වරාය නගර කෙටුම්පත : ව්‍යවස්ථාවට අනුකූල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය : වසංගතය තිබුණට රීති ප්‍රශ්නයක් නෑ – කතානායක

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පතේ වගන්තිවල විධාන 20ක් සහ අතුරු විධාන 03ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව එම විධාන අතරින් විධාන 06ක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කිරීම මගින් පමණක් වලංගු ලෙස සම්මත කළ හැකි වන අතර, විධාන 14ක් සහ අතුරු විධාන 03ක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් මගින් පමණක් සම්මත කරගත හැකි වේ.
කෙසේ වෙතත් එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කතානායකවරයා කරුණු අටක් සඳහන් ක⁣ළේය.
එම කරුණු අට පහතින්…
1. පනත් කෙ⁣ටුම්පතේ 3(6), 30(3) දෙවැනි අතුරු විධානය, 55(2) සහ 58(1) හි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේහි විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣⁣⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සං⁣ශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
2. පනත් කෙටුම්පතේ 3(5) අතුරු විධානය, 3(7) ,6(1)(ආ), 30(3) පළමුවැනි අතුරු විධානය, 71(1) සහ 74(අර්ථ නිරූපණය “නියාමන අධිකාරිය” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
3. පනත් කෙටුම්පතේ 3(4), 6(1)(ද), 68(1) (ඊ) සහ 68(3)(අ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා සමග කියවිය යුතු 76 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සං⁣ශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
4. පනත් කෙ⁣ටුම්පතේ 52(5) සහ 71(2)(ජ) වගන්ති සමග කියවිය යුතු 52(3) වගන්තියේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4 සහ 76 ව්‍යවස්ථා සමග කියවිය යුතු 148 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣⁣⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
5. පනත් කෙටුම්පතේ 30(1),33(1), 40(2) සහ 71(2)(ඕ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (ඌ) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣⁣⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
6. පනත් කෙ⁣ටුම්පතේ 53(3)(ආ) වගන්තිය සමග කියවිය යුතු 53 (2) (ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣⁣⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
7. පනත් කෙටුම්පතේ 60(ඇ) සහ 60(ඊ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣⁣⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇත.
8. පනත් කෙටුම්පතේ 37 වැනි වගන්තියේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන අතර, එම විධිවිධාන වලංගු ලෙස සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ වි⁣⁣⁣ශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණි.
කෙසේ වෙතත් එකී බලයලත් තැනැත්තෙකු කොළඹ වරාය නගරයේ බල අධිකාරියට අයත් ප්‍රදේශයෙන් පිටත ව්‍යපාර කටයුතුවල නිරත වන විට, එකී බල ප්‍රදේශයෙන් පිටත, එහෙත් ශ්‍රී ලංකාවේ භුමි භාගය ඇතුළත නිරත වන ඒ හා සමාන ව්‍යාපාරවලට හානියක් සිදුවන ආකාරයෙන් මෙම පනත් කෙටුම්පත යටතේ ලබාදී ඇති මොනයම් හෝ නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් භාවිත කරනු ලැබීම වළක්වමින් 37 වැනි වගන්තියට අලුතින් උපවගන්තියක් එකතු කළහොත් එකී අනනුකූලතාව ඉවත් වනු ඇත.
පනතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවද කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

විවාදය හෙට සහ අනිද්ද

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළ විවාදයට ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සඳහන් කළේය.
මැයි 19 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 5.30 දක්වාත්, මැයි 20 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිත ය. මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්නොකෙරෙන බවද මහ ‍ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයනවා වගේ

කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ වසංගතයක් පවතින අවස්ථාවක මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම අ⁣ශෝභන බවයි.
ලක්ෂ්මන් කිරිඇල්ල – ගරු කතානායකතුමනි, අපි පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලීමක් කළා මේ වගේ වැදගත් පනතක් මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක ඉදිරිපත් කිරීම ඉතාමත් අ⁣ශෝභනයි කියලා. මේක අර රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ.
කතානායකවරයා – එතැන රීති ප්‍රශ්නයක් නෑනෙ. හරි, ඒක ඔබතුමාගේ මතය. (ඝෝෂාවන්) කරුණාකරලා කරදර කරන්න එපා. ඔබතුමාලා සභාව කඩාකප්පල් කරන්නයි උත්සාහ කරන්නේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – එතකොට දැන් අපිට දැනගන්නට ලැබුණා මේ පාර්ලිමේන්තුව තුළත් පසුගිය දවස් කිහිපය තුළ කොවිඩ් ආසාදිතයන් හිටිපු බව. මහලේකම්ගේ කාර්යාලය වසා දාලා තිබුණා. ඔබතුමාගේ කාර්යාලය වහලා තිබුණා. ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලය වහලා දාලා තිබුණා. ඉතින් මේ වගේ වසංගතයක් තියෙනකොට මේ වගේ පනතක් ඉදිරිපත් කිරීම හරිද ?
කතානායකවරයා – රීති පොතේ කොහෙවත් ඒක නෑ. බොහොම ස්තූතියි. ඔබතුමාගේ මතය ඔබතුමා ප්‍රකාශ කළා.

සහාය දෙන්නැයි අගමැති ඉල්ලයි

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් කැඳවා දැනුම් දී ඇත්තේ මෙය මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසා මේ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා පූර්ණ සහයෝගය දක්වන ලෙසයි.  විවාදය අවස්ථාවට නොපැමිණ සිටීමෙන් වළකින්නැයි ද අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබිණි.
එමෙන්ම එම අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම පනතේ ‘වැදගත්කම’ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරනවා

මෙම පනතේ ඇති ගැටළු සහිත තැන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් ඒ බව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරිණි.
Previous articleසැකකරුවන් ඝාතනය : නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ගැටළුවක් – මානව හිමිකම් කොමිසම
Next articleචෝදනාව : මනුෂ්‍ය ඝාතනයක් වළක්වා නොගැනීම – පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here