එන්නත් සංඛ්‍යාවල පරස්පරයක් : අපි අරපිරිමැස්මෙන් ගහන්නෙ – නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

(නිලුක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකාව⁣ට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගණනට වඩා මේ වන විට එන්නත්කරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව තහවුරු වෙයි. එම දත්ත අනුව වැඩිපුර එන්නත් මාත්‍රා 8,824 ක් පෙන්නුම් කරයි.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා අවසන් වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් මැයි 10 වැනිදා පැවසූවේ ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලක්ෂ 05ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු බවත් තවත් එන්නත් ලක්ෂ 05ක් රජය මිලදී ගනු ලැබු බවත් තවත් එන්නත් දෙලක්ෂ හැට පන්දහසක් ලැබුණු බවත් ඒ අනුව “ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට පන්දහසක් (1,265,000) ශ්‍රී ලංකාවට හිමි වූ බවත් ය. ඉන්පසුව මෙරටට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙනා බවට කිසිදු ප්‍රකාශයක් හෝ වාර්තාවක් දක්නට නොලැබිණි. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා එම ප්‍රකාශයේදී ද සඳහන් කළේ පළමු එන්නත්කරණය තුළ මාත්‍රා නම ලක්ෂ විසි පන්දහසක් (9,25,000) එන්නත්කරණය සිදු වූ බවත් පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්ත්වය සමග එම එන්නත්කරණ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දී අර්බුදයක් මතු වූ බවත් ය.
දෙවන එන්නත්කරණය සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බව ද රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක⁣ළේය. නමුත් මේ වන තෙක් එම එන්නත් ලබාගැනීමට හැකි වූ බව ප්‍රකාශ වූයේ ද නැත.
නමුත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (01) නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ එදින රාත්‍රී 8.30 වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925 242 දෙනකුට ලබාදී ඇති බවත් දෙවැනි මාත්‍රාව 348 582 දෙනකුට ලබාදී ඇති බවත්ය. ඒ අනුව මේ වන විට එම එන්නතේ ලබාදී ඇති මුළු එන්නත් මාත්‍රා ගණන 1,273,824කි.
ශ්‍රී ලංකාවට මේ වන විට ගෙනවිත් ඇති බවට සඳහන් වන මුළු එන්නත් මාත්‍රා ගණන 1,265,000ක් නම් ඊටත් එහා ගොසින් එන්නත් මාත්‍රා 1,273,824ක් ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය වූයේ කෙසේද?
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසූවේ එය විය හැකි බවයි. ඊට හේතුව පහදමින් ඔහු මෙසේ සඳහන් කළේය.
MediaLK – ඇස්ට්‍රා සෙනෙකා එන්නත් කීයක් මේ වෙද්දි ලංකාවට ගෙන්වලා තියෙනවාද ?
හේමන්ත හේරත් මහතා – මේ වෙද්දි ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 1,264,000ක් ගෙන්වලා තියෙනවා. ලක්ෂ පහේ දෙකක් සහ 264,000ක්.
MediaLK – එතකොට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන දත්තවල එන්නත් මාත්‍රා ගණන් එකතු කළාම මාත්‍රා 1,273,824ක් එනවා.ඒක වෙන්න පුළුවන් ද? කොහොමද වෙන්නේ?
හේමන්ත හේරත් මහතා – පුළුවන් නේ…
MediaLK – එත⁣කොට 8000කට වැඩියෙන් එන්නත් මාත්‍රා ගහලා තියෙනවා…?
හේමන්ත හේරත් මහතා – ඔව් 8000ක් නෙමෙයි ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඔය ගාණෙන් බේරුනා හොඳටම ඇති..
MediaLK – ඒ කොහොමද?
හේමන්ත හේරත් මහතා –අපිට එන්නත් 1,264,000ක් කියන්නේ අපිට එන්නත් කුප්පි 126,400ක් හම්බ වෙලා තියෙනවා. එතන දහයේ දහයේ බෝතල් තමයි තිබුණේ. නමුත් ඔය බෝතල් තොගයේ සමහර බෝතල් වල කුප්පියක 10ට වැඩියෙන් තිබ්බා. එතකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම පැහැදිලි උපදෙස් යවලා තිබ්බා කුප්පියෙන් කුප්පිය කලවම් කරන්නේ නැහැ.නමුත් එකම එන්නත් කුප්පියෙන් 11 වැනි මාත්‍රාවකට තරම් එකතු වෙනවානම් එක ගහන්න කියලා. මේ සෑම බෝතලයකම අඩුවැඩියෙන් තිබ්බා වැඩිපුර ටිකක්. ඒක තිබුණේ අර ඉවත යන ප්‍රමාණයට හරියන්න. පිරිමහගෙන හරියට වැඩේ කළොත්. අඩුවෙන් ඉන්ජෙක්ෂන් ගහන්න බෑ මොකද ඔටෝ ඩිසෝබල් කියන සිරින්ජරයේ හරි ගානට අදින්නේ නැතිව ලොක් වෙන්නේ නෑ අඩුවෙන් ගන්නත් බෑ වැඩියෙන් ගන්නත් බෑ. ඒක හින්දා අපි අඩුවෙන් අරගෙන පිරිමහලා නෑ. නමුත් හැමවෙලේම වේස්ටේජ් කියලා පොඩ්ඩක් වැඩිපුර දාලා තියෙනවා. ඒ දාලා තියෙන ටිකේ තව එක්කෙනකුට ගහන්න පුළුවන් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. එතකොට ඒ ටික හැම කුප්පියෙම 11ක් තිබ්බනම් තව 126,400ක් අපි ගාව අමතරව තියෙන්න ඕන. නමුත් එහෙම වුණේ නෑ. එකක දෙකක තමා වැඩිපුර තිබ්බේ. ඒ ටික අපි ගහපු නිසා තමයි මේ වෙනකොට ඔය කියන අමතර ⁣මාත්‍රා අපිට ලැබුණේ.
Previous articleඇමැති කෙහෙළිය කිව්වේ බොරු – ස්පුට්නික් එක් මාත්‍රාවක් ගැන ලංකාවේ විශේෂඥ නිර්දේශ නෑ !
Next articleපියුමි ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන ගියේ නීතියට පිටින් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here