‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය MediaLKට උත්තර දෙයි !

(නිලූක සඳුන් පද්මසිරි)
චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව බවට ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය නව ධුරයට අදාළ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශය කරමින් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ සයිනොෆාම් එන්නතට අනුමැතිය හිමි වූ බව ඔහු අවධාරණය කළේය.
මෙය අසත්‍යයක් බව පසුව අනාවරණය විය. මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව තහවුරු කළේය.
මෙම එන්නත හදිසි භාවිත ලැයිස්තුවට එක්ක⁣ර ඇත්තේ දීර්ඝ පරීක්ෂණ ක්‍රියාවලීන්ගෙන් අනතුරුව වන අතර, ජනාධිපතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සාකච්ඡාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිටත් එම එන්නත අදාළ ලැයිස්තුවට එක්කර අවසන් ය. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම තීරණය ගෙන ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ කණ්ඩායම් රැසක් පරීක්ෂණ සහ සායනික පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් ‘ජනපති සාකච්ඡා ඵල දරයි…- ‘සයිනොෆාම්’ එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ…’ යනුවෙන් වන නිවේදනය නිකුත් කරනු ලැබුවේ මැයි 07 වැනිදා ය.
07 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේ පළ වූ නිවේදනය

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව ඵල දරයි.
කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිතුමා සමඟ පැවසීය.
පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතාගේ ප්‍රසාදයට ලක්විය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.
මෙවරද, කොවිඩ් වෛරසය පැතිර යාම ඉතා ඉක්මනින් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළ කළේය.දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ගෝලීය වශයෙන් පවතී. මෙරටට ඇති එහි අවශ්‍යතාව එන්නත් මාත්‍රා ලක්ෂ 6කි. එම අවශ්‍යතාව සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.
සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබාදීමට හැකි වෙතැයි ටෙඩ්‍රොස් මහතා සඳහන් කළේය. අනුමැතියත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය
2021-05-07 “
නමුත් එම එන්නත හදිසි භාවිත ලැයිස්තුවට එක් කරනු ලැබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය නිකුත් කර ඇත්තේ ද 07 වැනිදා ම ය.
එම නි⁣වේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ පළ කර තිබූ ආකාරය…

මැයි 10 වැනිදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කළ අසත්‍ය ප්‍රකාශය

‘මේ අතර චීනයේ ‘සයිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.’

ලෝක සෞඛ්‍ය සංවිධානය අප වෙත කළ පැහැදිලි කිරීම

MediaLK – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ සාකච්ඡාවක් සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට බලපෑ බවට ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය සත්‍යයක් ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය – චීනයේ ජාතික ජෛව තාක්ෂණ සමූහයේ (China National Biotec Group) අනුබද්ධ සමාගමක් වන බීජිං ජෛව ආයතනයේ ජෛව නිෂ්පාදන සමාගම (Beijing Bio-Institute of Biological Products Co. Ltd) විසින් නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් කොවිඩ්-19 එන්නතට හදිසි භාවිත ලැයිස්තුවට (EUL) ඇතුළත් කරනු ලැබූවේ ස්වාධීන විශේෂඥයින්ගේ දැඩි හා දීර්ඝ සමාලෝචන හා ඇගයීම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි. (හදිසි භාවිත ලැයිස්තුගත කිරීම සඳහා තාක්ෂණික උපදේශක කණ්ඩායම [TAG-EUL] සහ WHO කණ්ඩායම්) පූර්ව විද්‍යාත්මක හා සායනික දත්ත, නිෂ්පාදන හා තත්ත්ව පාලන ක්‍රියාවලීන් ඇගයීම් මත මෙම තීරණය පදනම් වී තිබෙනවා.
MediaLK – ඒ කියන්නේ සයිනොෆාම් එන්නත අනුමත කිරීම සහ ඉහත සඳහන් කළ දුරකතන සංවාදය අතර කිසිදු සම්බන්ධයක් නැද්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය – ඔව් ඒක හරි.

මූලික සුදුසුකමක්

මෙම විශේෂ ක්‍රමවේදය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණක් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල නියාමන අධිකාරීන්ට සහ ප්‍රසම්පාදන ආයතනවලට යම් මගපෙන්වීමක් ලබාදීම ය. හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගත හැකි ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා යම් ක්‍රමවේදයක් තිබෙන අතර, එයට ඇතුළත් කළ පමණින් එම උපකරණය හෝ ආයතනය සම්පූර්ණ සුදුසුකමක් ලැබුවා සේ නොසැලකිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේඛනවල දැක්වේ. එය එක්තරා ආකාරයක මූලික සුදුසුකමක් පමණි.
එසේ ලැයිස්තුගත කිරීමට අයදුම් කරන ආයතන වරින්වර ලැයිස්තුවට ඇතුළත් කරන අතර, පසුව යම් අකටයුත්තක් හෝ වෙනත් එවැනි දෙයක් හෙළිවුවහොත් එය ලැයිස්තුවෙත් ඉවත් කිරීමටද හැකියාව පවතී. මෙම ලැයිස්තුව හුදෙක් හදිසි භාවිතයක් සඳහා රටකට ප්‍රසම්පාදන ක්‍රියාවලිය පහසු කිරීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය පහසු කිරීම පිණිස පමණක් වේ.
‘මෙම එන්නත එම ලැයිස්තුවට එකතු කිරීම මගින් සෞඛ්‍ය සේවකයන් සහ අවදානමට ලක්ව සිටින ජනතාව ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන රටවල් සඳහා COVID-19 එන්නත ලබාගැනීම වේගවත් කිරීමට හැකියාවක් ලැබේ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය නිෂ්පාදන සඳහා අනුමැතිය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාරියන්ගෙලා සිමෝ පැවසීය.
‘COVAX පහසුකමට සහභාගි වී වඩාත් සාධාරණව එන්නත් බෙදාහැරීමේ අරමුණට දායක වන ලෙස අපි නිෂ්පාදකයාගෙන් ඉල්ලා සිටිමු.’
එන්නත හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා සිදුවූ ක්‍රියාපටිපාටිය ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙසේ ය.
“ලෝක සෞඛ්‍ය සංවිධානය අද දින හදිසි භාවිතය සඳහා සයිනොෆාම් COVID-19 එන්නත හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කර ඇති අතර මෙමගින් එන්නත ගෝලීයව ව්‍යාප්ත කිරීමට කොළ එළියක් ලබාදෙයි.
සයිනොෆාම් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ ජාතික ජෛව තාක්ෂණ සමූහයේ (සීඑන්බීජී) අනුබද්ධිත බීජිං ජෛව නිෂ්පාදන ආයතනයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL) යනු COVAX පහසුකම් එන්නත සැපයීම සඳහා පූර්ව අවශ්‍යතාවකි.  COVID-19 එන්නත් ආනයනය කිරීම හා පරිපාලනය කිරීම සඳහා තමන්ගේම නියාමන අනුමැතිය කඩිනම් කිරීමට මෙමගින් රටවලට ඉඩදෙයි. කොවිඩ්-19 එන්නත්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව මෙන්ම අවදානම් කළමනාකරණ සැලසුම් සහ සීතල දාම අවශ්‍යතා වැනි යෝග්‍යතා මෙමගින් තක්සේරු කරයි.
හදිසි භාවිතය සඳහා එන්නතක් ලැයිස්තුගත කළ හැකිද සහ එසේ නම්, කුමන කොන්දේසි යටතේද යන්න පිළිබඳ ස්වාධීන නිර්දේශයක් සඳහා අවදානම් සහ ප්‍රතිලාභ තක්සේරු කිරීම භාරව ලොව පුරා සිටින නියාමන විශේෂඥයන් සහ තාක්ෂණික උපදේශක කණ්ඩායමක් (TAG) විසින් සැදුම්ලත් නිෂ්පාදන ඇගයීම් කණ්ඩායමක් විසින් මෙම තක්සේරුව සිදුකරනු ලැබේ. සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තක්සේරුවට නිෂ්පාදන පහසුකම් පිළිබඳ ස්ථානීය පරීක්ෂණ ඇතුළත් විය. WHO හි ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥයන්ගේ උපාය මාර්ගික උපදේශක කණ්ඩායම ද (SAGE) එන්නත පිළිබඳ සමාලෝචනය සම්පූර්ණ කර ඇත.
පවතින සියලු සාක්ෂි මත පදනම්ව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වයස අවුරුදු 18ට සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා එන්නත නිර්දේශ කරනු ලබන අතර, එය සති තුනක් හෝ හතරක් අතර පරතරයක් සහිතව මාත්‍රා දෙකක්  ලබාදිය යුතුය. රෝග ලක්ෂණ සහිත සහ රෝහල්ගත කළ යුතු රෝගීන් සඳහා එන්නත්වල කාර්යක්ෂමතාව සියයට 79ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
අවුරුදු 60ට වැඩි කාණ්ඩයට අයත් වැඩිහිටියන් කිහිපදෙනෙකු පමණක් සායනික අත්හදා බැලීම් සඳහා යොදවාගෙන ඇති බැවින් මෙම වයස් කාණ්ඩයේ කාර්යක්ෂමතාව තක්සේරු කළ නොහැක. වැඩිහිටි හා තරුණ වයස් කාණ්ඩ තුළ එන්නතට වෙනස් ආරක්ෂණ තත්ත්වයක් ඇතැයි විශ්වාස කිරීමට න්‍යායාත්මක හේතුවක් නොමැත. එබැවින් වැඩිහිටි වයස් කාණ්ඩවල අයට එන්නත භාවිත කරන රටවල නිර්දේශය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂාව සහ ඵලදායීතාව අධීක්ෂණය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

WHO හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL)

හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ (EUL) ක්‍රියාපටිපාටිය මගින් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී නව සෞඛ්‍ය නිෂ්පාදනවල යෝග්‍යතාව තක්සේරු කෙරේ. ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ දැඩි නිර්ණායකයන්ට අනුකූලව හදිසි අවස්ථා සඳහා හැකි ඉක්මනින් ඖෂධ, එන්නත් සහ රෝග නිර්ණයන් ලබාදීමට හැකි පසුබිමක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. මෙම තක්සේරුව මගින් හදිසි අවස්ථාවකදී ඇති වන තර්ජන මෙන්ම ඕනෑම අවදානමකට එරෙහිව නිෂ්පාදන භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ද ගණනය කෙරේ.
හදිසි භාවිත ලැයිස්තුව ලබාදීමේ ක්‍රියාපටිපාටිය තුළ දෙවන අදියරේ හා තුන්වන අදියරේ සායනික අත්හදා බැලීමේ දත්ත දැඩි ලෙස තක්සේරු කිරීම මෙන්ම ආරක්ෂාව, කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ අවදානම් කළමනාකරණ සැලැස්ම පිළිබඳ සැලකිය යුතු අතිරේක දත්ත ඇතුළත් වේ. මෙම දත්ත සමාලෝචනය කරනු ලබන්නේ ස්වාධීන විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් විසින් එන්නත පිළිබඳ වර්තමාන සාක්ෂි සහ එහි භාවිතය අධීක්ෂණය කිරීමේ සැලසුම් හා වැඩිදුර අධ්‍යයනයන් සඳහා වන සැලසුම් සලකා බලමිනි.
මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, එන්නත නිපදවන සමාගම විසින් සම්පූර්ණ බලපත්‍ර ලබාගැනීම සහ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ලබාගැනීම සඳහා අඛණ්ඩව දත්ත ලබාදීමට කැපවිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය මගින් එන්නත අත්හදා බැලීම්වලින් ලැබෙන අතිරේක සායනික දත්ත තක්සේරු කරනු ලබන අතර, එන්නතේ ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලන බව සහතික කිරීම සඳහා මෙය සිදු කෙරේ.

ලැයිස්තුවට එක්කර ඇති එන්නත්

  • 2020 දෙසැම්බර් 31 – ෆයිසර් එන්නත (Pfizer/BioNTech)
  • 2021 පෙබරවාරි 15 – ඇස්ට්‍රාසෙනෙකා / ඔක්ස්ෆර්ඩ් එන්නත (දකුණු කොරියාවේ AstraZeneca-SKBio ආයතනය විසින් සහ ඉන්දියාවේ Serum ආයතනය මගින් නිපදවූ)
  • 2021 මාර්තු 12 – ජන්සෙන් (Janssen) එන්නත (ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ආයතනය මගින් නිපදවූ)
  • මොඩර්නා එන්නත ද ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිත ලැයිස්තුවට එක්කර තිබේ.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ උපායමාර්ගික උපදේශක කණ්ඩායම (SAGE)

එන්නත් සහ ප්‍රතිශක්තිකරණ කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපදේශක කණ්ඩායම ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ උපායමාර්ගික උපදේශක කණ්ඩායම (SAGE) වේ. එන්නත් හා තාක්ෂණය, පර්යේෂණ හා සංවර්ධනය, ප්‍රතිශක්තිකරණ ලබාදීම සහ අනෙකුත් සෞඛ්‍ය මැදිහත්වීම් සමඟ එහි සම්බන්ධතා දක්වා සමස්ත ගෝලීය ප්‍රතිපත්ති හා උපාය මාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දීම එහි වගකීම ය. මෙම විශේෂඥ කණ්ඩායම සැලකිලිමත් වන්නේ ළමා එන්නත් සහ ප්‍රතිශක්තිකරණය ගැන පමණක් නොව, එන්නත්වලින් වළක්වා ගත හැකි සියලුම රෝග පිළිබඳව ද සැලකිලිමත් වෙයි.
මෙම කණ්ඩායම ෆයිසර් (8 ජනවාරි 2021), මොඩර්නා (25 ජනවාරි 2021), ඇස්ට්‍රාසෙනෙකා (2021 අප්‍රේල් 21) සහ ජන්සෙන් (20 මාර්තු 2021) යන එන්නත් පිළිබඳ සිය නිර්දේශ නිකුත් කර ඇත. එමෙන්ම එම කණ්ඩායම එන්නත්වල ප්‍රමුඛතා සම්බන්ධයෙන් සිතියම්ගත රාමුවක් ද නිකුත් කර තිබේ.
SAGE සහ EUL යනු ස්වාධීන ක්‍රියාවලීන් දෙකක් වන අතර EUL ක්‍රියාවලිය කේන්ද්‍රගත වී ඇත්තේ නිෂ්පාදනයක් ගුණාත්මක බවින් යුත්, ආරක්ෂිත සහ ඵලදායීද යන්න තීරණය කිරීම මතය.
SAGE මගින් එන්නතක් සඳහා වන ප්‍රතිපත්ති නිර්දේශයන් ලබාදෙයි. එය සිදුකරනු ලබන්නේ එම එන්නත ලැයිස්තුගත කර ඇති විට හෝ භාවිතයට අවසර දී ඇති විට පමණි. කොවිඩ්-19 තුළ සහ එන්නත් සඳහා ඇති දැඩි අවශ්‍යතාව හේතුවෙන්, SAGE හි ලේකම් කාර්යාලය සහ EUL කණ්ඩායම සමාන්තරව කටයුතු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට හදිසි භාවිත ලැයිස්තුගත කිරීමට සහ පවතින නිර්දේශ මත ප්‍රතිපත්ති නිර්දේශ නිකුත් කිරීම සඳහා ඉඩ ලබාදෙයි.”
Previous articleවසංගතය ලොකු පාඩමක් : සාමූහික වගකීම අත්හරින්න කිසිකෙනෙකුට අයිතියක් නෑ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි
Next article‘කොස්ගොඩ තාරක’ මරන්න කලින් පොලිස්පතිටත් දැනුම් දීලා : පොලිස් ඝාතන නීතිඥ සංගමය හෙළා දකී !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here