ජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර සිදුකිරීමට එරෙහිව පොලිස්පතිට ලිපියක් !

සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහනවලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වළක්වනු ලබන බවටත් අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සහ හිරිහැර බාධාවන් ඇති කරන බවටත් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය සඳහන් කරයි.
එහි සභාපති රවි කුමුදේශ් මහතාගේ අත්සනින් යුතුව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇත.
සෞඛ්‍ය ආයතන ලාංඡනයක් සහිත අවසරපතක් ඇති වාහනවල ගමන් කළ හැක්කේ වෛද්‍ය නිලධාරීන්ට පමණක් බවට සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩල ඊට අයත් නොවන බවට ඇතැම් පොලිස් නිලධාරීන් තුළ මතයක් ඇතැයි ද එම සංවිධානය සිය ලිපියෙන් සඳහන් කරයි.
සෞඛ්‍ය සේවාවේ නිල ලාංඡනයක් පැළඳ පැමිණෙන පුද්ගලයා සෞඛ්‍ය සේවකයෙකුමද යන්න පරීක්ෂා කිරීම පිළිබඳව කිසිදු විරෝධතාවක් නොමැති නමුත් අදාළ සේවකයා වෛද්‍යවරයෙකු නොවීම තුළ හිංසාවට ලක්කිරීමේ ප්‍රතිපත්තිය තරයේ බැහැර කරන බව ඔවුහු ප්‍රකාශ කරති. සෞඛ්‍ය සේවාව යනු සාමූහික සේවාවක් බවත් එය වෛද්‍ය නිලධාරීන් විසින් පමණක් ආවරණය නොකරන බවත් පොලිස් නිලධාරීන්ට අවබෝධයක් ලබා දෙන ලෙස ද ඔවුහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳ දැඩි සැලකිල්ල යොමුකර සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට මහමඟදී සමාන සැලකිල්ලක් දැක්වීමට පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසත් එසේ නොවන්නේ නම්, ඊට එරෙහිව සාමූහික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.
වාහනවල පැමිණිය යුත්තේ වෛද්‍ය නිලධාරීන් පමණක් බව හෝ රෝහලක සිටිය යුත්තේ වෛද්‍ය නිලධාරීන් පමණක් බව ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ වෙනත් පාර්ශ්වයක් විසින් විශ්වාස කරනු ලබන්නේ නම්, අතිශය දුෂ්කරතා මැද තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මහජන සේවාවක් සඳහා පැමිණෙන නිලධාරීන් තවදුරටත් අනවශ්‍ය පීඩාවන්ට ලක්වන්නේ නම්, ඔවුන් නිවසේ රඳවමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදු වන බව එම සංවිධානය අවධාරණය කරයි.
‘ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක රෝහල් ලාංඡන සහිත වාහන පරීක්ෂා කිරීමක් ගැන සඳහන් කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල නම් සඳහන් නොකිරීම ඊට හේතුවක් විය හැකි බව පෙනෙන්නට තිබෙන නමුත් මාධ්‍යයට නිකුත් කරන සාමාන්‍ය ප්‍රකාශයක් එලෙස රටේ නීතියක් බවට පරිවර්තනය කරගැනීම අතිශය බරපතළ තත්ත්වයකි.’ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය සඳහන් කරයි.
එම සංවිධානය පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ මෙසේද දැක්වෙයි.
‘එසේම, සෞඛ්‍ය ආයතනයක් විසින් වාහන අවසර පත්‍රයක් නිකුත් කිරීම මඟින් පුද්ගලයෙකුගේ තරාතිරම මැනීම අපේක්ෂා නොකරන අතර, එය එම වාහනය අදාළ ආයතනයට ඇතුළු කිරීම හා නවතා තැබීම සඳහා, එම වාහනයේ හිමිකරු රෝහල් කාර්යය මණ්ඩලයට අයත් අයෙකු බව හැඟවීම සඳහා දෙනු ලබන්නක් පමණක් බව සිහිපත් කරමු.’
Previous articleරිෂාඩ්ගේ පෙත්සම විමසුමෙන් විනිසුරු ජනක් ඉවත් වෙයි
Next articleමුතුරාජවෙල එල්.එන්.ජීයට යට වෙන පෙදෙසේ ශාක විශේෂ 84ක් ; සත්ත්ව විශේෂ 202ක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here