අපේ යෝජනා ක්‍රියාත්මක කළොත් සතියෙන් පීසීආර් ප්‍රශ්නය විසඳනවා – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට පවත්වාගෙන යන ක්‍රමය ඉදිරියටත් පැවතුණහොත්, ඉදිරියේදී රසායනාගාරවල එකම පීසීආර් පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව⁣ට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා අනතුරු අඟවයි.
MediaLK සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මීට විසඳුම ‘පොයින්ට් ඔෆ් කෙයා පීසීආර් පරීක්ෂණ’, එනම් ස්ථානීය පීසීආර් පරීක්ෂණ බවත්, එමගින් ධාරිතාව වැඩි කරගැනීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. ‘ඒ පිළිබඳව අපි දීලා තියෙන යෝජනා සාකච්ඡා කරනවා නම් සතියෙන් මේ ධාරිතාව හතර ගුණයකින් වැඩිකරලා දෙන වගකීම අපිට බාරගන්න පුළුවන්…’ යැයි ද ඔහු පැවසීය.

ඔහු සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…

මොකක්ද මේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදය…?

සාම්පල් 20,000ක් විතර ගොඩගැහිලා තියෙනවා රසායනාගාරවල.

ඒකට හේතුව…?

එ්කට මූලික හේතුව තමයි රසායනාගාරවලට දරන්න පුළුවන් ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.
දෙවැනි කාරණාව තමයි, පීසීආර් කොච්චර වේගයෙන් කළත් අපිට පීසීආර් පරීක්ෂණය අදාළ තැනට යවන්න තියෙන ක්‍රමවේදය අතිශය සාම්ප්‍රදායික ක්‍රමවේදයක්. ඒ සඳහා හතර-පස් දෙනෙක් දායකවෙන්න ඕනෙ. රසායනාගාරයෙන් රසායනාගාර විද්‍යාඥයා පරීක්ෂණය කරලා අවසාන වුණු වහාම අපිට අන්තර්ජාල පහසුකම් හරහා මේක යැවීමට ක්‍රමයක් තියෙනවා නම් අපිට ඒ කාර්යය කරලා දෙන්න පුළුවන්. හැබැයි අපි මේක මැනුවල් ලිස්ට් එකක් විදිහට වසංගත රෝග අංශයටත්, වසංගතවේදීන්ටත්, වෛරසවේදීන්ටත්, ප්‍රජා වෛද්‍යවරුන්ටත් මේ හැමෝටම අතින්-අත යවන්න ගියහම මේකට යම් කිසි වෙලාවක් ගතවෙනවා. මේ ප්‍රමාදය සම්පූර්ණයෙන්ම රසායනාගාර තත්ත්වයන්ට අනුව නෙමෙයි වෙන්නේ. ක්ෂේත්‍රයේ තියෙන කලබලය අනුව එකක් වාර්තාව යන්න පරක්කු වෙනවා.
අනෙක තමයි පීසීආර් පරීක්ෂණ සාමාන්‍යයෙන් එන්නේ අපිට හවස් වරුවේ. එතකොට අපිට ප්‍රධාන රසායනාගාරවල පැය විසිහතර සේවාව ක්‍රියාත්මක කරන්න අඩු ගානේ අතිකාලයක් දෙන තත්ත්වයක් නැහැ. එතකොට අද දවසේ එන පරීක්ෂණය කොහොමත් අපිට ඉඩ තිබ්බත්, නැතත් රාත්‍රියේ කරන්න බෑ.. විශේෂයෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර තුනේම එ් ඉඩකඩ ලබාදීලා නෑ, එතැන ඉන්න වෛරසවේදීන්ගේ ප්‍රශ්නයක් නිසා. ඔවුන් එහෙම රාජකාරි කළත් ඊටපස්සේ ඒකට අතිකාල ඉල්ලනකොට වවුචර් පවා විසිකරන සත්ත්ව ගණයේ හැසිරීමක් පෙන්වනවා. එතකොට එ්ගොල්ලොන්ට මේ වෙලාවේ උත්තර දෙන්න බෑ අපිට වගකීමක් තියෙන නිසා. ඒ නිසාත් මේ රසායනාගාර පරීක්ෂණ ප්‍රමාද වෙනවා. ඊළඟ එක තමයි, සිස්ටම් එක ඇත්තටම වෙනස් වෙන්න ඕ‌නෙ මේ වෙලාවේ. ඉදිරිය ගැන පුරෝකථනය කරනවා නම් අපිට කොහොමත් මේ ප්‍රමාණයේ ධාරිතාවක් මදි.

මේකට ඔබේ විසඳුම පැහැදිලි කළොත්..?

මේ ධාරිතාව තුන් ගුණයක් කරන්න පුළුවන්, අපි යෝජනා කරලා තියෙන විදියට පොයින්ට් ඔෆ් කෙයා (ස්ථානීය පීසීආර් පරීක්ෂණ) පීසීආර් සිස්ටම් එකක් අපිට විමධ්‍යගත කරලා දෙනවනම්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාගේ ඉඳන් සියලු බලධාරීන්ට යෝජනා දීලා තියෙනවා. ඒ වුණාට කිසිවෙක් මේ වෙනකම් ඒ ගැන සාකච්ඡා කරලා නෑ. ඒ නිසා අපි අනතුරු අඟවනවා මේ ක්‍රමයට ගියොත් ඉදිරියේදී රසායනාගාරවල එකම පරීක්ෂණයක්වත් කරන්නැති තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. එක පැත්තකින් බලධාරීන් අපිට හිරිහැර කරනවා. වැඩ කරන්න දෙන්නේ නෑ. ජාතික රෝහලයි, වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ තැන්වලයි අවශ්‍ය පහසුකම් දෙන එක කෙසේ වෙතත් පුද්ගලයෙක් තමන්ගේ සේවා කාලයෙන් පස්සේ කරන අතිකාලය අනුමත නොකරන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් කරන්නේ නෑ. අපිට වර්ජනයක් කරන්න පුළුවන් මේකට වහාම. නමුත් අපි මේ වෙලාවේ ඒක කරන්නේ නෑ. අපිට ඊට වඩා වගකීමක් රට වෙනුවෙන් කරන්න තියෙන හින්දා.

මේ ඔක්කොම එක්ක කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද..?

මේ කාරණා සියල්ල එක්ක අපි කියන්නේ හොඳම දේ තමයි මධ්‍යගත රසායනාගාර එහෙම්ම තියෙද්දි ලංකාවේ මූලික රෝහල් 71 සහ දිස්ත්‍රික් රෝහල් 400ක් තියෙනවා. ඒ 400න් තෝරාගත් රෝහල්වල, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඉන්න තැන්වල අපිට වහාම ක්‍රියාත්මක වන පරිදි පොයින්ට් ඔෆ් කෙයා පීසීආර් පරීක්ෂණ ඒ කියන්නේ ස්ථානීය පීසීආර් පරීක්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පටන් ගන්න පහසුකම් දෙන්න. අපිට පුළුවන් ඒ වැඩේ කරන්න.

පවතින පරීක්ෂණ ධාරිතාව වැඩි කරන්න කොච්චර කාලයක් යයිද?

ඒ පිළිබඳව අපි දීලා තියෙන යෝජනා සාකච්ඡා කරනවා නම්, අපිට සතියෙන් මේ ධාරිතාව හතර ගුණයකින් වැඩි කරලා දෙන වගකීම බාරගන්න පුළුවන්. හැබැයි එ් වගකීම වෙන අයට පවරලා අපෙන් ප්‍රශ්නයට උත්තර අහන්න එපා කියලා අපි සෞඛ්‍ය බලධාරීන්ට කියනවා.
Previous articleඒක පුද්ගල ණය ලක්ෂ දෙකකින් ඉහළට – වාර්ෂිකව ලක්ෂ අට හමාර බැගින් ණය ගෙවීමට ඔබ සූදානම් ද?
Next articleවසංගතය ලොකු පාඩමක් : සාමූහික වගකීම අත්හරින්න කිසිකෙනෙකුට අයිතියක් නෑ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here