මාස්ක් එක බිම වැටුණා ; හිතාමතා වරදක් කළේ නෑ

ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණ රහිතව සිටිමින් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත හා ඒ ආශ්‍රිත නියෝග කඩ කළැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අලුත්ගම දර්ගා නගරයේ පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දුන්නේ වසංගතයක් අවස්ථාවේ ඔහු මුව ආවරණ නැතිව සිටිමින් වැරදි පූර්වාදර්ශයක් දී ඇති බවයි.

හදිසි සිදුවීමක්

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතීඥ අනුෂා ජයලත් මහත්මිය පෙනී සිටියාය.
නීතීඥවරිය අධිකරණ්‍යට දැනුම් දුන්නේ සැකකරු හිතාමතා වරදක් කර නැති බවයි. මුහුණු ආවරණ නැතිව වෙළෙඳසැලට යා නොහැකි බවත්, මෙම පුද්ගලයා ද මුහුණු ආවරණ සහිතව වෙළෙඳසැලට ගොස් බඩු රැගෙන එද්දී මුහුණු ආවරණය බිම වැටී ඇති බවත් නීතීඥවරිය දැනුම් දුන්නාය. ඔහු බිම වැටුණු මුහුණු ආවරණය අතට ගෙන පාරෙන් අනිත් පස ඇති කඩයකින් මුහුණු ආවරණයක් මිලදී ගැනීමට සිටිය දී මෙම ඡායාරූප ගෙන ඇති බවත්, සමාජ මාධ්‍යවල පළවූ ඡායාරූපවල ඔහුගේ අතේ මුහුණු ආවරණය තිබෙන අයුරු පෙනෙන බවත් නීතීඥවරිය ඡායාරූපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.

වෙනස් කොට සැලකීම

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු විල්බැරෝවකින් බඩු රැගෙන යන අයුරු සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල පලවීමෙන් පසුවය. මුහුණු ආවරණ නැතිව ප්‍රසිද්ධ රැස්වීම්වල සිටි පිරිස්වල ඡායාරූප පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යවල ද පළ විය. නමුත් ඔවුන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වූයේ නැත.
ප්‍රසිද්ධ චරිතවලට නීතිය ක්‍රියාත්මක නොකර සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම වෙනස් කොට සැලකීමක් බව ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් MediaLK වෙත ප්‍රකාශ කළේය.
‘හැමෝම නීතියට අනුව ජීවත් විය යුතුයි. පොලිසිය භාර ඇමැතිවරයා උත්සවයක් වෙලාවෙ මාස්ක් නැතුව හිටියා. ඔහුගේ අතේ මාස්ක් එක තිබ්බා. පාර්ලිමේන්තුව ඇතුළේ මාස්ක් නැතුව මන්ත්‍රීවරුන් ඉන්නවා දැක්කා. උත්සවවල දේශපාලනඥයන් මාස්ක් නැතුව ඉන්නවා. හැබැයි ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. අහිංසක මනුස්සයෙක් මාස්ක් එක නැතුව හිටියොත් ඔහුට නීතිය ක්‍රියාත්මක කරනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ඇත්තටම මාස්ක් එක නැති නිසා ද, නැතිනම් විල්බැරෝවෙන් භාණ්ඩ ගෙනිච්ච නිසාද කියලා ප්‍රශ්නයක්. ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණ නිසා මිනිස්සු අපහසුතාවට පත්වෙන විදිහ කියන්න බොහෝ දෙනෙක් සමාජමාධ්‍යවල මේ ඡායාරූපය පල කරලා තිබුණා. ඉතින් ඔහු අත්අඩංගුවට ගන්න ඇත්ත හේතුව එය වෙන්න පුලුවන්. පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න කලින් විමර්ශනයක් කළ යුතුයි. මේ පුද්ගලයා මාස්ක් එක නැතුව හිටියේ ඇයි කියලා හොයලා බලන්නේ නැතුව එක පාරට ඔහු අත්අඩංගුවට ගන්න බෑ. නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුයි.’ යැයි ද එම නීතීඥවරයා ප්‍රකාශ කළේය.
Previous articleනිලධාරීන් ඉන්නේ මහජන නියෝජිතයන් යටතේ – මන්ත්‍රී රහීම්
Next articleසීමා මැද අධිකරණ වැඩ කරන හැටි ගැන නීතිඥ සංගමයෙන් යෝජනා

1 COMMENT

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here