ආණ්ඩුවේ අනීතික ඝාතන වහාම නවත්වන්න : මානව හිමිකම් සුරකින්න ජනතාව එක්විය යුතුයි – විපක්ෂ නායක

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු වුවද, නීතියට පිටින් ගොස් හිතූමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මානව හිමිකම් සුරැකීමට මුළු ජනසමාජයම එක්විය යුතු බව ද ඔහු සඳහන් කළේය. ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බවත්, ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළකළේ ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ දී ප්‍රකාශයක් කරමිනි.
පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍යය අවනීතිය රජ කරන, ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත්වන බවත්, එවන් ඝාතන තුළින් සැකකරු සමග ගනුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහළ පෙළේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැනයෑමට හැකි වන බවත් ඔහු සඳහන් කළේය. එපමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරෙහි ඇති විශ්වාසය අහෝසි වී යන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
ඔහු මෙසේද කීවේය.
‘අපි රටක් හැටියට රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්න ඕනෙ. රටේ නීතිය ශක්තිමත් කරන්න ඕනෙ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය රැකගන්න ඕනෙ. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරගන්න ඕනෙ. අපි හැමෝම එකඟයි අපේ රට ජනසමාජය මිනීමරුවන්ගෙන් තොර, ඝාතකයන්ගෙන් තොර, කුඩුකාරයන්ගෙන් තොර, ස්ත්‍රී දූෂකයන්ගෙන් තොර, ළමා අපචාරකයන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න විය යුතුයි. එවැනි වැරදි කරන සියලුමදෙනාට දැඩි දඬුවම් ලබාදීම අපේ ප්‍රතිපත්තියයි. හැබැයි ඒ දේ ක්‍රියාත්මක කරන අධිකරණ ක්‍රියාදාමයක් තියෙනවා. නීති⁣යේ ආධිපත්‍යය අපි රකින්න ඕනෙ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අපි ආරක්ෂා කරන්න ඕනෙ. කැලෑ නීතිය රජවන්නට අපිට ඉඩදෙන්න බෑ. මේකෙ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කරන්නට අපිට ඉඩදෙන්න බෑ. ඒකාධිපති ආණ්ඩුවක් නෙමෙයි අපෙි රටේ තිබිය යුත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්.
ජනතා ඡන්දයෙන් පත්වුණු ආණ්ඩුවකට, තනි මතයකට තනි අයිතියකට ඒකාධිපතිත්වයක් කරා තමන්⁣ට ඕනෙ ඕ⁣නේ විදිහට මිනිස් ඝාතන ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නෑ. දැන් දැන් අපිට පේනවා ඝාතන රැල්ලක්. මේ ඝාතන රැල්ල තුළින් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙලා තියෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ලෝකය අපේ රටට අභියෝග කරන මොහොතක අපි දැනගන්නට ඕනෙ අපේ රට ආරක්ෂා කරන්නට. ජනතාව ආරක්ෂා කරන්නටත් මානව අයිතිය ශක්තිමත් කරන්නටත්. ඒවා උල්ලංඝනය කරන්නට නෙමෙයි.
දැන් දැන් අපට අහන්න ලැබෙනවා අපරාධකරුවන් අනීතික ඝාතනවලට ලක්කරනවා. අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. මිනීමරුවන්ට, කුඩු වෙළෙන්ඳන්ට, කුඩු ව්‍යාපාරිකයන්ට, ස්ත්‍රී දුෂකයන්ට, ළමා අපචාරකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් නෑ. නමුත් ඒ අපරාධකරුවන්ටත් නීතිමය ක්‍රියාදාමයක් ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක නොකොට කොහොමද මේ ඝාතන සිද්ධ වෙන්නේ. මේ ඝාතන සිද්ධවෙන්නේ පුද්ගලික කණ්ඩායමක් රැකගන්නට. මේ විවිධ ජාවාරම්කරුවන් මිනීමරුවන් එක්ක සබඳතාවයන් සම්පූර්ණයෙන්ම වසාදමන්නට. ඒකටද මේ අනීතික ඝාතන අපේ රටේ ක්‍රියාත්මක කරන්නේ. කෝ මේ රටේ නීතිය, කෝ යුක්තිය.. කෝ සාධාරණත්වය. සමගි ජනබලවේගය අපි මානව අයිතිවාසිකම් වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටිනවා.
අනීතික ඝාතනවලට කිසිසේත්ම අපි ඉඩ තබන්නේ නෑ. ඒවා වළක්වන්නට මුළු ජනසමාජයම එකට එකතු වෙන්න ඕනෙ. අපරාධකරුවන්ට නිසි දඬුවම් පමණක් නෙමෙයි දැඩි දඬුවම් දෙන්න ඕනෙ. හැබැයි ඒ සියල්ලක්ම වෙන්න ඕනෙ නීතිය හරහා. නීතිමය ක්‍රියාදාමයක් තුළ. ඒ නිසා පැහැදිලිවම මම මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ සිදුවෙන අනීතික ඝාතන රැල්ලට නැවතීමේ ලකුණ තබන්න. වහාම පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නට ඕනෙ මේ අනීතික ඝාතනවලට. සිදුවූයේ කුමන ආකාරයටද කොහොමද මේවා සිද්ධවෙන්නේ. මේවාගේ සුලමුල මොකක්ද? මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි.
ඒ වගේම මේ රටේ අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව ඔබලාට පිළිගැනීමක් නැද්ද? අධිකරණය පිළිබඳ ගරුත්වයක් නැද්ද? ඒ නිසා ද මේ අධිකරණය පසෙක දාලා අනීතික ඝාතන රැල්ලක් නිර්මාණය කරන්නේ? මේ සියලු ඝාතනවලට රජය වගකියන්න ඕනෙ. ඒ නිසා කරුණාකර මේ රටේ ශක්තිමත් නීතිමය පද්ධතියක් නිර්මාණය කරලා අපරාධකරුවන්ට නීතිමය ක්‍රියාදාමයක් හරහා දඬුවම් කිරීම ක්‍රියාත්මක කරනවා මිස මේ ඝාතන රැලි ක්‍රියාත්මක කරන එක වහා නතර කරන්නැයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා.’
Previous article‘කොස්ගොඩ තාරක’ මරන්න කලින් පොලිස්පතිටත් දැනුම් දීලා : පොලිස් ඝාතන නීතිඥ සංගමය හෙළා දකී !
Next articleපොලිස් ඝාතන : අධිකරණයේ වගකීම ඉටුනොකරන්නේ ඇයි ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here