සීමා මැද අධිකරණ වැඩ කරන හැටි ගැන නීතිඥ සංගමයෙන් යෝජනා

හදිසි හා අත්‍යවශ්‍ය නඩු කටයුතු විභාග කිරීම සඳහා රට පුරා සිවිල්, අපරාධ අධිකරණ සහ ඉහළම අධිකරණ දෙක අවම මට්ටමකින් හෝ ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේ අධිකරණවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අගවිනිසුරු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය මේ බව පවසයි.
අලුතින් නඩු පැවරීමට සහ වෙනත් හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් විධිවිධාන සලසන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා ඇත.
එහිදී අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ප්‍රවාහන දුෂ්කරතා ඇතිවිය හැකි බැවින් නම් කරන ලද අධිකරණ කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙසත් එම සංගමය ඉල්ලයි.
අධිකරණවල වැඩ කටයුතු සිදු කිරීම සඳහා හැකි තාක් දුරට වීඩියෝ/මාර්ගගත තාක්ෂණය භාවිතා කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.
එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.
“කොරෝනා වසංගතය හේතුවෙන් රජය 2021 ජුනි 7 වන දින දක්වා සංචරණ සීමා පනවා ඇති අතර, යුක්තිය පසිඳලීම අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් අධිකරණ ක්‍රියාකාරිත්වය එම සීමාවන්ගෙන් බැහැර කර ඇත.
අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතන හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු කරගෙන යාම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
සමහර අධිකරණ දැනටමත් එවැනි කටයුතු සඳහා නව්‍ය ක්‍රමවේදයන් සහ නවීන තාක්‍ෂණය භාවිතා කර තිබීම අගය කළ යුතුය. එවැනි ක්‍රමවේද වෙනත් අධිකරණවල ද අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.
කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ප්‍රවාහන දුෂ්කරතා ඇතිවිය හැකි අතර, වසංගත තත්ත්වය මධ්‍යයේ සිය කාර්යයන් ඉටු කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන පරිදි, නම් කරන ලද අධිකරණ කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කළ යුතු යැයි අපි යෝජනා කරමු.
උසාවිවල වැඩ කටයුතු සිදු කිරීම සඳහා හැකි තාක් දුරට වීඩියෝ/මාර්ගගත තාක්ෂණය භාවිතා කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.”
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ සහ එහි ලේකම් ජනාධිපති නීතිඥ රජිව් අමරසූරිය මහතාගේ අත්සනින් යුතුව යවා ඇති මෙම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් වන විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ විනිසුරු සිසිර ද ආබෘ යන මහත්වරුන්ටත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාටත් යවා තිබේ.
Previous articleමාස්ක් එක බිම වැටුණා ; හිතාමතා වරදක් කළේ නෑ
Next articleදින 408කට පසු හිජාස්ට මව සමඟ කතා කරන්න අවස්ථාව 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here