චෝදනාව : මනුෂ්‍ය ඝාතනයක් වළක්වා නොගැනීම – පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග !

සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලින් දැනුම් දී තිබියදී පොලිස්පතිවරයා විසින් ඊට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම මගින් නිලයේ වගකීම් පැහැර හැර ඇති බවත්, මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර-අනුබල දී ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බව ද එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා MediaLK වෙත පැවසීය.
මනුෂ්‍ය ඝාතනයක් වළක්වා ගැනීම සඳහා ඔහුට හැකියාව තිබූ බවත්, ඔහු එය නොසලකා හැර ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා, මෙවැනි නොසලකා හැරීම් බරපතළ ලෙස නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කරන බව ද පෙන්වා දුන්නේය.
ඊයේ (17) පොලිස්පතිවරයාට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තටයුතු කර තිබිණි. එමගින් කමිටුව පෙන්වා දෙන්නේ මෙවැනි කටයුතු නිසා පුරවැසියන් තුළ පොලිසිය සම්බන්ධයෙන් දැඩි අවිශ්වාසයක් ඇති වන බවයි. පුරවැසියන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාව ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ පැමිණිල්ල මගින් අවධාරණය කර ඇත.
කමිටුව විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ.
‘ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ අපරාධ විමර්ශකයා වශයෙන් පොලිසිය කටයුතු කරනු ලබයි. ඒ අනුව මෙකී අපරාධ විමර්ශන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව කරගෙන යෑම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත ඇතුළු අනෙකුත් ව්‍යවස්ථාපිත නීති මගින් ශ්‍රී ලංකා පොලිසියට බලය ලබාදී තිබේ. ඒ අනුව සිදුවීමට ඉඩ තිබෙන අපරාධයක් හෝ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් මුල් තොරතුරක් හෝ පැමිණිල්ලක් ලැබුණු විට එකී සිද්ධිය හෝ අදාළ තොරතුර සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉක්මනින් හා උද්යෝගයෙන් කටයුතු කළ යුතු වේ.
ඒ අනුව පසුගිය 2021.05.12 වැනි දින නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් පොලිස්පතිතුමා වෙත ලිපියකින් ඉල්ලා ඇත්තේ රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටින තාරක ධර්මකීර්ති විජේසේකර නමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි. …….. එසේ තිබියදී මෙකී සැකකරු එදින රාත්‍රියේදී මීරිගම ප්‍රදේශයේදී ඝාතනය වී ඇත.’
කෙසේ වෙතත් පොලිස්පතිවරයාට එරෙහිව කටයුතු කිරීමේ බලයක් ජාතික පොලිස් කොමිසමට පවරා නැත. ඒ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා එය අනුමත කළේය.
එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම ලිඛිතව දැනුවත් කිරීමේ අරමුණ වන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් සඳහා පොලිස් කොමිසම යොමුකරවීම බවත්, පොලිස්පතිවරයා හැර මීට සම්බන්ධ වූ අනෙකුත් පහළ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් කොමිසමට හැකියාව ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Previous articleවරාය නගර කෙටුම්පත : ව්‍යවස්ථාවට අනුකූල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය : වසංගතය තිබුණට රීති ප්‍රශ්නයක් නෑ – කතානායක
Next articleවරදක් කළා නම් මාව උසාවියට ඉදිරිපත් කරන්න – අත්අඩංගුවේ සිටින රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here