වරදක් කළා නම් මාව උසාවියට ඉදිරිපත් කරන්න – අත්අඩංගුවේ සිටින රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි !

වැරැද්දක් කර ඇත්නම්, තමන්ව නීතිපති දෙපාර්තමේන්තුවට හා උසාවියට ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ (18) පැවසීය.
වරදක් කර නොමැතිනම් මෙසේ තමාගෙන් පළිනොගෙන නිදහස් කරන්නැයි ද රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලා සිටියේය.
අප්‍රේල් 21 ත්‍රස්තවාදයට හෝ වෙනත් ත්‍රස්තවාදයකට තමා සම්බන්ධ බවට කිසිදු චෝදනාවක් එරෙහිව එල්ල වී නොමැති යැයි වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
‘වැරැද්දක් කරලා නැත්නම්..මම විපක්ෂයේ හිටියා කියලා තමුන්ලට තියෙන පීටීඒ බලය පාවිච්චි කරලා දවස් 22ක් මාව හතරවෙනි තට්ටුවේ තියාගෙන ඉන්න එක සාධාරණ නෑ කියලා’ යැයි ඔහු කීවේය.ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කළේය.
‘හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනාවල සත්‍යතාවක් නොමැති බව අපරාධ විමර්ශන දෙපාර්මේන්තුව විසින් ලිඛිතව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දී තිබෙනවා. ඒ ලියවිල්ල දැන් පබ්ලික් ඩොකියුමන්ට් එකක්. ඒක මම සභාගත කරනවා. ඒ වගේම වික්‍රමරත්න මහතා ලිපියකින් දැනුම් දීලා තියෙනවා අප්‍රේල් 21 ත්‍රස්තවාදය හෝ වෙනත් ත්‍රස්තවාදයකට සම්බන්ධ බවට හෝ කිසිදු චෝදනාවක් එල්ල වෙලා නෑ කියලා. දැන් ඉන්න අයිජීපී ඒ වෙලාවේ ලිඛිතව පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙනුත් මාව නිර්දෝෂී කරලා තියෙනකොට ඒ වගේම ජනාධිපති කොමිසම කිසිදු චෝදනාවක් එල්ල කරලා නැතිව තියෙන වෙලාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව දවස් 90ක් තියාගෙන ඉන්නවා. අද වෙනතුරු මාව උසාවියට ඉදිරිපත් කරලා නෑ. මං ගැන සීඅයිඩි එක තුන්පාරක් විභාග කළා. ඒ තුන්පාරම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට එවලා තියෙනවා. අද වෙනකම් නීතිපති දෙපාර්තමේන්තුව මාව අත්අඩංගුවට ගන්න කියලා කිසිම ඉල්ලීමක් සීඅයිඩී එකට කරලා නෑ.’

රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යයි පවසමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.
පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් පෙත්සම මගින් පවසා ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම සිය නිවසට කඩාවැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තමන්ව අත්අඩංගුවට ගත් බව ය
පෞද්ගලික සමාගමක් සමග පැවති සම්බන්ධතා පිළිබඳව ප්‍රශ්න කිරීමට අවශ්‍යව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බව ද රිෂාඩ් බදියුදීන් සිය පෙත්සමේ සඳහන් කරයි. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවද ඔහු පවසයි.
ඉන් අනතුරුව තම සොහොයුරා ද අත්අඩංගුවට ගැනුණු බව ඔහු කියා සිටී.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පෙත්සම මගින් අවධාරණය කර සිටියි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Previous articleචෝදනාව : මනුෂ්‍ය ඝාතනයක් වළක්වා නොගැනීම – පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග !
Next articleනවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න – සංවිධාන 13ක් ආණ්ඩුවෙන් ඉල්ලයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here