හිතුවක්කාරීහැසිරීම් නවත්වන්න : කොවිඩ්වලින් තොර රටක් හදමු – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී හැසිරීම නිසා විශේෂඥයන් ඔහුට යෝජනා ඉදිරිපත් කිරීමට නොයන බවත්, මේ නිසා වසංගතය හමුවේ බරපතළ විනාශයක් සිදුවෙමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
එකදිගටම ප්‍රමාණවත් පහසුකම් නොමැතිව කටයුතු කිරීමට සිදුවීම නිසා සෞඛ්‍ය අංශ හෙම්බත් වී සිටින බවත්. ජනතාව අතර ද නොසන්සුන්තා වර්ධනය වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එම නිසා මේ මොහොතේ සියල්ලන් කළ යුත්තේ කොවිඩ්වලින් තොර රටක් වෙනුවෙන් කැපවීම බව ද ඔහු සඳහන් කළේ ඊයේ (11) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.
ඔහු එහිදී මෙසේ ද පැවසීය.

රෝහල් පද්ධතිය පීරී අවසන්

‘කොවිඩ් 19 වෛරස් වසංගතය නිසා මියයෑම් 10වැනිදා 26ක්, 09වැනිදා 15ක්, 08වැනිදා 22ක් වශයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව මේ දින තුන ඇතුළත 63දෙනෙකු මියගොස් තිබෙනවා. සැබැවින්ම ගත්තොත් ඝාතනය වී තිබෙනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්. පුරෝකතනය කරන සමහර ආයතනයන් මෙය ඉතාමත් භයානක අන්තයකට තල්ලුවිය හැකි බවට බරපතළ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. රෝගය වැළඳුනු අය රෝහල් කරා ගෙනයෑමට නොහැකිව දිස්ත්‍රික්ක ගණනාවක 100කට වඩා වැඩි ප්‍රමාණයක් නිවෙස්වල සිටිනවා. රජයේ රෝහල් පද්ධතියේත්, අතරමැදිව ගොඩනගන ලද රෝහල් පද්ධතියේත් ඇඳන් සියල්ල පිරීගොස් තිබෙනවා. මේ නිසා රෝගීන් නිවෙස්වල කරකියාගත දෙයක් නොහැකිව අසරණ වෙලා.

සෞඛ්‍ය කාර්යමණ්ඩල නොසලකා හැරලා

අනෙක් පැත්තෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල තමන්ගේ වගකීම පූර්ණ ලෙස ඉටුකරද්දී පවා මූලික පහසුකම් නොමැති තත්ත්වයක් තියෙනවා. ආරක්ෂිත ඇඳුම් කට්ටල, වෙනත් යටිතල පහසුකම් කිසිවක් වර්ධනය කර නොමැති පසුබිමක ඇතැම් රෝහල්වල උද්ඝෝෂණ පවා සිදුකරනවා. මෙම රෝගය මැඩපැවැත්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරුන් සමාජයීය වශයෙන් විශාල කාර්යභාරයක් කරනවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් කිසිවක් ලබාදීමට අසමත් වීම හේතුකොටගෙන අකුරට වැඩ කිරීම් පවා ආරම්භ කිරීමට සූදානම් වෙනවා. එයින් කියවෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල හෙම්බත්වීමකට ලක්වී තිබෙන බවයි.

ජනතාව නොසන්සුන්තාවක

ඒ වගේම හමුදාව පීඩාවට පත්වෙලා. ඔවුන්ට ලබාදෙන ආහාර වේල පවා ලාබ හාල්වලින්, ආහාරයට ගැනීමට නොහැකි තත්ත්වයෙන් ලබාදෙනවා. මේ නිසා කාර්ය මණ්ඩල විශාල හෙම්බත්වීමකට සියලුම අංශවලින් ලක්වී තියෙනවා. ආයතන පවා කඩා වැටී තියෙනවා. මහජනයා තුළ සැකය, අවිශ්වාසය, වර්ධනය වෙලා. මහජනතාව තුළ විශාල නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් තියෙනවා. මේ නිසා කොවිඩ් වසංගතය තුළ සංකීර්ණ විශාල ගැටළු ප්‍රමාණයක් ඇතිවී තියෙනවා. මේ නිසා වහාම කොවිඩ් තත්ත්වය මැඩපැවැත්වීමට අසමත් වුවහොත්, මේවා විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තියෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්ත්වය නෙමෙයි. මේ බොහෝ කරුණු ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අනෙකුත් පරිපාලන ක්ෂේත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු නිසා ඇති වූ තත්ත්වයන්. විශේෂයෙන්ම ජනාධිපතිවරයා උඩඟු, මෝඩ, අපරිණත නායකයෙක් විදිහට කටයුතු කිරීමෙන් ව්‍යසනයක් ඇතිවී තිබෙනවා.

හිතුවක්කාරී – තක්කඩි ප්‍රවේශයක්

කිසිවෙකුට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාරී, තක්කඩි ප්‍රවේශයක් ජනාධිපතිවරයා තුළින් වර්ධනය වී තියෙනවා. මේ නිසා පිළියම් යොදන සෞඛ්‍ය අංශ, විශේෂඥ කණ්ඩායම් ජනාධිපතිවරයා ඉදිරියේ විවෘත සාකච්ඡාවලට නොගිහින් සිටිනවා. කරුණු විවෘතව ඉදිරිපත් නොකර සිටිනවා. ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාරී හැසිරීම අද අපේ රටේ මිනිස් ජීවිත බිලිගනිමින් තියෙනවා. රට විශාල අනාරක්ෂිතභාවයකට පත්වී තියෙනවා. මේ තත්ත්වය ඕපපාතිකව ඇතිවූවක් නෙමෙයි. දූපතක් නිසා වෛරසය අපේ රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ඕනෙ තරම් ඉඩ තිබෙන බව අපි මුල සිටම පැහැදිලි කරලා දුන්නා. හැබැයි මොනතරම් අසමත්කම්, අත්හැරීම්, වැරදි තීන්දු-තීරණ ආණ්ඩුව අරගෙන තිබෙනවාද බලන්න. දැනට අපේ ආයතන ව්‍යූහය අනුව ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය, ඖෂධ භාර අමාත්‍යවරයා, දේශීය වෛද්‍ය අමාත්‍යවරයා මේ යාන්ත්‍රණයේ මූලික වගකීම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දිය යුතුව තිබෙනවා. හැබැයි මේ කිසිවෙක් ඒ වගකීම් ඉටු කළාද?

පැණි වගකීම ගන්නේ කවුද?

සෞඛ්‍ය අමාත්‍යවරිය විටෙක මුට්ටි ගඟට දානවා. තව විටෙක පැණි බොනවා. ඖෂධ භාර අමාත්‍යවරයා පැණියක් බදාගෙන දඟලනවා. අපි මේ ඔක්කොම දිහා ගැටුම්කාරී ප්‍රවේශයකට නොයා සමහර දේවල් දෙස උපේක්ෂාවෙන් බලාගෙන හිටියා. හැබැයි අවසන් ප්‍රතිඵලය කුමක්ද? කාලි අම්මගේ පැණිය පාර්ලිමේන්තුවට ගෙනියනවා. ඇමතිවරුන් ළඟට ගෙනියනවා. මාධ්‍ය ආයතනවලට ගෙනියනවා. අපේ මව්බිමේ පුරවැසියන් අපරිණත දේශපාලන නායකයන්ගේ දඩබිමක් බවට පත්කළා. සමහර නාලිකාත් මේවට වගකියන්න ඕනෙ. ධම්මික පැණිය ප්‍රවර්ධනයේ නියමුවා බවට එක නාලිකාවක් පත්වුණා. කොරෝනාවලට කිසිසේත්ම ඖෂධයක් නොවන බව ඒ නාලිකාව දැන් කියනවාද? ආණ්ඩුවේ නාලිකා විශේෂයෙන් අයි.ටී.එන්. නාලිකාව හැසිරුණේ කොහොමද? රාවණා පැණියේ වෙදා අයි.ටී.එන් නාලිකාව අස්සට ගෙනැල්ලා පැණි බෙදන්න පටන් ගත්තා. අද මාධ්‍ය ආයතනවලින් විශාලම කොරෝනා පොකුර හමුවුණේ අයි.ටී.එන්. නාලිකාවෙන්. ඒ සභාපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලුවාද? වගකීම්විරහිත දේශපාලන සහ අනෙකුත් නායකයන්ට මේ ව්‍යසනය විසඳන්න පුළුවන්ද? මේ නායකත්වයන් අසමත්. ඒ වගේම ගොඩනගන ලද යාන්ත්‍රණය අසමත්.

අත්දැකීම් ඇති අය ඉවතට

මා පෞද්ගලිකව කිසිවෙකු විශේෂයෙන් අගය කරනවා හෝ පහතට හෙළනවා නෙමෙයි. නමුත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, වෛද්‍ය අනිල් ජාසිංහ මහත්තයා දීර්ඝ කාලයක් එම තනතුරේ හිටියා. මුල් අවදියේදී වසංගතය මැඩපැවැත්වීම සඳහා ඔහු කළ කාර්යභාරය ගැන ප්‍රසාදයක් සහ ඇගයීමක් ජනතාව තුළ තිබුණා. ඒ වගේම වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මෙය මැඩපැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් කළා. රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මුල් අදියරේදී විශාල කාර්යභාරයක් කළා. ඔවුන් අද කෝ? රජයේ රෙගුලාසි අනුව මේ නිලධාරීන්ට කැබිනට් මණ්ඩල අනුමැතියකින් සේවා දිගුවක් ලබාදෙන්න පුළුවන්. එවැනි ප්‍රතිපාදන පරිපාලන ව්‍යූහයේ තිබෙන්නේ මෙවැනි අවස්ථාවල ප්‍රයෝජනයට ගන්න. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යෑමට නියමිතව තිබුණු නිසා ඔහුට සේවා දිගුවක් ලබාදෙනවා වෙනුවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත්කළා. පබා පළිහවඩන මහත්මිය විදේශ තානාපතිවරියක් කරන්න යෝජනා කර තිබුණා. ඒ ක්ෂේත්‍රය පිළිබඳව කාලයක් ලබාගත් අත්දැකීම් වැදගත්. එහෙම හැසිරීමක් ආණ්ඩුවේ තිබුණේ නැහැ. මේ නිසා අද මුළු යාන්ත්‍රණයම බිඳවැටිලා.

ජනතා විශ්වාසය බිඳවැටිලා

මෙය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නොවන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාම කියලා තිබුණා. හැබැයි ඔහුගේ ප්‍රවේශය වුණේ සෞඛ්‍ය විශේෂඥයන් මූලික කරගත් එකක් නෙමෙයි. ඒ නිසා මේ යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දුන්නේ නැහැ. වෙන-වෙන අය යාන්ත්‍රණයේ ප්‍රධානීන් බවට පත්කළා. මේ නිසා මුළු යාන්ත්‍රණයම බිඳවැටිලා. බිඳවැටීම කොතෙක්ද කියනවා නම් රජය ලබාදෙන තොරතුරු සහ දත්ත පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. මේ යාන්ත්‍රණයේ එක-එක අය එක-එක දේවල් කියනවා. මෙවැනි ප්‍රශ්නයකදී සමාජයක් එක තැනකට ගෙන ආ යුතුව තියෙනවා. ඒ වෙනුවෙන් එක හඬින් එක ප්‍රකාශයක් ජනතාව වෙත ගෙන යා යුතු වෙනවා. නමුත් සිදුකරන්නෙ කාලගුණ දත්ත වගේ දත්ත ඉදිරිපත් කිරීම විතරයි. කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ගොඩනගා තිබෙන යාන්ත්‍රණය මුළුමනින්ම අසාර්ථක වී තියෙනවා.

චෞර වළල්ල සැනසීම මුල් තැනට

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මාස ගණනකින් රැස්කරලා නැති බව වාර්තා වෙනවා. මේ නිසා අද මේ ඇති වී තිබෙන්නෙ ස්වභාවික තත්ත්වයක් නොවන බව නැවත-නැවතත් කියනවා. දේශපාලන නායකත්වය සහ ගොඩනගා තිබෙන යාන්ත්‍රණයේ අසමත්කම සහ අත්හැරීම බව අවධාරණය කරනවා. විශේෂයෙන් වසංගතයත් එක්ක ව්‍යාපාර ගැටගැසී තිබුණා. තමන් වටා ඉන්න චෞර වළල්ලේ ලාභ ලැබීමේ අවස්ථාවක් බවට මෙවැනි ව්‍යසනයන් යොදාගැනීම වැළැක්වීමට තිබුණා. සීනි, පොල්තෙල් ගේනකොට හොරකම් කරන එක, හයිවේවලින් කොමිස් ගහන එක, චෞර වළල්ල සනසන්න ඉඩ තියලා. මෙවැනි වසංගතයක් තුළින් ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුව තිබුණා. කොවිඩ් වසංගතය ගරානාවක් බවට පත්කර ගැනීමට ඉඩදීමෙන් අද ලැබී තිබෙන ප්‍රතිවිපාක උග්‍ර වී තිබෙනවා. පීසීආර් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, නිරෝධායන හෝටල් වෙන්කිරීම, විදේශවල සිට එන අය ඒවාට යෙදවීම, තමන්ගේ චෞර වළල්ලේ කණ්ඩායම්වල ව්‍යාපාර බවට පත්කර ගන්න ඉඩ දුන්නා. එක රැයකට රු. 14,000-16,000ක් අයකර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම බිස්නස් එකක් කරගන්න ඉඩදුන්නා.

කොවිඩ්වලින් තොර රටක් හදමු

එම නිසා මේ රෝගය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය වෙනස් කළ යුතුව තියෙනවා. ආණ්ඩුවේ ප්‍රවේශය වන්නේ ‘කොවිඩ් සමග ජීවිතය’ යන්නයි. ඒක වැරදියි. කොවිඩ් සමග ජීවත් වනවා නම් මේක මෙහෙම තමයි. ආණ්ඩුවට තිබිය යුතු අධිෂ්ඨානය වන්නේ ‘කොවිඩ්වලින් තොර රටක් හදමු’ යන්නයි. ඒ සඳහා සියලු යාන්ත්‍රණ ඒකාබද්ධ කළ යුතුයි. එය ජාතික මෙහෙයුමක් බවට පරිවර්තනය කළ යුතුයි. ආණ්ඩුව, දේශපාලන නායකත්වය, අනෙකුත් දේශපාලන ව්‍යාපාර, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය, මහජන සංවිධාන, මාධ්‍ය ආයතන, පොදු පුරවැසියන් සියලුදෙනා ලංකාවෙන් කොවිඩ් තුරන් කරන බවට ස්ථීර අධිෂ්ඨානයකට එළඹිය යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්විය යුතුයි.
Previous articleඑකම විසඳුම එන්නත : ලැබෙන ඕනෑම වර්ගයක් විදගන්න – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි !
Next articleමුහුණු ආවරණ තහනම ප්‍රතික්ෂේප කරන්න – හියුමන් රයිට්ස් වොච් පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here