හමුදාපතිගේ බොරුවේ පදනම පැහැදිලි නෑ : අපි කියන්න ඕන හැමතැනටම කියලා තියෙන්නෙ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(නිලූක සඳුන් පද්මසිරි)
රට වහන ලෙස හෝ ඒ හා සම්බන්ධ තීරණ වෛද්‍ය සංගම් මාධ්‍ය හමුවේ පැවසුවද, එම යෝජනා ජනාධිපතිවරයාට හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට දැනුම් දී නොමැති බවට ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා කරන ලද ප්‍රකාශ අසත්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හරියාකාරව දැනුම් දී ඇති බවත්, රජය ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් ය.
එසේ තිබියදී මෙලෙස දැනුම් දී නොමැති බවට කරන ලද ප්‍රකාශය කුමන පදනමකින් කරන ලද්දේද යන්න පැහැදිලි නොමැති බවද, ඒ සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවලදී සාකච්ඡා වූ බවද ඔහු සඳහන් කළේය. රට වැසීම හෝ වසන ආකාරය කියා නැතැයි කවුරුන් හෝ පවසන්නේ නම් එය වැරදි බව ද වෛද්‍යවරයා කීවේය.
වසංගත පැතිරීම පාලනය සඳහා අවම වශයෙන් දින 14ක්වත් රට වසා දමන්නැයි ප්‍රධාන වෛද්‍ය සංගම් කිහිපයක් එක්ව ඉකුත් 21 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කළ අතර, එය රටේ කතාබහට ලක්වූ මාධ්‍ය හමුවක් විය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව ඒකාබද්ධව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

හමුදාපතිවරයාගේ ප්‍රකාශය

මේ සම්බන්ධයෙන් හමුදාපතිවරයා ඉකුත් 22 වැනිදා මාධ්‍යයට මෙසේ සඳහන් කර තිබිණි.
‘දැන් ඊයේ අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිවම මේ ගැන දැනුම්වත් කිරීමක් කළා. මේ ආකාරයට ජනතාව ඉදිරියේ කතා කරන අය කාර්යසාධක බලකායට සහභාගි වෙනවා. මේ ආකාරයට රැස්වීම්වල කියන බොහෝ සංගමුත් විශේෂයෙන්රටේ විශේෂඥ වෛද්‍ය සංගම් කාර්යසාධක බලකායට ගෙන්නගන්නවා. එහිදී ඔය යෝජනා පැමිණෙන්නේ නැති එක අපිටත් ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී කියන්නේ නැති දෙයක් සවස ප්‍රවෘත්තිවලින් පෙන්වනවා.
ඊයේ රැස්වීමේදී පැහැදිලිව කිව්වා ජනාධිපතිට කියන්න. කාර්යසාධක රැස්වීමේදී මට කියන්න කියලා. ජනාධිපතිතුමාම කිව්වා ඇයි මට කියන්නැතිව එළියේ ගිහින් කියන්නේ කියලා. එළියේ කිව්ව කියලා මොනවද කරන්න පුළුවන් මෙතැන කතා කරන්නේ නැතිව කියලා.. ‘

ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද?

ඉකුත් 21 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
‘රජයේ නිලධාරීන් සහ වගකිවයුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත්කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමන්ට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.
මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිතුමා, ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.’
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සමග කළ සම්පුර්ණ සංවාදය පහතින්..
දින 14කට රට වහන්න ඕනෙ කියලා සහ ඒ අදාළ තීරණ ගත යුතු බවට වෛද්‍ය සංගම් මාධ්‍ය හමුවේ කිව්වත් ජනාධිපතිවරයා හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය හෝ දැනුවත් කළේ නෑ කියලා ජනාධිපතිවරයාත්, එම කාර්යසාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාත් ප්‍රකාශ කර තිබුණා. එහි සත්‍යතාවය මොකක්ද?
මෙහෙමයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ඒ වගේම අනෙකුත් තියෙන වෛද්‍ය සංගම් ඔක්කොම එකතු වෙලා විද්වත් මතයක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරයාට ලිඛිතව සියලුම දෙනාගේ අත්සනින් යුතුව බාරදුන්නා, මේ වෛරසය මැඩපැවැත්වීමට නම් දින 14ක් රටේ සංචරණ සීමා පැනවිය යුතුයි කියලා.
රට දින 14ක් වැසීමේ පදනම.. ?
ඒ දින 14 කියන එක ගත්තේ අපි නිකම් කටට ආවට නෙමෙයි. වෛරසය පැතිර යෑම වැළැක්වීමට incubation period කියලා කාලයක් තියෙනවා. දවස් 05-07 කාලයක්. එ් සම්පූර්ණ කාල දෙකක් වහලා තිබ්බොත් ඕනෑම පරිසරයක් ඇතුළේ සංචරණය වෙන්නේ නැත්නම් ඒ රෝගීන් ඒක ඇතුළෙම හැදිලා රෝගීන් බෝ වෙලා තව කෙනෙක්ට බෝ වෙන එක නවතිනවා. උදාහරණයක් විදිහට ඔයාගේ පවුලේ ඔයාට හැදිලා තිබ්බොත් එහෙම.. ඔයාගේ මල්ලිට හැදෙන්න පුළුවන් ආයෙත් දවස් පහකින්.. මල්ලිටත් දවස් පහකින් හැදිලා මල්ලිගෙන් ආපහු වෙන කෙනෙක්ට බෝ වෙන්නේ නැතිවෙන්න දවස් හතක් ගියොත් මුළු දවස් 14ක් ගියහම වෙන කෙනෙක්ට හැදෙන්නේ නෑ.. බෝ වෙන්නේ නෑ. ඒ නිසා තමයි සංචරණ සීමා පනවන්නේ. ඒ විද්‍යාත්මක පදනම මත තමයි දින 14ක් ගණනය කරන්නෙ.
වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ සියලුම ඒ පිළිබඳ ප්‍රවීණයෝ අතිගරු ජනාධිපතිතුමාට මේක ලිඛිතව බාරදුන්නා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා ඔය කියන සාකච්ඡාවල. කොහොමද රට වහන්නේ කියන එක ගැන. කවුරු හරි කියනවනම් වහන එක ගැන සහ වහන හැටි කියලා දීලා නෑ කියලා ඒ ප්‍රකාශය වැරදියි. ජනාධිපතිතුමාට ලිඛිතව දීලා තියෙන්නේ එක සංගමයක් නෙමෙයි නේ. සංගම් කිහිපයකින්ම සාමූහිකව දීලා තියෙනවානේ.. ඒ ලිපියට අනුව තමයි, ජනාධිපතිවරයා මේ දින කිහිපය සංචරණ සීමා පනවන්න කටයුතු කරලා තියෙන්නේ. එතකොට එතුමා නොදැනුවත්ව නෙමෙයි. ඉදිරියේදී මේ අඟහරුවාදා සංචරණය වළක්වන්න ඕනෙ කියන එකටත් දැන් රජයේ පාර්ශ්වය සහයෝගය ලබාදීලා තියෙනවා.
මේ ප්‍රකාශය කොයි අරමුණකින් කළාද කියන එක පැහැදිලි නෑ. කොහොම කිව්වත් දැනට අපි ඒ අවශ්‍ය දැනුම් දීම හරි ආකාරව කරලා තියෙනවා. ඒකට රජයෙන් ප්‍රතිචාරත් දක්වලා තියෙනවා.
ඒ ලියුම කවදද යැව්වේ.. ?
මේක කියන්න සතියකට කලින් වගේ තමයි අපි‍ යැව්වේ. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවකුත් තියලා අහවල් දිනයේ දීර්ඝ සති අන්තයත් එක්ක අපි රට වහලා දාමු කියලා තීරණය කළේ. ඒක නොදැනුවත්ව කරපු දෙයක් නෙමෙයි, ඒක පැහැදිලිවම විද්‍යාත්මක මතයක් උඩ කරපු දෙයක්.
Previous article(ලංකාව නොවේ) දැවැන්ත ආයෝජන ගනුදෙනුවක් අත්හිටුවයි – චීනයේ වෙනස් කොට සැලකීම්වලට විරෝධය !
Next articleපරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු සභාපති ප්‍රශ්න කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here