සිටී.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය

කොළඹ සහ ගම්පහ යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාකීර්ණ දිස්ත්‍රික්ක දෙක වන අතර, බොහෝදෙනා විනෝදය සඳහා වෙරළ තීරය භාවිත කරන අතර, සංචාරක කර්මාන්තය ද මෙම ප්‍රදේශවල ජනප්‍රිය ය. මෙම අනතුර නිසා වෙරළේ දෘෂ්‍ය ගුණාත්මකභාවයට සැලකිය යුතු හානියක් සිදුවී ඇති අතර, එය වසර ගණනාවක් යනතුරු සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇත. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) යටතේ සහතික කර ඇති සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පාර්ශ්වයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ සහතික කර ඇති රටේ සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වේ.
පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ කල්පිටියේ සිට හික්කඩුව දක්වා වෙරළ තීරයේ වෙසෙන ධීවරයන් ප්‍රධාන වශයෙන් ධීවර ආශ්‍රිත වෘත්තීන්හි නිරත වන බවත්, සමහර වගඋත්තරකරුවන්ගේ ක්‍රියා හෝ අසාර්ථකත්වය හේතුවෙන් මෙම ධීවරයන්ගේ ජීවනෝපායට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවත්, බටහිර වෙරළ තීරයේ වෙරළබඩ ධීවර කටයුතු නතර කර ඇති බවත් ය. එමගින් 3 වන පෙත්සම්කරු ඇතුළු බලපෑමට ලක් වූ ප්‍රදේශවල ධීවර ප්‍රජාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වේ.
පෙත්සම්කරුවන් පවසන්නේ බටහිර මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සහ කලපු මසුන් ඇල්ලීම ඇතුළු කර්මාන්ත තුළින් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබාදෙන බවයි. කොළඹ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ධීවර වරාය දික්ඕවිට ධීවර වරායයි. බෝට්ටු 349ක්, ඩිංගි බෝට්ටු 272ක් සහ බහු දින බෝට්ටු 33ක් පමණ මෙම වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් වේ. උස්වැටකෙයියාව සිට මීගමුව වෙරළ තීරය දක්වා ධීවරයන් 6,000කට අධික සංඛ්‍යාවක් ජීවත් වේ. බෝට්ටු 2,000ක් පමණ මසුන් ඇල්ලීම සඳහා මුහුදු යයි. මීගමුව කලපුවේ ධීවරයන් 3,000ක් සහ බෝට්ටු 1,300ක් ධීවර වෘත්තියේ යෙදෙයි.

ජීවන තත්ත්වයට සිදුවන්නේ කුමක්ද?

පෙත්සම්කරුවන් පවසන්නේ මෙම ව්‍යසනය හේතුවෙන් මත්ස්‍යයන් සහ අනෙකුත් මුහුදු ජීවීන් වේගයෙන් ක්ෂය වීම සහ විශේෂයෙන් උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ ප්‍රදේශයේ මෙම සිදුවීම නිසා ඇති වන ජීවනෝපායට ඇති බලපෑම දිගුකාලීනව විශාල වනු ඇති බවයි. මේ ප්‍රදේශය ඉහළ මත්ස්‍ය අභිජනන ප්‍රදේශයක් වීම අනාගතයට බලපායි.
පෙත්සම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ ඉතා ඉහළ මත්ස්‍ය අස්වැන්නක් සහිත උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ මෙම ව්‍යසනය නිසා මත්ස්‍යයන් සහ අනෙකුත් මුහුදු ජීවීන් වේගයෙන් ක්ෂය වීම හේතුවෙන් ජීවනෝපායට ඇතිවන බලපෑම දිගු කාලීනව විශාල බවත්, අනාගත අස්වැන්න කෙරෙහි එය සෘජුව බලපාන බවත් ය.
පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ සමහර වගඋත්තරකරුවන්ගේ ක්‍රියා/අසාර්ථකත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර, එමගින් 3 වන සහ 4 වන පෙත්සම්කරුවන් ඇතුළු ධීවර ප්‍රජාවේ 12 (1) සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවයි.පෙත්සම්කරුවන් පවසන්නේ ව්‍යසනයෙන් දූෂිත වී ඇති ප්‍රදේශවල සිටින මත්ස්‍යයන් සහ අනෙකුත් මුහුදු ජීවීන් බොහෝ විට සුන්බුන්වල විෂ හා ප්ලාස්ටික් කැබලි පරිභෝජනය කර ඇති බවත්, මිනිසුන් එම මාළු හා අනෙකුත් මුහුදු ජීවීන් ආහාරයට ගන්නා බවත්, එය මිනිසුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වනු ඇති බවත් ය.
සමහර වගඋත්තරකරුවන්ගේ ක්‍රියා/අසාර්ථකත්වය හේතුවෙන් ප්ලාස්ටික්, අනෙකුත් සුන්බුන් සහ රසායනික ද්‍රව්‍ය ස්පර්ශ කරනු ලබන එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍යයට දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකි බව පෙත්සම්කරුවෝ වැඩිදුරටත් සඳහන් කරති. මේ අනුව පෙත්සම්කරුවන්ගේ, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සහ අනාගත පරම්පරාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සහ/හෝ ආසන්න වශයෙන් උල්ලංඝනය කිරීමක් සිදු වේ. තවද, පෙත්සම්කරුවන් පවසන්නේ වායුගෝලයට මුදාහැරෙන රසායනික ද්‍රව්‍ය මගින් වාතයේ සංයුතිය වෙනස් විය හැකි අතර, එය සෞඛ්‍ය ගැටළුවක් වන බවත්, එමගින් පෙත්සම්කරුවන් ඇතුළු මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ තර්ජනයක් ඇතිවිය හැකි බවත් ය. තවද, පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, බලපෑමට ලක් වූ ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සහ සිදුවන දූෂණය/හානිවල ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට යුතුකමක් ඇති බවයි.

අධිකරණයේ වගකීම

පෙත්සම්කරුවන් අධිකරණයෙන් පහත සහන බලාපොරොත්තු වෙයි.
a) මෙම අයදුම්පත කැඳවීමට සහ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස;
b) 1, 2,  2A, 3, 4, 5, 6, 7, 8, 9 සහ 10 යන වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙක් හෝ ඊට වැඩිදෙනෙක් හෝ සියල්ලන්ගේම ක්‍රියාවන් හෝ/සහ ක්‍රියාත්මක නොවීම නිසා, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම 12 (1) වගන්තිය සහ 14 (1) (උ) වගන්තිය යට⁣තේ සහතික කර ඇති සමස්ත පුරවැසියාගේ සහ අනාගත පරම්පරාවල අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව/හෝ අඛණ්ඩව උල්ලංඝනය වෙමින් ඇති බව/හෝ උල්ලංඝනය වීමේ ආසන්න අවදානමක සිටින බව ප්‍රකාශ කරන ලෙස;
c) 1, 2,  2A, 3, 4, 5, 6, 7, 8, 9 සහ 10 යන වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙක් හෝ ඊට වැඩිදෙනෙක් හෝ සියල්ලන්ගේම ක්‍රියාවන් හෝ/සහ ක්‍රියාත්මක නොවීම නිසා, 3 වන සහ 4 වන පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ධීවර ප්‍රජාවන්ගේ සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අයගේ 14 (1) (උ) වගන්තිය යටතේ සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව/හෝ අඛණ්ඩව උල්ලංඝනය වෙමින් ඇති බව/හෝ උල්ලංඝනය වීමේ ආසන්න අවදානමක සිටින බව ප්‍රකාශ කරන ලෙස;
d) එම්වී එක්ස්ප්‍රස් පර්ල්හි ඇතිවූ ගින්න පිළිබඳව සහ පෙර නොවූ විරූ මෙම හානිය සඳහා වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ගරු අධිකරණයට වාර්තා කරන ලෙසට වගඋත්තරකරුවන්ට සහ/හෝ ඔවුන්ගෙන් එක් අයෙකු හෝ ඊට වැඩිදෙනෙකුට උපදෙස් දෙන ලෙසත්;
e) පරිසරයට සිදුවන හානිය තක්සේරු කිරීමට අදාළ සියලු ක්ෂේත්‍රවල ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර, අදාළ බලධාරීන්ගේ සහාය ඇතිව මූලික හා අවසාන වාර්තාවක් ඔබේ ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට සහ/හෝ ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට නියෝග කරන ලෙසත්;
f) ‘දූෂකයා ගෙවීමේ මූලධර්මය’ යටතේ ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා වෙරළබඩ පරිසරයට හා වායුගෝලයට සිදු වූ පාරිසරික හානිය හා දූෂණය සම්බන්ධයෙන් සහ පූර්වාරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට 11 සහ 12 වන වගඋත්තරකරුවන්ට නියම කරන ලෙසත්;
g) ධීවර කර්මාන්තයට, ධීවර ප්‍රජාවට සහ සංචාරක කර්මාන්තයට සිදුවී ඇති හානිය තක්සේරු කිරීම සඳහා අදාළ බලධාරීන්ගේ සහ විශේෂඥයන්ගේ සහාය ඇතිව කටයුතු කරන ලෙසට සහ ඒ සම්බන්ධයෙන් මූලික සහ අවසාන වාර්තාවක් ඔබේ ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට සහ/හෝ ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට නි⁣යම කරන ලෙසත්;
h) හානියට පත් ප්‍රදේශවල ධීවරයන්ට සහ ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව සඳහා වන්දි ගෙවීමට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට හෝ සියලුදෙනාට නියම කරන ලෙසත්;
i) බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරක කටයුතුවල යෙදී සිටින අයට සහ සංචාරක කර්මාන්තයට සිදුවූ අලාභයට වන්දි ගෙවීමට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට හෝ සියලුදෙනාට නියම කරන ලෙසත්;
j) මහජනයාට ඇතිවිය හැකි හා ආසන්න සෞඛ්‍යමය බලපෑම් තක්සේරු කිරීමට විශේෂඥ කමිටුවක් පත්කර, අදාළ බලධාරීන්ගේ සහාය ඇතිව ඒ සම්බන්ධයෙන් මූලික හා අවසාන වාර්තාවක් ඔබේ ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකු හෝ ඊට වැඩිදෙනෙකුට හෝ සියලුදෙනාට නියම කරන ලෙස⁣ත්;
k) 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ විධිවිධාන හෝ වෙනත් නීතිවලට අනුකූලව වන්දි ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට හෝ සියලුදෙනාට සහ නීතිපතිවරයාට නියම කරන ලෙසත්;
l) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ (සංශෝධිත) 10, 17, 18, 23(H)(2)(d), 23(J), 23(k), 23(S), 23(T), 24(A), 25 වගන්ති අනුව කටයුතු කරන ලෙස 4, 4A වගඋත්තරකරු සහ/හෝ ගරු නීතිපතිවරයාට නියම කරන ලෙසත්;
m) 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ (සංශෝධිත) 27(3), 37(b), 46(4)(d), 46(4)(e), 46(4)(g), 49 and 50 වගන්තිවලට අනුව කටයුතු කරන ලෙසට 7 වන වගඋත්තරකරුට  සහ/හෝ ගරු නීතිපතිවරයාට නියම කරන ලෙසත්;
n) එම්වී එක්ස්ප්‍රස් පර්ල්හි සුන්බුන් සහ ප්ලාස්ටික් කැබලි පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට නියම කරන ලෙස හෝ විකල්පයක් ලෙස එවැනි අපද්‍රව්‍ය නැවත අපනයනය කිරීමට 11 වන සහ 12 වන වගඋත්තරකරුවන්ට නියම කරන ලෙස;
o) සියලුම අලාභ හා වන්දි මුදල් ⁣ඒ සඳහා වෙන්කෙරුණු ගිණුමකට බැර කරන ලෙසට සහ ලැබෙන වන්දි භාවිත කරන ආකාරය සහ/හෝ භාවිත කිරීමට අදහස් කරන ආකාරය සම්බන්ධයෙන් ඔබේ ගරු අධිකරණයට වාර්තා කරන ලෙසට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට හෝ සියලුදෙනාට නියම කරන ලෙසත්;
p) සිය ව්‍යවස්ථාපිත හා නියමිත රාජකාරි ඉටුකිරීමට සහ නිසි අයුරින් කටයුතු කිරීමට හිතාමතාම අසමත් වූ හෝ සහ ප්‍රතික්ෂේප කර හෝ සහ මගහැර ඇති නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 112, 289 සහ 327 වගන්ති යටතේ කටයුතු කරන ලෙසට සහ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු පැවරීමට ප්‍රමාණවත් කිසියම් සම්බන්ධයක් හෝ දූෂණයක් අනාවරණය වුවහොත්, ඒ අනුව කටයුතු කරන ලෙසට ගරු නීතිපතිවරයාට නියම කරන ලෙසත්;
q) සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සහ ඕනෑම ආකාරයක සමුද්‍ර ව්‍යසනයකට සාර්ථකව හා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට ජාතික ප්‍රතිපත්තියක් සහ/හෝ හදිසි සැලැස්මක් සකස් කරන ලෙසට වගඋත්තරකරුවන්ගෙන් එක් අයෙකුට හෝ ඊට වැඩිදෙනෙකුට හෝ සියලුදෙනාට නියම කරන ලෙසත්;
r) මේ ආකාරයේ තත්ත්වයන්ට මුහුණදීමට අවශ්‍ය මාර්ගෝපදේශ සම්පාදනය කිරීමට, ගිවිසුම්වලට එළැඹීමට සහ අදාළ ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීමට පියවර ගන්නා ලෙසට 8 වන, 9 වන සහ 10 වන වගඋත්තරකරුවන්ට නියම කරන ලෙසත්;
s) නැවේ කපිතාන්වරයා සහ කාර්යමණ්ඩලය රඳවා තබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමටත්, ඔවුන්ට, නැව් හිමිකරුවන්ට සහ එහි නියෝජිතයන්ට එරෙහිව අවශ්‍ය අපරාධ සහ සිවිල් ක්‍රියාමාර්ග ගැනීමටත් විශේෂයෙන් 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 7, 12, 21, 24, 26 සහ 34 යන වගන්ති යටතේ සහ  1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනතේ (සංශෝධිත) 242, 244, 252, 283, 290, 293, 309, 311 වගන්ති යටතේ කටයුතු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට 1 වන සහ 3 වන වගඋත්තරකරුවන්ට සහ ගරු නීතිපතිවරයාට නියම කරමින් අතුරු නියෝගයක් හෝ නියෝගයක් ලබාදෙන ලෙසත්;
t) මෙම අයදුම්පතේ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති සියලු කරුණු සහ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (4) ව්‍යවස්ථාව යටතේ සහ ඔබේ ගරු අධිකරණය විසින් සාධාරණ හා සාධාරණ යැයි සිතිය හැකි සහන/නියෝග ලබාදෙන ලෙසත්;
u) පෙත්සම්කරුවන්ට මහජන අවශ්‍යතා නඩු කටයුතුවල නියැලීමට හැකි වන පරිදි වියදම් ලබාදෙන ලෙසත්;  සහ
v) ගරු අධිකරණයට හැඟෙන පරිදි වෙනත් සහ තවත් සහන ලබාදෙන ලෙසත්;
Previous articleපන්තියක සිසුන් 35ක් පමණයි – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන අධ්‍යාපන බලධාරීන්ට නීතිය වලංගු නැද්ද ?
Next articleමහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here