මහජනතාව අපහසුතාවට පත්කිරීම වහාම නවත්වන්න – පොලිස්පතිගෙන් නියෝගයක් !

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීමේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම වහාම නතර කරන්නැයි පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දැනුම් දී තිබේ.
එලෙස මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය දැක්වෙන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින්-වර ප්‍රචාරය වන බවට නිරීක්ෂණයට ලක්වී ඇතැයි සඳහන් කරමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එමගින් අදාළ තැනැත්තන්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට ලක්වන බවත්, එවැනි ක්‍රියා මගින් පොලිසිය පිළිබඳව අගතිදායී තත්ත්වයක් ඇතිවන බවත් එමගින් පොලිසියේ කීර්ති නාමයට ද බලවත් හානියක් සිදුවන බවත්ය.
මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට ක්‍රියා කරන අවස්ථා පිළිබඳව මින් ඉදිරියට මාධ්‍ය මගින් ප්‍රචාරය වුවහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දැනුම් දී තිබේ. එමෙන්ම එම අවස්ථාවලදී දුර්වල අධීක්ෂණය සම්බන්ධයෙන් අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂකට හෝ අදාළ ස්ථානාධිපතිට එරෙහිව විනය පියවර ගන්නා බවද පොලිස්පතිවරයා දන්වා ඇත.
වාහන හා පුද්ගලයන් පරීක්ෂාවේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් / අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක / ස්ථානාධිපතිවරුන් වෙත මෙම දැනුම්දීම සිදුකර තිබේ.
එම සම්පූර්ණ දැනුම්දීම පහතින්…
“කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේ දී පොලිස් නිලධාරයන් විසින් මාර්ග බාධක ආදී රාජකාරීවලදී වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.
එවැනි පරීක්ෂා කිරීම්වලදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පොලිස් නිලධරයන් මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව කිරීම සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රචාරය වන බවට නිරීක්ෂණයට ලක්වී ඇත.
මෙමගින් එලෙස පරිභවයට ලක්වන තැනැත්තන්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට ලක්වන අතර ම එවැනි ක්‍රියා මගින් පොලිසිය පිළිබඳව ද ඇති වන්නේ අගතිදායී තත්ත්වයකි. පොලිසියේ කීර්ති නාමයට ද එය බලවත් හානියකි.
මේ අනුව වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම ද නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදුකළ යුතු නමුත් මහජනතාව වෙත එලෙස පරිභව කිරීම් හෝ ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයට ක්‍රියා කිරීම වහාම නතර කළ යුතු බවට දන්වා සිටිමි.
මේ පිළිබඳව සෑම පොලිස් නිලධාරයකුම දැනුවත් කළ යුතු අතර එවැනි පරිභව කිරීම් හා / හෝ මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්‍රියා කිරීම් නොකළ යුතු බවට සෑම පොලිස් නිලධාරයකු ගේ ම සාක්කු සටහන් පොත්හි සටහනක් එම නිලධාරයා මගින් යෙදවීමට ද ක්‍රියා කළ යුතුය.
තම කොට්ඨාසය තුළ සියලුම නිලධාරීන්ගේ සාක්කු සටහන් පොත්වල සටහන් යෙදූ බවට සියලුම කොට්ඨාස භාර නිලධාරීන් විසින් තම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම්දිය යුතු අතර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් තම පළාතේ සියලු නිලධරයන් මෙම උපදෙස් සටහන් කරගෙන ඇති බවටත්, 2021.05.28 දින පැය 1800ට පෙර dig.staff@police.lk මගින් මා වෙත දැන්විය යුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.
වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙලෙස මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට ක්‍රියා කරන අවස්ථා පිළිබඳව මින් ඉදිරියට මාධ්‍ය මගින් ප්‍රචාරය වන අවස්ථාවක් නිරීක්ෂණය වුවහොත් අදාළ නිලධරයන්ට එරෙහිව මෙන්ස දුර්වල අධීක්ෂණය සම්බන්ධයෙන් අදාළ මු. පො. ප / ස්ථානාධිපතිට විනය පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටිමි.”
Previous articleපාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ මොනවාද ? – ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි !
Next articleරිෂාඩ්ගේ පෙත්සම විමසුමෙන් විනිසුරු ජනක් ඉවත් වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here