රිෂාඩ්ගේ පෙත්සම විභාගයෙන් දෙවැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි !

පෞද්ගලික හේතුවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ද ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද (04) දැනුම් දුන්නේය.
ඔහු මෙම නඩුව කැඳවීමෙන් ඉවත් වූ දෙවැනි විනිසුරුවරයා ය. අද එම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවු අවස්ථාවේ ඔහු මේ බව දැනුම් දුන්නේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර, රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සහ නීතිඥ පුලස්ති හේවාමාන්න මහතාත් පෙනී සිටියහ.
ඉකුත් 28 වැනිදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු ජනක් ද සිල්වා මහතා එම විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වූ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වීම සහ එමගින් පෙත්සම්කරු සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී තිබීම ඊට හේතුව බව විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී ප්‍රකාශ ක⁣ළේය. හදිසි පදනම මත ගොනු කර තිබූ මෙම පෙත්සම එදින විජිත් කේ. මලල්ගොඩ, කේ.කේ. වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය. හදිසි පදනම මත විනිසුරු ජනක්ද සිල්වා මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද දින කැඳවීමට එදින ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කෙරිණි.
පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටී.
ඒ අනුව පෙත්සම කැඳවීම දෙවැනි වතාවටත් ලබන 11 වැනිදා දක්වා කල් දමනු ලැබීය.
Previous articleඅත්අඩංගුවේදී තරුණයෙක් මියයයි – පවුලේ ඥාතීන්ගෙන් මඩකලපුව පොලිසියට චෝදනා !
Next articleසෞඛ්‍ය සේවක අරගලය මර්දනය කිරීම කණගාටුදායක තත්ත්වයක් – වැඩ කරන ජන බලය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here