අත්අඩංගුවේදී තරුණයෙක් මියයයි – පවුලේ ඥාතීන්ගෙන් මඩකලපුව පොලිසියට චෝදනා !

අත්අඩංගුවේ සිටියදී තරුණයකු මරණයට පත්වීම සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීහු මඩකලපුව පොලිසියට චෝදනා කරති.
ඊයේ (02) මඩකලපුව, ඉරුදයපුරම්හිදී 22 හැවිරිදි චන්ද්‍රන් විදූෂන් නම් මේ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් තම පුත්‍රයාට පහර දුන් බව ඔහුගේ මව මාධ්‍ය වෙත පවසා තිබේ.

මරණ පරීක්ෂණ වාර්තාව

අද (03) පස්වරුවේ මඩකලපුව ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.ඉලංගෝවන් විසින් මේ මරණයට අදාළ මරණ පරීක්ෂණය පවත්වන ලදි. එම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඔහු අයිස් නමැති මත්ද්‍රව්‍ය (Meth Amphetamine) පැකට් හතරක් භාවිත කර ඇති බවත්, එය මරණයට හේතුවී ඇති බවත් ය.
මේ තරුණයා අදාළ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අයෙකු බවත්, ඔහු එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාවට මීට පෙර ද අත්අඩංගුවට ගත් අයෙකු බවත් මඩකලපුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් තරුණයාගේ සහෝදරිය පවසන්නේ සිය සහෝදරයා පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යෑම පිළිබඳ බරපතළ සැකයක් ඇති බවයි. යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සම්පූර්ණ වගකීම අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතු බව කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ සම්මුතිය පනතේ සඳහන් වේ.

සියලු සාක්ෂි වැදගත්

කෙසේ වෙතත් මෙවැනි මරණයක් පිළිබඳ පරීක්ෂණයකදී පොලිසිය පවසන කරුණු හෝ ඉදිරිපත් කරන කරුණු මෙන්ම, වෙනත් සාක්ෂිකරුවන් සිටී නම් කැඳවීම, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීම යන කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා පවසයි. ඇතැම් අවස්ථාවලදී මහේස්ත්‍රාත්වරුන් මෙසේ සියලු සාක්ෂි සහ පාර්ශ්ව සම්බන්ධයෙන් අවධානය යොමුනොකිරීම බරපතළ කරුණක් බව ද නීතිඥවරයා අවධාරණය කරයි.
පසුගිය කාලයේදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් රැසක් ඝාතනය වීම පිළිබඳ පුළුල් කතිකාවක් ඇති විය. විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල කෙරිණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේ සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් ය. එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මාධ්‍යයේ වගකීම

මාධ්‍ය මගින් මෙවැනි සැකකරුවන් හැඳින්වීමේදී පොලිසිය පාර්ශ්වයෙන් පමණක් තොරතුරු ලබාගෙන, ඔවුන් සම්බන්ධයෙන් සමාජය තුළ පිළිකුලක් ඇති වන පරිදි වාර්තා කිරීම ද ගැටලු සහගත බව ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම සඳහන් කළේය. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය. මීට පෙර පොලිස් ඝාතන සම්බන්ධයෙන් අප වෙබ්අඩවිය කළ විමසීමකදී ආචාර්යවරයා මේ අදහස් පළකළේය.

පොලිසියේ වගකීම

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පසුගිය මාසයේ පොලිස්පතිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබිණි.
‘ආසන්න දින කිහිපයක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම තුළින් රට තුළ නීතියේ ආධිපත්‍ය පිළිබඳ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් ගොඩනැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසයයි.’
පොලිස්පති වෙත යොමු කරන ලද මේ ලිපිය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය දැනුම් දී තිබුණේ, පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගවල මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලද අවධාරණය කර ඇති බවයි.
Previous articleපියුමි ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන ගියේ නීතියට පිටින් !
Next articleරිෂාඩ්ගේ පෙත්සම විභාගයෙන් දෙවැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here