මුහුණු ආවරණ තහනම ප්‍රතික්ෂේප කරන්න – හියුමන් රයිට්ස් වොච් පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි !

මුහුණු ආවරණ සඳහා යෝජනා කර ඇති තහනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන්ට හිරිහැර කිරීම සඳහා නිදහසට කරුණු සෙවීම ශ්‍රී ලංකා රජය විසින් නතර කළ යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.

මුහුණු ආවරණ පැළඳීමේ ආගමික නිදහසට එරෙහි මෙම තහනම සාධාරණීකරණය කරන කිසිදු ආකාරයක ‘තර්ජනයක්’ ඇති බවට සාක්ෂියක් නොමැති බවත්, තමන් ඉස්ලාමීය මුහුණු ආවරණ තහනම් කිරීමට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ විරුද්ධ බවත් එම සංවිධානය පවසයි. ජාත්‍යන්තර නීතිය යටතේ ආගමික නිදහස සහ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ආගමික වස්ත්‍ර පැළඳීමට බලකරන ප්‍රතිපත්තිවලට ද තම සංවිධානය විරුද්ධ බව ඔවුහු අවධාරණය කරති.

තීරණය ගැන කැබිනට් ප්‍රකාශක කතා කරයි

‘මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදීලා තියෙනවා. විශේෂයෙන්ම රටවල් ගණනාවක් මේ වෙනකොට ජාතික ආරක්ෂාව වෙනුවෙන් එවන් ක්‍රියාවලීන්වලට අවතීර්ණ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදීත් යම්-යම් කතිකාවන් ඇති වුණා. නමුත් කැබිනට් මණ්ඩලය අනුමත කළා මේ කෙටුම්පත නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නට. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා වෙන විදියේ යම්කිසි අවදානමකට ලක්වෙලා තියෙන මොහොතක් නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරලා කටයුතු කරන්න තීන්දු කරලා තියෙනවා. ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදීලා තියෙනවා’ යැයි සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පසුගිය අප්‍රේල් 27 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ඇමැති සරත් වීරසේකරගේ ප්‍රකාශය

බුර්කාව තහනම් කිරීමටත්, මද්‍රසා පාසල් 1,000ක් වසා දැමීමටත් තීරණය කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පසුගිය මාර්තු 13 වැනිදා ප්‍රකාශ කළේය.
‘ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගයට, කැබිනට් පත්‍රිකාවට. බුර්කාවත් ජාතික ආරක්ෂාවට සෘජුව තර්ජනයක්. පොඩි කාලෙත් අපේ මුස්ලිම් යාළුවෝ හිටියා. මුස්ලිම් ගැහැණු දරුවෝ හිටියා. කවදාවත් මේ බුර්කාව පැළඳගෙන හිටියේ නැහැ. ඒක ඊයේ-පෙරේදා ආපු ආගමික අන්තවාදයේ සංකේතයක්. ඒ නිසා අපි ඒක අනිවාර්යයෙන් තහනම් කරනවා’ යැයි ඔහු පැවසීය.
‘මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුර්කාව ඇතුළු, අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය’ යනුවෙන් සරත් වීරසේකර මහතා අප්‍රේල් 27 වැනිදා සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබිණි.

හියුමන් රයිට්ස් වොච් නිවේදනය

‘කාන්තාවන්ගේ මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාව අප්‍රේල් 27 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට පෙර සිට ම, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් වෙනස්කොට සැලකීමේ රජයේ ප‍්‍රතිපත්ති ලැයිස්තුවකට මුහුණ දෙන ලදි. මෙය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබුවහොත්, මෙම පියවර මගින් නිකාබ් හෝ බුර්කා වැනි සමහර මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳ සිටිනු ලබන ඇඟලුම් තහනම් වනු ඇත. මෙමගින් ඔවුන් සමාජයෙන් කොන්වීම තවත් වැඩි වනු ඇත.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව ද මෙවැනිම තහනමක් තාවකාලිකව පැනවීමෙන් පසුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නීත්‍යානුකූලව ‘හිජාබය‘ ඇඳ සිටි (මුහුණු ආවරණය නොකරන හිස් ආවරණයක් පමණක්) කාන්තාවක් ප්‍රසිද්ධියේ හිරිහැරයට ලක්කිරීම ඇතුළු මුස්ලිම් කාන්තාවන්ට මුහුණපෑමට සිදුවූ සිද්ධීන් ගණනාවක් වාර්තා කළේය. එමෙන්ම ඔවුන්ට පාසල්, රෝහල් සහ විශ්වවිද්‍යාල වැනි පොදු ගොඩනැගිලිවලට ප්‍රවේශවීමේ අවස්ථාවන් ද අහිමි කර තිබිණි.
මෙවර මෙම තහනම යෝජනා කරනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා විසිනි. ඔහු මුහුණු ආවරණ ‘ආගමික අන්තවාදයේ ලකුණක්’ ලෙස හැඳින්වූ අතර, මෙම තහනම ‘ජාතික ආරක්ෂාව’ ගැන හුවා දක්වමින් සාධාරණීකරණය කරන ලදි. කෙසේ වෙතත් ‘කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම තහනම් නොකරන’ බව ද ඔහු සදහන් කළේය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ ආගමික නිදහසට එරෙහි අලුත්ම ප්‍රහාරයයි. මහජන සෞඛ්‍ය වෙනුවෙන් යැයි ව්‍යාජ ලෙස පවසමින් කොවිඩ් -19 හේතුවෙන් මියගිය පුද්ගලයන් භූමදානය කිරීම රජය විසින් පසුගිය පෙබරවාරි දක්වා වසරකට ආසන්න කාලයක් තහනම් කළේය. මෙම තහනම හේතුවෙන් මුස්ලිම්වරුන්ට සිය අවසන් කටයුතු සිදුකරගැනීමට නොහැකී වීම නිසා මියගිය පුද්ගලයන්ගේ පවුල් දැඩි පීඩාවට පත්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

මාර්තු 9 වැනිදා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධ නව රෙගුලාසි මගින් ‘ආගමික, වාර්ගික හෝ ජාතීන් අතර අසමගිය’ ඇති කිරීමේ නොපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති හේතු මත ‘පුනරුත්ථාපනය’ සඳහා ඕනෑම අයෙකු වසර දෙකක් දක්වා සිරගත කිරීමට නිලධාරීන්ට බලය ලබාදුන්නේය.
සුළුතරයන්, විශේෂයෙන් මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව ඉලක්ක කරගැනීම සඳහා රාජපක්ෂ පරිපාලනය නැවත-නැවතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කර ඇති අතර, මෙම සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කොට සැලකීමට උසිගන්වන අයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත.

දෙකටම විරුද්ධයි

මුහුණු ආවරණ පැළඳීමේ ආගමික නිදහසට එරෙහි මෙම තහනම සාධාරණීකරණය කරන කිසිදු ආකාරයක ‘තර්ජනයක්‘ ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් හියුමන් රයිට්ස් වොච් මෙම ඉස්ලාමීය මුහුණු ආවරණ තහනම් කිරීමට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදි. ජාත්‍යන්තර නීතිය යටතේ ආගමික නිදහස සහ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ආගමික වස්ත්‍ර පැළඳීමට බලකරන ප්‍රතිපත්තිවලට ද අපි විරෝධය පළකර සිටිමු.
මුහුණු ආවරණ සඳහා යෝජනා කර ඇති තහනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන්ට හිරිහැර කිරීම සඳහා නිදහසට කරුණු සෙවීම ශ්‍රී ලංකා රජය විසින් නතර කළ යුතුය.
Previous articleහිතුවක්කාරීහැසිරීම් නවත්වන්න : කොවිඩ්වලින් තොර රටක් හදමු – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක
Next articleඒක පුද්ගල ණය ලක්ෂ දෙකකින් ඉහළට – වාර්ෂිකව ලක්ෂ අට හමාර බැගින් ණය ගෙවීමට ඔබ සූදානම් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here