පරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු සභාපති ප්‍රශ්න කරයි !

ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, මෙය බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ අදාළ රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරන පරිපාලන සංගම් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බරපතළ ගැටළුවක් බව ද ඔහු සඳහන් කළේය. ජාතික විද්වත් සංවිධානය විසින් අද (23) පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යංශ ලේකම්වරයා මෙසේ ද පැවසීය.
‘මේ වෙලාවෙ මතුවෙලා තියෙන වාතාවරණය යටතේ මම කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයා වශයෙන්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු විදිහට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වැඩකරන චමිල ජයසිංහ මහත්මයා හදිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත්තා. ඊට කලින් වෙනත් හේතු ගණනාවකුත් තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනෙක් ඒ මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා මීට මාස කිහිපයකට ඉස්සර සමාජ මාධ්‍ය ජාලයේ පළකරපු පෝස්ටුවක් වෙනත් අය එක්ක ෂෙයා කරගැනීම ගැන ප‍්‍රශ්න කරලා තිබුණා. මේ පෝස්ට් එක නිසා රාජ්‍ය නිලධාරියෙක් විදිහට රජය අපහසුතාවකට පත් කරනවා කියන චෝදනාවට තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තිබුණෙ.

බරපතළ අනතුරු ඇඟවීමක්

මේක රාජ්‍ය නිලධාරීන්ට බරපතළ අනතුරු ඇඟවීමක් කරනවා. රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිට විශාල තර්ජනයක් මතුවී තියෙන බව පැහැදිලියි. ස්වාධීනව රාජ්‍ය නිලධාරියෙක් වැඩකරනවා නම් හෝ යම් විවේචනාත්මක අදහසක් පළකරනවා නම් හෝ රාජකාරි ජීවිතයට පමණක් නොව පෞද්ගලික ජීවිතයට පවා බලපෑම් එල්ල කෙරෙන බව මෙයින් පැහැදිලි වෙනවා. මීට සමාන්තරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහත්මයා සෞඛ්‍ය අංශයේ සියලුමදෙනාට මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීම තහනම් කරලා චක‍්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා.
මේ චක‍්‍රලේඛය පළාත් සභාවල වැඩකරන සෞඛ්‍යයට සම්බන්ධ නිලධාරීන්ටත් අදාළ විදිහට නිකුත් කරලා වැරැද්දකුත් කරලා තිබුණා. මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට මේක බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අයිතියක් අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ චක‍්‍රලේඛයකින් උල්ලංඝනය කරන්න බැහැ කියලා මෙතැනදි තර්ක ඉදිරිපත් වුණා.

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ද?

මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිද්‍රාවක සිටීම අපිට බරපතළ ප‍්‍රශ්නයක්. පරිපාලන සේවා සංගමය තමන්ගේ සාමාජිකයන් 2800ක් විතර වෙනුවෙන් ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්න  ඕනෙ. නමුත් ඒ ගැන ඔවුන් කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. ඇතැම් නිලධාරීන් පෞද්ගලිකව මැදිහත් වුණත් සංගමයක් විදිහට ඉදිරිපත් වුණේ නැහැ. මේ තත්ත්වයට විරුද්ධව අදහස් දැක්වූවොත් තමන්ගේ පැවැත්මට බාධාවක් වෙයි කියලා කල්පනා කළොත් ලංකාවේ පරිපාලන සේවය කණගාටුදායක තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. රාජ්‍ය සේවය කියන්නේ බලයට පත්වෙන ආණ්ඩුවලට මෙහෙයවන්න පුළුවන් සේවයක් නෙමෙයි. ඉන්දියාවේ සිවිල් සේවාව නිදහසින් පසුවත් ඒ විදිහටම පවත්වාගෙන යන්න කියලා ශ්‍රී නේරු අගමැතිවරයා කීවා. ලංකාවේ දේශපාලනඥයො ඔවුන්ට අවශ්‍ය විදිහට මැදිහත්වීම් කරන්න පටන් ගත්තා. මේ තත්ත්වයන්ට විරුද්ධව පරිපාලන නිලධාරීන් විතරක් නෙමෙයි, සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න ඕනෙ.’

‘මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා’

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කළේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කහවුරු කෙරෙන නඩු තීන්දු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති බවයි. ඒ මහතා එහිදී මෙසේ ද පැවසීය.
‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදීලා තියෙන අයිතිවාසිකම් ප‍්‍රමාණයක් තියෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකැස්ම ඇති කරන්නේ මේ මූලික අයිතිවාසිකම්වලින්. භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස මේ රටේ සෑම පුරවැසියෙකුටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14-1(ආ) ව්‍යවස්ථාව යටතේ තහවුරු කරලා දීලා තියෙනවා. පහුගිය කාලයේ සිදු කළ සමහර අත්අඩංගුවට ගැනීම් තුළින් භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස අවහිර කරන්න ආණ්ඩුව ක්‍රියාකරන බව පැහැදිලි වෙනවා. මීට ආසන්නම උදාහරණය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණි වෙලාවේ මාර්ගය වසාතිබීමට විරුද්ධව හෝන් ගැහීම නිසා තරුණයෙක් අත්අඩංගුවට ගැනීම.

අගමැතිගේ නලා පිඹීම

මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන නඩු තීන්දුවක් පවා තියෙනවා. ජන ඝෝෂා නඩු තීන්දුව කියලා හඳුන්වන්නේ ඒක. මේ තීන්දුව මතක් වෙන්නේ වර්තමාන අගමැතිතුමා නලාවක් පිඹින ඡායාරූපයෙන්. හ්‍රේෂ්ඨාධිකරණයේ මාක් ප‍්‍රනාන්දු විනිශ්චයකාරතුමා එම නඩු තීන්දුවේදී පැහැදිලි ප‍්‍රකාශයක් කරලා තියෙනවා. ‘රාජ්‍යය වර්ණනා කිරීම මෙන්ම රාජ්‍යය විවේචනය කිරිමේ අයිතියත් පුරවැසියන්ට තියෙනවා’ කියලා. මේ අනුව රටේ පුරවැසියන්ට තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංගයක් ලෙසත් මෙය හඳුන්වා දී තියෙනවා. අමරතුංග එදිරිව සිරිමල් කියලා හඳුන්වන්නෙ මේ නඩුව.

120 වගන්තියෙන් කියන්නේ කුමක්ද ?

ඕනෑම ආකාරයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකැස්ම තුළ විරෝධය නගන්න පුළුවන්. පොලීසිය විසින් කඩකරන්නේ ඒ මූලික අයිතිය. ඒ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම තුළ පමණයි, සමාජයක, පුද්ගලයෙකුගේ සහ මුළු සමාජ දේහයේම පැවැත්ම රඳාපවතින්නේ. මේ අයිතිවාසිකම් එහෙම පිටින්ම පැත්තකට කරන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ. දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වගන්තිය යටතේ රාජ්‍යයට විරුද්ධව කටයුතු කිරීම කියලා අත්අඩංගුවට ගන්නවා. 120 වගන්තියේ තියෙන්නේ ‘කතා කරනු ලබන හෝ කියවීමට අදහස් කරනු ලබන වචනයකින් හෝ සංඥාවකින් හෝ දැකිය හැකි නිරූපණවලින් ලංකාණ්ඩුවට විරුද්ධත්වය දක්වන හැඟීම් ඇවිස්සුවහොත් හෝ ඇවිස්සීමට තැත් කළහොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමට වෛරයක් හෝ අගෞරවයක් ඇති කිරීමට තැත් කළහොත් හෝ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් හෝ අන් ලෙසකින් ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්.’

‘එරෙහි වීම අයිතියක්’

අපි කරන මේ පුවත්පත් සාකච්ඡාවත් 120 වගන්තිය ඇතුළට දාන්න පුළුවන්. මේ වගන්තිය හරියට අර්ථ නිරූපණය නොකර, පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, විරෝධතා දැක්වීම, ලිපියක් ලිවීම වගේ දේවලුත් ගන්න පුළුවන්. හැබැයි මේ වගන්ති ඒ විදිහට පාවිච්චි කරන්න පොලීසියට හැකියාවක් නැහැ. ජන ඝෝෂා නඩුවේදී පොලීසියේ අත්අඩංගුවට ගැනීම ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. 120 වගන්තිය පොලීසියට ඕනෑ විදිහට එහෙට-මෙහෙට නවන්න බැහැ. රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න  ඕනෑ. අත්තනෝමතික විදිහට නීතියේ යම් කොටසක් පාවිච්චි කරමින් ආණ්ඩුවට තියෙන විරෝධය මැඩපවත්වන්න උත්සාහ කරනවා නම්, ඊට එරෙහි වෙන්න අයිතියක් තියෙනවා.’
Previous articleහමුදාපතිගේ බොරුවේ පදනම පැහැදිලි නෑ : අපි කියන්න ඕන හැමතැනටම කියලා තියෙන්නෙ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
Next articleඡන්දෙට කලින් නොමිලේ : දැන් සල්ලි දීලවත් යන්න බස් දෙන්නෙ නෑ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here