‘කොස්ගොඩ තාරක’ මරන්න කලින් පොලිස්පතිටත් දැනුම් දීලා : පොලිස් ඝාතන නීතිඥ සංගමය හෙළා දකී !

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වන දිනෙත් මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුදී ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව අවධාරණය කරයි.
ඊයේ (12) තාරක පෙරේරා විජේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ සිට හදිසියේම පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයකට මාරු කර ඇති බවත්, ඔහු අත්අඩංගුවේදී මරා දමනු ඇතැයි තාරක පෙරේරා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයෙකු ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දුන් බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘නීතිඥවරයාගේ පැමිණිල්ලට අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට 2021.05.12 වන දින පැය 20.00 ත් 21.00 ත් අතර igp@police.lk විද්‍යුත් ලිපිනය හරහා විද්‍යුත් තැපෑලෙන් ද, කෙටි පණිවුඩ හා වට්ස්ඇප් (whatsapp) මගින් ද එකී නීතිඥවරයාගේ සාධාරණ බිය සම්බන්ධයෙන් දැනුම්දෙන ලදි. තම භාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියේ සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට මෙහිදී අවධාරණය කරන ලදි. තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන ලදි’ යනුවෙන් එම සංගමය සඳහන් කරයි.
එම නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇතැයි එම සංගමය කියයි. එවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන් නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
එවැනි ක්‍රියාකාරකම්වලට සහාය වූ සහ අනුබල දුන් ජාලවලට එරෙහිව ද ඒ ආකාරයෙන්ම නඩු පවරා එම ජාලයන් මුලින් උපුටා දැමීම අපරාධ යුක්තියේ අත්‍යවශ්‍ය අංගයක් බවත්, බලය ඉක්මවා කටයුතු කිරීමකින් තොරව තමන් සමඟ කැටුව ගිය නිරායුධ සැකකරුවකු පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අපොහොසත් වීම නිසා ඉහත සඳහන් අවශ්‍යතාව පරාජය වන බවත්, තම අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට පොලිසියට අවස්ථා කිහිපයකදීම නොහැකි වී තිබීම තේරුම්ගත නොහැකි බවත් එම සංගමය ප්‍රකාශ කරයි.
මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්ෂණ ඇති බවත් සිය භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය පවසයි.
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
“තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද දැනුම්දීම් නොතකා, ජනමාධ්‍ය දැන් වාර්තා කර ඇත්තේ, තාරක විජේසේකර පෑලියගොඩ විශේෂ අපරාධ අංශයේ රඳවාගෙන සිටියදී සැකකරු සමඟ ආයුධ සොයා ගැනීමට යන අවස්ථාවේදී සැකකරු පොලීසියට පහරදීමට උත්සහ ගත් අවස්ථාවේදී ඝාතනය කර ඇති බවයි. මෙය සිදු වූයේ පොලිස්පතිවරයා ඇතුළු පොලීසියට සැකකරුගේ ආරක්ෂාව පිළිබඳව දැනුම් දී තිබූ අවස්ථාවක ය.
2021 මැයි 11 වන දින මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ නම් තවත් සැකකරුවෙකුගේ මරණයද මෙයට සමාන ආකාරයකින් සිදුවී ඇත. ඔහුගේ මරණයට පෙර ඔහු වෙනුවෙන් පොලීසිය වෙත නීතිඥ නියෝජනයක් කරන ලද බවටද අප වෙත දන්වා ඇත.
පුද්ගලයන්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයන්ට එරෙහි චෝදනාවල ස්වභාවය සහ ඒවායේ බැරෑරුම්කම නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලිසියට මෙන්ම රජයට අත්හළ නොහැකි වගකීමක් ඇති බව ද පෙන්වා දෙන නීතිඥ සංගමයේ විධායක කමිටුව, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය බරපතළ කනස්සල්ල පළකරන අතර, පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය තම අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හෙළා දකී.
මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත් එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2013 තරම් ඈත කාලයක සිටම පොලිස් භාරයේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉස්මතු කර ඇති අතර, අනාගතයේදී රාජ්‍ය බලධාරීන්ගේ පාර්ශ්වයෙන් මෙවැනිම අතපසු කිරීම් සහ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සියලුම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගන්නා බව ද අවධාරණය කර සිටිමු.”
Previous article‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය MediaLKට උත්තර දෙයි !
Next articleආණ්ඩුවේ අනීතික ඝාතන වහාම නවත්වන්න : මානව හිමිකම් සුරකින්න ජනතාව එක්විය යුතුයි – විපක්ෂ නායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here