රිෂාඩ්ගේ පෙත්සම විමසුමෙන් විනිසුරු ජනක් ඉවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමේ විනිසුරු මඩුල්ලෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (28) දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වීම සහ එමගින් පෙත්සම්කරු සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී ඇති බැවින් තමා තමා මෙම විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු නොකරන බව විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
හදිසි පදනම මත ගොනු කර තිබූ මෙම පෙත්සම අද (28) විජිත් කේ මලල්ගොඩ, කේ කේ වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය. ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා සමඟ තමා පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා දැනුම් දුන්නේය.
තමාට මෙම පෙත්සම සම්බන්ධ ලේඛන ලැබුණේ අද දිනයේ බැවින් වගඋත්තරකරුවන්ගෙන් විස්තර ලබා ගත යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය. මෙම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ලබන පළමු වැනිදා වන විට පෙත්සම්කරුට පිටපතක් සහිතව එය ඉදිරිපත් කරන බවත් රජයේ නීතීඥවරිය දැනුම් දුන්නාය.
ඒ අනුව හදිසි පදනම මත විනිසුරු ජනක්ද සිල්වා මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ලබන 04 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට නියෝග කෙරිණි.
පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේයැයි කියමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියි.
Previous articleමහජනතාව අපහසුතාවට පත්කිරීම වහාම නවත්වන්න – පොලිස්පතිගෙන් නියෝගයක් !
Next articleජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර සිදුකිරීමට එරෙහිව පොලිස්පතිට ලිපියක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here