ඇමැති කෙහෙළිය කිව්වේ බොරු – ස්පුට්නික් එක් මාත්‍රාවක් ගැන ලංකාවේ විශේෂඥ නිර්දේශ නෑ !

(නිලූක සඳුන් පද්මසිරි)
ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිගින් දිගටම ප්‍රකාශ ක⁣⁣ළේය.
ඔහු ඒ බව කීවේ මෙරට ‘විශේෂඥ කමිටුවක් නිර්දේශ’ කර ඇති බව සඳහන් කරමිනි.
⁣ඊට මූලික වූ ප්‍රධාන සිද්ධිය නම් ඔහු නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේදී ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් හෝ ලබාගැනීමට කැමති බවට එන්නත්ලාභීන්ගෙන් ලියවිල්ලක් අත්සන් ගැනීමේ සිද්ධියයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රඹුක්වැල්ල මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ද ඇතුළුව දිගින් දිගටම මාධ්‍ය වෙත පැවසූවේ එම එන්නත් වර්ගයේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට මෙරට විශේෂඥ කමිටුවක් නිර්දේශ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඊට ප්‍රතිචාර නොලැබිණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසූවේ ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට මෙතෙක් මෙර⁣ට කිසිදු කමිටුවකින් අනුමත වී නැති බවයි.
MediaLK – ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව මොන හෝ කමිටුකින් නිර්දේශ කරලා තියෙනවාද?
හේමන්ත හේරත් මහතා – තවම කමිටුවකින් නෙමෙයි පර්යේෂණ මේවා තියෙනවා. ඒ පර්යේෂණවල ලැබෙන තොරතුරු අනුව සමහර විට විද්වත් කමිටුව මේ පිළිබඳ තීරණයක් ගනීවි.
MediaLK – ඒ ඇරෙන්න ලංකාවේ කමිටුවකින් තීරණයක් අරගෙන නැහැ..?
හේමන්ත හේරත් මහතා – තවම නැහැ. තවම නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සමාගමම කියන්න පුළුවන් එයාලා දෙවැනි එන්නත හදන්නේ නෑ කියලා. එහෙම නැත්නම් එක එන්නතක් විතරක් ඇති කියලා විද්‍යානුකූල තහවුරු වුවොත් අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය ලැබෙනවානම් අපිට එතැනින් නවතින්න පුළුවන්.

තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නෑ

මේ සම්බන්ධයෙන් MediaLK ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද විමසීමක් කළ අතර එහිදී එම සංවිධානය ප්‍රකාශ කළේ ස්පුට්නික් එන්නත හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් තක්සේරු කරමින් සිටින බවයි. එමෙන්ම මෙම එන්නත භාවිතා කිරීම සඳහා අදාළ ප්‍රතිපත්ති නිර්දේශ නිකුත් කරන්නේ මෙම ක්‍රියාවලිය අවසන් වූ විට පමණක් බවද එම සංවිධානය කීවේය.
ස්පුට්නික් වී එන්නතට ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට ඉකුත් මාර්තු 04 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත්තේ ස්පුට්නික් වී එන්නතේ පළමු සහ දෙවැනි යන මාත්‍රා ද්විත්වයටම වේ .
මෙම එන්නතේ මාත්‍රා දෙකක් ඇති බවත් එම මාත්‍රා දෙක වෙනස් සංඝටක වලින් සමන්විත බවත් එහි සඳහන් වෙයි. පළමු මාත්‍රාවේ ‘ඇඩිනෝ වයිරස් සෙරෝටයිප්’ 26ක් සහ දෙවැනි මාත්‍රාවේ ඇඩිනෝ වයිරස් සෙරෝටයිප් 5ක් අඩංගු බව එහි දැක්වෙයි (Component I includes a recombinant adenoviral vector that uses a serotype 26 human adenovirus carrying a SARS-CoV-2 protein S gene. Component II includes a serotype 5 human adenoviral vector carrying a SARS-CoV-2 protein S gene.) එන්නතෙහි I සහ II මාත්‍රා හදිසි භාවිතය සඳහා අවසර ලබා දෙනු ලබන බවද එහි සඳහන් විය.

ස්පුට්නික් ලයිට් ?

ස්පුට්නික් ලයිට් යනු ඉහත සඳහන් එන්නත් මාත්‍රා දෙකෙන් ඇඩිනෝ වයිරස් සෙරෝටයිප් 26ක් සහිත එන්නත් මාත්‍රාව එනම් පළමු එන්නත් මාත්‍රාව වේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව ශ්‍රී ලංකාවේ කිසිදු කමිටුවක් මෙතෙක් එක් එන්නතක් පමණක් ප්‍රමාණවත් බවට තහවුරු කර නැති නමුත් ඇතැම් රටවල ස්පුට්නික් පළමු මාත්‍රාව (ස්පුට්නික් ලයිට්) පමණක් එන්නත්කරණය කිරීමට තීරණය වී තිබේ.
ස්පුට්නික් වී එන්නත නිපදවීම සඳහා සම්බන්ධීකරණ කටයුතු කරන රුසියානු සෘජු ආයෝජන අරමුදල සඳහන් කරන ආකාරයට රුසියාව, මොරිසස්, පලස්තීනය, නිකරගුවාව, වෙනිසියුලාව, අංගෝලා යන රටවල ස්පුට්නික් ලයිට් නොහොත් ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාදීමට අනුමැතිය ලබා දී තිබේ.
2020 දෙසැම්බර් 5 සිට 2021 අප්‍රේල් 15 දක්වා රුසියාවේ එන්නත් කිරීමේ වැඩසටහනේදී යම් හේතුන් නිසා දෙවන එන්නත් මාත්‍රාව ලබා නොගෙන පළමු එන්නත් මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්ගේ දත්ත අනුව පළමු එන්නත් මාත්‍රාව පමණක් ලබාගත් අයගේ කාර්යක්ෂමතා මට්ටම 80% ට ආසන්න බව රුසියානු සෘජු ආයෝජන අරමුදල කියයි.
එම අරමුදල මෙසේද සඳහන් කරයි.
  • ස්පුට්නික් වී මාත්‍රා දෙකම එන්නත් කර ඇති අය අතර කොරෝනා වෛරසය ආසාදන අනුපාතය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීම මත පදනම්ව ස්පුට්නික් වී හී කාර්යක්ෂමතාව 97.6% කි
  • පළමු එන්නත් මාත්‍රාව පමණක් ලද අයගේ දත්ත අනුව ස්පුට්නික් ලයිට් හී කාර්යක්ෂමතාව 79.4% කි;
  • ස්පුට්නික් වී එන්නත ලබා ගැනීමේදී මාත්‍රා දෙක සඳහා වෙනත් සංඝටක දෙකක් භාවිතා කරයි.
  • ස්පුට්නික් වී සහ ස්පුට්නික් ලයිට්හී මිල එක් මාත්‍රාවකට ඩොලර් 10 ට වඩා අඩුය.
Previous articleරොෂේන් චානක ඝාතනය : යුක්තිය ඉටුනොවූ දසවසරක්
Next articleඑන්නත් සංඛ්‍යාවල පරස්පරයක් : අපි අරපිරිමැස්මෙන් ගහන්නෙ – නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here