ඒක පුද්ගල ණය ලක්ෂ දෙකකින් ඉහළට – වාර්ෂිකව ලක්ෂ අට හමාර බැගින් ණය ගෙවීමට ඔබ සූදානම් ද?

(සාරා අත්තනායක)
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 – වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. දවසින්-දවස වැඩි-වැඩියෙන් ණය ගන්නා, ආර්ථික කළමනාකරණය පිළිබඳ මූලික දැනුමක් හෝ නැතිබවක් පෙන්වමින්, තමන්ගේ වැඩේ කරගන්නා මහත්තුරුන්ගේ සෙල්ලම් ගැන කියන නිල වාර්තාවකි, මේ.

ආහාර අනාරක්ෂිතතා ගැටළුවක්

මෙවර මහ බැංකු වාර්තාවේ විශේෂ සටහන් අංක යටතේ තිබෙන සටහනක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ම ය. ඒ හිටිහැටියේ ජනාධිපතිවරයා රසායනික පොහොරවලට එරෙහිව ප්‍රහාර එල්ල කළ පසුබිමක් මතුවී තිබීම නිසා ය. මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ ගැසට් නිවේදනය මගින් ඒ වැඩේ ආපසු හැරිණි. කෙසේ වෙතත් අදාළ සටහනේ මෙසේ සඳහන් වේ. ‘ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වැදගත් මෙන් ම, එවැනි ගැටළු නිසි ලෙස විසඳා නොගතහොත්. රට තුළ දැනට පවතින ආහාර අනාරක්ෂිතතා ප්‍රශ්න තවදුරටත් උග්‍ර වීමට ඇති හැකියාව අවධාරණය කරයි.’
මේ කියන්නේ කුමක්ද? රටේ ජනතාව මේ වන විටත් ආහාර අනාරක්ෂිතතා ප්‍රශ්නයක සිටින බවයි. මහ බැංකු වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කරයි. ‘අනාගතයේ ඇති විය හැකි කම්පනවලට මුහුණ දෙමින්, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටළු කෙටිකාලීන මෙන් ම දිගුකාලීන උපායමාර්ග ද සහිතව සියලු පැතිකඩ ආවරණය කෙරෙන ප්‍රතිපත්තිමය ප්‍රවේශයකින් විසඳිය යුතුය.’
මහ බැංකුවේ අදාළ නිලධාරීන් මෙම සටහන තබන විට ජනාධිපතිවරයා රසායනික පොහොරවලට ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන නොතිබූ බව පැහැදිලි ය. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කම්පනවලට ‘කෙටිකාලීනව මෙන් ම’ යන යෙදුම තිබෙන්නේ මේ නිසා ය. මේ වන විට රටේ මහා පොළොවත්, අදාළ බීජත් අධික ලෙස රසායනික පොහොරවලට සංවේදීතා දක්වන තත්ත්වයට පරිවර්තනය වී තිබේ. එසේ තිබිය දී මේ පොළොවෙන්, මේ බීජවලින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ කෙටිකාලීන විසඳුම් නොමැත. ආර්ථිකය සම්බන්ධයෙන් මෙම කරුණු ද අතිශය අදාළ ය. ජනතාවගේ කුසගිනි නිවීමේ ප්‍රමුඛ පදනමට අදාළ බිහිසුණු අවිනිශ්චිතතාවක් දැන් නිර්මාණය කර ඇත.

ණය බර හැංගීමේ කලාව

රජයේ මුළු ණය ප්‍රමාණය ගෙඩි පිටින් එකවර පෙනෙන සේ දැක්වීම නතර කර දමන ලද්දේ 2013 පමණ සිට ය. මධ්‍යම රජයේ නොපියවූ ණය සහ රාජ්‍ය මහා භාණ්ඩාගාරයේ ඇප මත රාජ්‍ය ව්‍යවසායයන් ලබාගෙන තිබෙන ණය වශයෙන් එය බෙදා දැක්වීම ඇරඹිණි. ඒ වර්තමාන මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටියදී ය.
මෙවර එය තවත් ලෙසකට බෙදනු ලැබ තිබේ. ඒ විදේශ ණය බර එක්වර ම පැහැදිලි නොවීම සඳහා ය. ‘රාජ්‍ය ආයතන තුනක් සෘජුව විදේශවලින් ලබාගෙන තිබෙන ණය’ යනුවෙන් වෙනම දක්වා තිබේ. ‘රජයේ ඇප රහිතව’ යනුවෙන් වැඩිදුරටත් සඳහන් ය. අවසානයේදී මේ සියල්ල එකතු වන්නේ රටේ විදේශ ණය බරටම ය. ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම රුපියල් කෝටි 2,219ක්, විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 13,672ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් කෝටි 16,460ක් වශයෙන් මේ බෙදීම දක්වා ඇත. මේ ආයතන තුන මගින් ලබාගෙන තිබෙන මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 32,351කි.
මහා භාණ්ඩාගාරයේ ඇප මත රාජ්‍ය ආයතන 11ක් විසින් දේශීය වාණිජ බැංකුවලින් ණය ලබාගෙන තිබේ. ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම රුපියල් කෝටි 3,480ක්, විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 7,056ක්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 34,550ක්, නැව් සංස්ථාව රුපියල් කෝටි 1,250ක්, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රුපියල් කෝටි 3,556ක්, ගල් අඟුරු සමාගම රුපියල් කෝටි 969ක්, ජලසම්පාදන මණ්ඩලය රුපියල් කෝටි 13,818ක්, වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 202ක්, මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 26,201ක්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 4,353ක් සහ විවිධ රාජ්‍ය ආයතන රුපියල් කෝටි 3,202ක් වශයෙන් ය, ඒ. මෙසේ රාජ්‍ය ආයතනවලින් රුපියල් කෝටි 98,639ක් ණය ලබාගෙන තිබේ.

ඒක පුද්ගල ණය බර ලක්ෂ දෙකකින් ඉහළට

තවත් ලෙසකින් කියන්නේ නම්, රාජ්‍ය ආයතන දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි 1,30,990ක ණය ගෙන ඇත. මේ සියල්ල අනුව රජයේ මුළු ණය බර 2020 අවසන් වන විට රුපියල් කෝටි 16,42,716කි. රටේ මුළු ජනගහනය දළ වශයෙන් දෙකෝටි විසිලක්ෂයකි. එක් පුරවැසියකු මත පටවා තිබෙන මුළු ණය කන්ද රුපියල් 7,47,000කට ආසන්න අගයක් ගනී. එය 2019 වර්ෂය අවසන් වන විට රුපියල් 6,46,000ක මට්ටමේ තිබිණි. වර්ෂයක් තුළ ඒකපුද්ගල ණය බර රුපියල් ලක්ෂයකින් ඉහළ ගොස් තිබේ. ඒ රාජ්‍ය ණය බර පමණි.
රටේ යමක්-කමක් කළ හැකි සියලුදෙනා  එක් වී ඔවුන් විසින් වසරක් තුළ සිදුකරන ලද කුමන ආකාරයේ හෝ ආර්ථික වටිනාකම් නිෂ්පාදන මුදලින් තක්සේරු කෙරේ. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනකට ප්‍රධාන වශයෙන් මෙම ආර්ථික වටිනාකම් නිෂ්පාදන ඇතුළත් වේ. ආණ්ඩුවක් සල්ලි කොළ අච්චු ගැසීම ආර්ථික වටිනාකම් නිෂ්පාදනයක් නොවේ. වටිනාකම් නිෂ්පාදනය කරන්නේ මහජනතාව විසින් ය.
2020 වර්ෂයේදී එසේ නිෂ්පාදනය කරන ලද මුළු ආර්ථික වටිනාකම්වල අගය රුපියල් කෝටි දහහතර ලක්ෂ අනූහත්දහස් තුන්සියයකි. එනම්, රුපියල් කෝටි ලක්ෂ පහළොවකි. ට්‍රිලියන 15කි. ගැටළුව ඇත්තේ ඊළඟට ය. රටේ මුළු ණය බර මෙම වටිනාකම ඉක්මවා ගොස් තිබේ. මුළු ණය බර රුපියල් කෝටි 16,42,715කි. එනම් ට්‍රිලියන 16.5ක් ලෙස ආසන්න අගයට කිව හැකිය. දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 15කි. රටේ මුළු ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 109.7ක් බව කියන්නේ ඒ නිසා ය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් අපේ රට පහතට ම හෙළනු ලැබ තිබෙන්නේ මේ නිසා ය.
ඊට අමතරව සිය ජීවිත උකසට තබා ලබාගන්නා ලද පෞද්ගලික ණය ප්‍රමාණයක් ද අප එකිනෙකා සතුව පවතී. බැංකුවලින්, ලීසිං සමාගම්වලින්, ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වලින් යන ආකාරවලින් ලබාගත් ණය මේ අතර වේ. සණස සහ සමුපකාර ග්‍රාමීය බැංකු, ලියාපදිංචි නැති ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන සහ උකස් මධ්‍යස්ථානවලින් ගන්නා ලද ණය ද වේ. මේ ණය ගන්නේ නිවාසයක් ඉදිකර ගැනීම, වාහනයක් ගැනීම සහ පාරිභෝගික ණය, අධ්‍යාපන කටයුතු සඳහා සහ සෞඛ්‍ය පහසුකම් ආදියට ය. 2020 වසරේදී ඉහත දක්වා ඇති ක්ෂේත්‍ර යටතේ ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,67,780කි. මේ අනුව ඒකපුද්ගල පෞද්ගලික ණය ප්‍රමාණය තවත් රුපියල් 1,21,700කින් ඉහළ යා යුතුය.
ඒ අනුව රාජ්‍ය ණය බර පංගුව වන රුපියල් 7,47,000ක් සහ නිල වශයෙන් හෙළි වී තිබෙන රුපියල් 1,21,700ක් වන පෞද්ගලික ණය බර පමණක් නොවේ, අප මත පටවා ඇත්තේ. ආණ්ඩු විසින් පටවා තිබෙන බදු බරක් ද පවතී. 2020දී එය රුපියල් කෝටි 1,36,796කි. එනම්, එක් පුද්ගලයෙකු මත පටවා තිබෙන වර්ෂයේ බදු බර රුපියල් 62,280කි.  මෙම බදු සෘජු සහ වක්‍ර වශයෙන් දෙයාකාර ය. මෙවර මහ බැංකු වාර්තාවේ සෘජු බදු කොපමණ ද යන්න පැහැදිලිව සඳහන්ව නැත.

සුරංගනා ලෝකය මවන තාලය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පත් වූ වහාම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදෙන ලදි. එය මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන් ය. ‘ව්‍යාපාර සහ පුද්ගල බදු බර අඩු කිරීම මඟින් ආර්ථික ක්‍රියාකාරකම් යළි නඟාසිටුවීමටත්, එමඟින් ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමටත් රජය විසින් පියවර ගන්නා ලදී.’ මේ කියන්නේ කුමක් ද? ආර්ථිකය නඟාසිටුවීම සඳහා ඉහළ ම ව්‍යාපාරිකයන්ගේ බදු බර අඩු කළ බව ය. රජයට ලැබෙන ආදායම් ද කප්පාදු කර ආර්ථිකය නඟාසිටුවීමක් ගැන ඔවුහු කියති. එසේ ආර්ථිකය නඟාසිටුවා ජනතාවගේ ආදායම් ඉහළ දමන බව කියති. එහෙත් ඇත්තටම සිදු වී තිබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදී, සාමාන්‍ය ජනතාවගෙන් වැඩි බදු මුදලක් අයකර ගැනීමට සැලසුම් සකස් කිරීම ය. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ වහාම කළේ ද මෙය ය.
මේ නිසා සිදු වී ඇත්තේ වාර්ෂික ණය වාරික සහ පොළී ගෙවීමට පවා රටේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීම ය. මෙවැනි තත්ත්වයක් යටතේ ය, සාමාන්‍ය ජනතාවගේ ආදායම් ඉහළ නංවන බවට ඔවුන් මාධය ඉදිරියට පැමිණ කියන්නේ. තව-තවත් ණය ගනිමින් සිටින්නේ. පෝට් සිටිය මේ සියලු ප්‍රශ්න නැති කරන බවට සුරංගනා ලෝක මවන්නේ.
Previous articleමුහුණු ආවරණ තහනම ප්‍රතික්ෂේප කරන්න – හියුමන් රයිට්ස් වොච් පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි !
Next articleඅපේ යෝජනා ක්‍රියාත්මක කළොත් සතියෙන් පීසීආර් ප්‍රශ්නය විසඳනවා – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here