පාකිස්තානයෙන් හාල් ගෙන්වීම : කැබිනට් පත්‍රිකාවේ සහ කැබිනට් ප්‍රකාශකගේ කතාවේ පරස්පරතාවක්

(නිලුක සඳුන් බණ්ඩාරනායක)

බාස්මතී සහල් ටොන් හයක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම තීරණය ගැනීමට හේතුව බාස්මතී සහල් මිලදී ගැනීමට මූල්‍යමය හැකියාව ඇති පුද්ගලයන්ට බාස්මතී සහල් ගැනීමට අවස්ථාව සැලසීම මගින් අනෙක් අයට ඇති ඉල්ලුම අඩුවන නිසා බව ඒ මහතා කීවේය.

ඒ මහතා මේ බව පැවසූවේ අද (13) කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා : පාකිස්තානයෙන් බාස්මතී සහල් ගෙන්වන්න තීරණයක් අරන් තියෙනවා කියලා කැබිනට් පත්‍රිකාවේ තියෙනවා. අපි දැකපු දෙයක් තමයි වෙළෙදපොළේ රුපියල් 110-115 අලෙවි වෙනවා. හැබැයි බාස්මතී සහල් කියන්නේ විශේෂ සහල් ජාතියක්. සාමාන්‍යයෙන් මිනිස්සු බාස්මතී සහල් ගන්නේ විශේෂ උත්සවයකදී වගේ. මොකද බාස්මතී සහල් ගන්න මුදල් වැඩියෙන් වියදම් වෙනවා.ඇයි මේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැතිව බාස්මතී සහල් ගෙන්වන්නේ. එහෙම නැත්නම් කැබිනට් එකේ තීරණයක් ගත්තද මේ සහල් හිගයට විසදුමක් දෙන්න කැබිනට් එකේ සාකච්ඡා වුණාද ඇමතිතුමා?

කෙහෙළිය රඹුක්වැල්ල : සහල් සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. සහල් ප්‍රශ්නයට පිළිතුරු දෙන්නත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මුල් කරගෙන සාකච්ඡා ගණනාවක් සහ විශාල කාලයක් වැය කළා මේ සම්බන්ධයෙන්. යම් තීන්දු ගන්නවා. ඒ සියල්ල දැන් කියන්න බෑ ඉදිරියේදී වැඩපිළිවෙලවල් ගණනාවත් ක්‍රියාත්මක කරනවා.

බාස්මතී සහල් සුළු ප්‍රමාණයක් ටොන් හයක් පමණයි ගෙන්වන්න තීන්දු වුණේ. යම් ප්‍රමාණයත් බාස්මතී ගන්න පුළුවන් අයට ගන්න දුන්නොත් අනික් අයට තියෙන ඉල්ලුම ටිකක් අඩුවෙනවා. ඒ පරමාර්ථයෙන් තමයි මේ තීරණය ගත්තේ. ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි ගෙන්වන්නේ.

නමුත් අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිකුත් කෙරුණු කැබිනට් මණ්ඩල තීරණ පත්‍රිකාවේ සඳහන් වෙන්නේ මෙම තීරණය ගැනීමට හේතුව වෙනත් එකකි.

එහි ඊට හේතුව ලෙස දැක්වෙන්නේ
පකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ විධිවිධාන අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් වාර්ෂිකව ආනයනය කිරීමට සඳහා පෞද්ගලික අංශයට මීට පෙර අවස්ථාව ලබා දුන්නද එහි අක්‍රමිකතා වන බවට පැමිණිලි ලැබී ඇති නිසා මෙවර එය රජය යටතේ පවතින සමාගම්වලට ලබා දෙන බවයි.

එහි මෙසේ සඳහන් වෙයි.

“පකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ විධිවිධාන අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් වාර්ෂිකව ආනයනය කිරීමට හැකියාව පවතී. පසුගිය කාලයේදී එම පහසුකම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ද අවසර ලබා දී තිබූ නමුත් නියමිත වර්ගයන්ට අයත් නොවන සහල් ආනයනය කරමින් විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ (නීතිගත) සංස්ථාව සහ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව/ ලංකා සතොස සමාගම යන ආයතන විසින් පමණක් එම පහසුකම යටතේ සහල් ආනයනය කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”

Previous article2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්
Next articleකිව්ව විදියට බස් නෑ : ගම්පහ උසස්පෙළ සිසුහු කිලෝමීටර් 10-12 පයින් යති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here