පියුමි ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන ගියේ නීතියට පිටින් !

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සහ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන යන ක්‍රියාවලියට පොලිසියට ගෙන්වා ඇත්තේ ශ්‍රැංග්‍රිලා හෝටලය අයත් බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නොවන බව MediaLK වෙත තහවුරු විය.
කොළඹ, කොටුව පොලිස් ස්ථානය කළ දැනුම්දීමක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක හේරත් මහතා එහි ගොස් ඇති බවත්, ඒ යන විට අත්අඩංගුවට ගෙන ඇප ලැබුණු පිරිස එහි සිට ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග කියයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ පිරිස නිරෝධායනය කරවන ලෙස අධිකරණය දැනුම් දුන් බවට පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ තම බලප්‍රදේශය තුළ නොවන බැවින් මෙම සිද්ධියට මැදිහත්වීම ගැටලු සහගත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිසියට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා ගත යුතු බව කියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිසියෙන් පිටතට පැමිණි අවස්ථාවේ පොලිසිය මෙම පිරිස බස් රථයකට දමාගෙන පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නිරෝධායනය ක්‍රියාවලිය කළ යුත්තේ සෞඛ්‍ය අංශ විසින් වුවද, මෙම සිදුවීමේදී එම ක්‍රියාවලිය පොලිසිය විසින්ම සිදු කර ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යමෙකු නිරෝධායනයට යොමු කළ යුත්තේ ඔහු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු බව තහවුරු වුවහොත් පමණක් බවත්, නිරෝධායනය යනු වරදකට දෙන දඬුවමක් නොවන බවත් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ වන විට නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන්නේ නිවාස ආශ්‍රිතව බවත්, විදේශගතව සිට පැමිණෙන පිරිස් හෝටලවල නිරෝධායනය කරන බවත් එම ප්‍රකාශකයා පැවසීය.
මෙම පිරිස බස් රථයට නංවාගනිද්දී හෝ ඔවුන් ගෙන යන ස්ථානයක් ගැන දැනුම්දීමක් කර නැති බවත්, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු බස් රථයේ ගොස් ඇති බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පිරිස නිරෝධායනයට යොමු කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපදෙස් මත බවට තමන්ට කොටුව පොලිසියෙන් දැනුම් දුන් බවයි.
මෙම ක්‍රියාවලිය ගැන විමසීමට පොලිසිය භාර මහජන සාමය ඇමැති සරත් වීරසේකර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
තමන් ඇතුළු පිරිසට නිරෝධායනයට යොමු කරන හේතුව හෝ ගෙන යන ස්ථානය ගැන හෝ පොලිසිය නොකී බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි කීවාය.
‘චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටියට ආවා කියලා නිරෝධායනයට ගෙනියනවා. අපිව අධිකරණයට ඉදිරිපත් කළාම ඇප දුන්නා. හිරු ටීවී මෙගාස්ටාර් කළා, නත්තල් පාර්ටි කළා, හැම වැඩසටහනක්ම කළා. ඒ අයව නිරෝධායනයට ගෙනිච්චද? පියුමි හංසමාලි පැයෙන් ගෙදර ගියාලු. චමුදිත කියනවා 40ක් 50ක් ආවා කියලා. ඇස් දෙකෙන් දැක්කද 40ක් 50ක් එනවා. අපි කුඩු විකුණලද? පියුමි හංසමාලි මිනී මරලද? චන්දිමාල් ජයසිංහ කුඩු විකුණලද? ගෑණු දූෂණය කරලද? මෙච්චර අපරාධ කරපු මිනිස්සු එළියේ ඉද්දි… අපිට ඇමැති බලතල නෑ…. අජිත් රෝහණ මැතිතුමාව ගෙන්නලා අසරණ කරලා අහනවා ඇයි ඇරෙස්ට් කරන්නේ නැත්තේ කියලා. ඇයි අහන්න බැරි හිරු නත්තල් පාටිය තිබ්බා, 150කට කොවිඩ් හැදුණා. ඒ්වා එළියට කියන්නේ නැද්ද? හිරු මෙගාස්ටාර් කරපු අයට පොසිටිව් වුණා. නිළියන්ට කොවිඩ් හැදුණා. එයාලා ගෙවල්වල නිරෝධායනය කළා. ඇයි අපිව ගෙවල්වල නිරෝධායනය කරන්න බැරි?’
‘10ක් 15ක් ආපු චන්දිමාල්ගේ පාටිය ගැන ලොකුවට කියනවා. ඇයි කියන්නේ නැත්තේ හිරු නත්තල් පාටිය ගැන? හිරු එකේ 150, 200 දාගෙන කරන මෙගාස්ටාර් ගැන කතා කරන්නේ නැද්ද? ඒ්වට එච්චර ගොඩක් ආවේ කොහොමද? ඒවට පාස් කෝ? ‘
‘දවස් 14 ඉඳලා ආවට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔක්කොගෙම රෙදි ගැලවෙන්න කරන්නම්. පර්සනල් තරහක් තියෙන්නේ මාත් එක්ක. හිරු, වගකීමෙන් කියන්නේ, මම ගාව සීක්‍රට් මැසේජ් තියනවා. ස්ක්‍රීන් ෂොට් තියෙනවා. ඒවා මීඩියාවලට දෙන්නම්. එතකොට බලමු තියෙන ඇරියස් එක මොකක්ද කියලා.  අපි ශ්‍රැංගිලා එක ඉල්ලුවා. අපිට දෙන්න බෑ කිව්වා. අපි පොලිසියට බාර වුණා. අපි හැංගුණේ නෑ. අපිට අධිකරණයෙන් ඇප දුන්නා. ළමයි ඉන්න අම්මලා හෝ ගාලා අඬනවා.’
‘හිරු අවුරුදු උත්සවයක් තිබ්බා. ඒ්වයේ සාක්කි එළියට දුන්නා කියලා මේකප් ආර්ටිස්ට්ලා දෙන්නෙක් අයින් කළා. ඒ දෙන්නා දැන් ස්වර්ණවාහිනියේ වැඩ කරනවා. මං ගාව සාක්කි තියෙනවා’ යැයි පියුමි හංසමාලි තම ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී වීඩියෝවක් විකාශය කරමින් කීවාය.
‘පොලිසියෙන් පීඑච්අයි මහත්තයව ඇහැටවත් දකින්න දුන්නේ නෑ. පොලිසියෙන් පීඑච්අයි මහත්තයව කාමරේකට දාගෙන හිටියා. අපි ඇඳං ඉන්න ඇඳුමින් එක්කන් යන්නේ. අපට ඇඳුමක් නෑ. සබන් කෑල්ලක් නෑ. දරුවෝ ගෙදර. ලංකාවේ කොවිඩ් පොසිටිව් වෙච්ච මිනිස්සු මැරිලා යනවා. ඒ මිනිස්සු ගෙනියන්නේ නෑ. මුකුත් නැති අපිව අරගෙන යනවා. ‘ යැයි තවත් කාන්තාවක් කීවාය.
Previous articleඑන්නත් සංඛ්‍යාවල පරස්පරයක් : අපි අරපිරිමැස්මෙන් ගහන්නෙ – නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
Next articleඅත්අඩංගුවේදී තරුණයෙක් මියයයි – පවුලේ ඥාතීන්ගෙන් මඩකලපුව පොලිසියට චෝදනා !

1 COMMENT

  1. එතකොට පියුමි ඇතුලු පිරිස පාටියට ගියේ නීතියට පිටින් නෙවෙයි ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here