ඡන්දෙට කලින් නොමිලේ : දැන් සල්ලි දීලවත් යන්න බස් දෙන්නෙ නෑ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

(නිලූක සඳුන් පද්මසිරි)
සෞඛ්‍ය සේවකයන් ප‍්‍රවාහනයට ප‍්‍රමාණවත් පහසුකම් ලබා දී නැතැයි ද, ලබාදෙන ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට මුදල් අය කරන බව ද ප්‍රවාහනයේදී නිරෝධායන නීති හෝ සමාජ දුරස්ථභාවය කඩකරන බව ද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ.
නිරෝධායන නීති කඩකරමින් එක් බස් රථයක සෞඛ්‍ය සේවකයන් 70-80ක් ප්‍රවාහනය කළ ද, පොලිසිය එවැනි බස් රථ දුටුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නේ නැතැයි ද උන්වහන්සේ පෙන්වා දෙයි.
ඇතැම් අවස්ථාවලදී ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට පැය හතර-පහ සිටීමට සේවකයන්ට සිදුවන බව ද, අනෙක් රාජ්‍ය නිලධාරීන්ට සතියට දින දෙකක් නිවාඩු ලැබුණද සෞඛ්‍ය සේවකයන්ට දිනපතා වැඩ කිරීමට සිදු වී ඇති තත්ත්වයකදී වුවද මෙසේ ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා ඔවුන්⁣  නිවෙස්වලට යන විට රාත්‍රී 10-11 පමණ වන බව ද සුගතානන්ද හිමියෝ කීහ.
කණිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් ඇතුළුව සමස්ත සෞඛ්‍ය සේවකයන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් MediaLK සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළකළේය.
එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…
සෞඛ්‍ය සේවකයන්ට ගෙදර යන්න හෝ සේවයට පැමිණෙන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නෑ කියලා වාර්තා වෙනවා. මොකක්ද ඒකෙ ඇත්ත… ?
කොවිඩ් පටන් ගත්තට පස්සේ මුල් වෙලාවේ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් දුන්නා. යන්න -එන්න කිසිම විදිහක් නැහැනේ. හොස්පිට්ල්වල කොවිඩ් වාට්ටුත් තියෙන නිසා මහජනතාවත් එක්ක යන්න බෑනෙ.  එයාලට යන්න වෙනම විදිහක් තමා තිබුණේ. ඡන්දයට කලින් ප්‍රවාහන පහසුකම් දුන්නා නොමිලේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලංගමට දැනුම් දීලා නොමිලේ කළා. දැන් වෙලා තියෙන දේ තමයි දාලා තිබුණු සමහර බස් නෑ. එතකොට දැන් කට්ටිය සවස එක-එක වෙලාවටනෙ වැඩ ඉවර වෙන්නේ.  1.30, 5.00 වගේ. එතකොට යන්න අවශ්‍ය වෙලාවට නියමිත ප්‍රමාණයට බස් දාන්නේ නෑ. පැය තුන-හතර ඉන්න වෙනවා.
අනෙක චක්‍රලේඛයක් ගැහුවනේ රාජ්‍ය පරිපාලන එකෙන්, සතියට දවස් දෙකක් රාජ්‍ය සේවකයන්ට නිවාඩු දෙන්න කියලා. නමුත් මේ අයට ඒ නිවාඩු ලැබෙන්නේ නෑ. හැමදාම වැඩට එන්න වෙන එකක් තියෙන්නේ. ගෙදර යනකොට රෑ 10-11 වෙනවා. ආපහු උදේම එන්න වෙනවා. එතකොට ප්‍රමාණවත් විදිහට බස් රථ නෑ.
මේ ගැටළුව වැඩියෙන්ම තියෙන්නෙ මොන වගේ ප්‍රදේශවල ද…?
ජාතික රෝහල, කළුබෝවිල රෝහල, රිජ්වේ ආර්යා එක, රත්නපුර වගේ තමයි ලොකුවටම තියෙන්නේ. ප්‍රවාහන පහසුකම් නැති වුණාම ඒ අයට යන්න-එන්න විදිහක් නෑ. පෞද්ගලික වාහනත් නෑනේ. ඒක තමයි මූලිකම ප්‍රශ්නය. රෝහල් අධ්‍යක්ෂලා එක්ක කතා කළත් වැඩක් නෑ. මොකද එයාලා කිව්වට ලංගමෙන් එවන්නේ නෑ. මොකද ගෙවීමක් කරන්නේ නැති නිසා.
තියෙන බස්වලත් ටිකට් අරන් ද දැන් යන්න ඕනෙ ?
ගෙවීමක් කරලා තමයි යන්න වෙන්නේ. දැන් ටිකක් අමාරුයි. මොකද වෙනදා සීසන් ටිකට්වලින් යන අයනේ. කලින් ගිය වියදමට වඩා තුන්-හතර ගුණයක් දැන් මේ විදිහට යන්න වැයවෙනවා. කට්ටියට අමාරු වෙලා තියෙන්නේ ඒ නිසා. කළුබෝවිලත් විරෝධතාවක් තිබුණා ඒකට.
මේ විදිහට ලැබෙන බස්වල තත්ත්වය කොහොමද…?
සාමාන්‍යයෙන් එක බස් එකක 70-80ක් යනවා. පොලිසියෙන් නවත්වන්නෙත් නෑ. ඒක එයාලා දැනුවත්ව තමයි කෙරෙන්නේ.
බලධාරීන් දැනුවත් කළාද … ?
ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දුන්නා. ඊට කලින් අමාත්‍යාංශයයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි දැනුවත් කළා. තාම විසඳුමක් නෑ. කළුබෝවිලත් විරෝධතාවක් තිබුණා මේකට. අධ්‍යක්ෂ එක්ක සාකච්ඡාවක් තිබුණා. බස් එකක් දෙනවා කිව්වා. නමුත් දීලා තිබුණේ නෑ. පහේ ඉඳලා හත වෙනකම් ඉන්න වුණා යන්න.
සෞඛ්‍ය සේවකයන්ට මේ වෙනකොට තියෙන අනෙකුත් අමතර ගැටළු මොනවද…?
ආදේශක සේවකයන්ගේ ගැටළුව තමයි, ප්‍රධාන වශයෙන් තියෙන්නේ. දින 180 සම්පූර්ණ කළ සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන් ස්ථීර කරගැනීමේ ගැටළුව. දෙදහස් පන්සිය ගාණක් ඉන්නවා. සෞඛ්‍ය සේවකයනුත් පොසිටිව් වෙනවනෙ. ඒ අයට මොකක් හරි අනතුරක් වුණොත් ගෙවීමක් කෙරෙන්නේ නෑ ඒ අය ස්ථීර නොවන නිසා. පොසිටිව් රෝගීන් එක්ක හිටියාම ඒ අය දවස් 14ක් නිරෝධායනයට දාන⁣වනෙ. ඒ දවස් 14ට ගෙවන්නේ නෑ. අනෙක ගැබිණි සේවකයන්ට ගෙවන්නෙත් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ඊළඟ කාරණය තමයි පීසීආර් කරනවනෙ. පීසීආර් කරලා ගෙවල්වල හරි, බෝඩින්වල හරි යන්න බෑනෙ. ප්‍රශ්නයක් නිසානෙ පීසිආර් කරන්නේ. පීසිආර් කරලා බෝඩින්වලට හරි ගෙදර හරි යන්න කියනවා. සමහර තැන්වල පීසීආර් කරලා ඉන්නකොට වාට්ටුව වැඩ කරනවා. මොණරාගල එහෙම සිද්ධියක් වාර්තා වුණා. එයාලා පීසිආර් එක කරලා රිපෝට් එනකම් හොස්පිට්ල් එකේ වැඩ. එතකොට අතැන එයාලා එක්ක වැඩ කරපු ඔක්කොම අය නිරෝධායනය කරන්න වෙනවා. රාගමත් 19 වාට්ටුවේ එහෙම සිද්ධියක් වෙලා කට්ටියම පොසිටිව් වුණා. එයාලට අන්තර්කාලීනව රැඳී ඉන්න තැනක් දෙන්න කියලා අපි දිගටම කිව්වා. චක්‍රලේඛයක් නම් ගැහුවා. ඒත් එකට අවශ්‍ය දැනුවත්වීමක් හොස්පිට්ල්වල වෙලා නෑ.
කණිෂ්ඨ සේවකයන්ට එන්නත්කරණය නිසි පරිදි සිදුවෙලාද තියෙන්නෙ… ?
එන්නත දීලා තියෙන්නෙ. නමුත් හැමෝටම දීලා නෑ. මුලින්ම දුන්නේ සෞඛ්‍ය සේවකයන්ටනෙ. එන්නත ගැන ලොකු සාකච්ඡාවක් එවෙලේ තිබු⁣ණේ නැති නිසා ලොකු ප්‍රමාණයක් එන්නත ගත්‌තෙ නෑ. ඇස්ට්‍රාසෙනෙකා ගත්ත පළවෙනි කණ්ඩායමට දෙවැනි මාත්‍රාව දෙද්දි ප්‍රමාණය අනුව ප්‍රශ්නයක් ආවනෙ. ඒ නිසා ඇමතිලාට සහ ඕවට සම්බන්ධ නිලධාරීන් මැදිහත් වෙලා තමයි මුලින්ම පුද්ගලික හිතවත්කම් මත තමයි එන්නත්කරණය වුණේ සෞඛ්‍ය සේවකයන්ට දෙනවා කිව්ව⁣ට. කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා දෙවැනි මාත්‍රාව ගත්තෙ නැති සහ සයිනෝෆාම් පළමු අදියරේදී හම්බ වුණේ නැති.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින්…
‘කොවිඩ් වසංගත තත්ත්වය ඉතා සීඝ‍්‍රයෙන් පැතිර යන මේ මොහොතේ සංචරණ සීමා පනවා ඇති බවත් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත් ඔබතුමා දන්නවා ඇතැයි අපි සිතමු.
එසේ වුවද සෞඛ්‍ය සේවකයන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හෝ ලබාදීමට ඔබ රජය අසමත් වීම නිසා මේ වන විට ගැටළු ගණනාවක් මතුවී ඇත.
මේ ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළද, ඉන් කිසිදු ඵලක් නැත. සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටළු සම්බන්ධයෙන් ඔබතුමාව මීට පෙරත් දැනුවත් කළද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් ඉටුවී නැත.
විශේෂයෙන්ම මේ වන විට සෞඛ්‍ය සේවකයන් ප‍්‍රවාහනය කිරීමේදී ගැටළු ගණනාවක් මතුවී ඇත. එහිදී ප‍්‍රමාණවත් බස් රථ ප්‍රමාණයක් නියමිත වෙලාවට නොයෙදීම මූලික ම ගැටළුව බවට පත්වී ඇත. සේවකයන් විරෝධතා දක්වන තැනට මෙම ප‍්‍රශ්නය විශාල වී ඇත. ප‍්‍රවාහනය කිරීමේදී ද සියලු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම ක‍්‍රියාව සිදුකරනු ලබන්නේ ඇතැම් බස්රථවල සේවකයන් 70- 80 ප‍්‍රවාහනය කරමිනි. පොලිසිය මේ පිළිබඳව දැනුවත් වුවද, ඔවුන්ද ඊට ඉඩ ලබාදෙන්නේ රජය ඒ සඳහා එකඟ බව පෙන්වීමට බව අපගේ අදහසයි. තවද මැතිවරණවලට පූර්වයෙන් මෙම ප‍්‍රවාහන ක‍්‍රියාලිය සිදු කරනු ලැබුවේ නොමිලයේ ය. එහෙත් දැන් සෞඛ්‍ය සේවකයන් මුදල් ගෙවා ප‍්‍රවාහන පහසුකම් ලබාගත යුතුය. එසේ කිරීමට සේවකයන්ට විශාල මුදලක් වැය වේ.
සෞඛ්‍ය සේවාවට වෙන්කරන මුදල් ප‍්‍රතිපාදන ඔබ රජය විසින් කපාදැමීම මීට හේතුව වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ලංගමට මුදල් නොගෙවීම නිසා මෙම මුදල් සේවකයන්ට ගෙවීමට සිදුව ඇත. ඡන්දයට පෙර ජනතාව රැවටීම සඳහා නොමිලේ ප‍්‍රවාහන පහසුකම් ලබාදුන් බව සේවකයන්ගේ අදහසයි. වැටුප් වැඩිකිරීම් සිදු නොකර, සියලු බර සෞඛ්‍ය සේවකයන්ගේ කරපිට දැමීම කොතරම් නම් පහත් තත්ත්වයක් ද?
කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ මෙන්ම සෞඛ්‍ය සේවකයන් තුළ ද ඇත්තේ දැඩි කළකිරීමකි. මෙම තත්ත්වය වෙනස්කිරීමට මැදිහත් නොවුණහොත්, සෞඛ්‍ය සේවාව කඩාවැටීම නැවැත්විය නොහැක. එබැවින් ප‍්‍රවාහන ගැටළුව විසඳීමට කඩිනමින් මැදිහත් වන ලෙසත්, ඒ සඳහා මුදල් අයකිරීම සෞඛ්‍ය සේවකයන්ගෙන් නොකරන ලෙසත් මතක් කරන අතර, රජය රටේ ජනතාව හා සෞඛ්‍ය සේවකයන් පිළිබඳව වගකීමක් නැතිව කටයුතු කරන්නේ නම්, සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති ලෙස අපට අකමැත්තෙන් වුවද, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මෙයින් දන්වා සිටිමු.’
Previous articleපරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු සභාපති ප්‍රශ්න කරයි !
Next articleභාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here