සෞඛ්‍ය සේවක අරගලය මර්දනය කිරීම කණගාටුදායක තත්ත්වයක් – වැඩ කරන ජන බලය

සෞඛ්‍ය සේවකයන්ට කෝවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ලබා නොදී ඔවුන්ගේ වෘත්තීය අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩකරන ජන බලය විරෝධය පළ කර සිටී.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි ඉල්ලා පරිපූරක වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඉන්පසු ආණ්ඩුව එම සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර තිබිණි.
වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙරට කෝවිඩ් 19 වසංගතය තුළ තම සේවාවන් අඛණ්ඩ සිදු කිරීමට සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින් කටයුතු කළ නමුත් එම අවස්ථාවලදී සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමට කිසිදු අවශ්‍යතාවක් ආණ්ඩුවට නොතිබූ බව ද, හදිසියේ මෙසේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා කිරීම ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය සඳහාම කරන ලද්දක් බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය සඳහා යොදා ගත හැකි ප‍්‍රබලතම ක්‍රියාමාර්ගය වී ඇත්තේ එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීම බවත්, තම සේවාවල කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය සේවකයන් විසින් ඉල්ලා සිටිනු ලබන විට එම ක‍්‍රමවේදය භාවිත කරමින් ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කිරීම බරපතළ කණගටුදායක තත්ත්වයක් බව ද වැඩ කරන ජන බලය අවධාරණය කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරයි.
කෝවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වීමට ක්ෂේත‍්‍ර ගණනාවක් විසින් එන්නත් ඉල්ලා සිටි හා ග‍්‍රාම නිලධාරීන් විසින් එන්නත් ලබාදෙන ලෙස බලකරමින් වැඩවර්ජනයක් දියත් කරනු ලැබූ අවස්ථාවේද මේ ආකාරයෙන්ම එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමට කටයුතු කරන ලද අතර, ඒ හේතුවෙන් එන්නත් නොලබාම ග‍්‍රාම නිලධාරීන්ගේ වැඩවර්ජනය නතර කෙරුණු බවද ඔවුහු පෙන්වා දෙති.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘කෝවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල ය. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැත. මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ද සැලකිය යුතු පිරිසකට මේ වන විට කෝවිඞ් 19 ආසාදනය වී ඇත. මේ තත්ත්වය මත හෙද, පරිපූරක වෛද්‍ය  ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24ක් ඒකාබද්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට බලකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප‍්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව  (2021.06.03) දින පෙ.ව. 7.00 සිට 12.00 දක්වා පැය 5 ක් සෞඛ්‍ය සේවකයන් සේවයෙන් බැහැරවීමට කටයුතු කර තිබිණි.එසේම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වන විට තම ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක ද නිරත වෙමින් සිටී.
එසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී 2021 ජුනි 02 දිනැති 2230/9 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත.’
Previous articleරිෂාඩ්ගේ පෙත්සම විභාගයෙන් දෙවැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි !
Next articleපන්තියක සිසුන් 35ක් පමණයි – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන අධ්‍යාපන බලධාරීන්ට නීතිය වලංගු නැද්ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here