පීසීආර් 21,000ක් හිරවෙලා : පරණ වාර්තා දුන්නට වැඩක් නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

(නිලුක සඳුන් පද්මසිරි)
දැන් නිකුත් කෙරෙන පීසීආර් පරීක්ෂණ වාර්තා දින ගණනක් පැරණි ඒවා බවත්, මෙසේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වුවහොත් කොරෝනා වසංගත තත්ත්වය තවත් උත්සන්න විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ ක⁣ළේය.
සාමාන්‍ය රෝගීන්ටත් මේ වන විට දැඩි සත්කාර ඒකක ඇඳක් (අයිසීයූ) ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද පැවසූ ඔහු, නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට ඇති ස්ථාන පවා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් සඳහා වෙන්කර ඇති බව ද සඳහන් කර සිටියේය.
මෙරට සෞඛ්‍ය සේවාවේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති තත්ත්වයක් යටතේ තවදුරටත් මේ සීමා ඉක්මවා ගියහොත් සෞඛ්‍ය සේවාව කඩාගෙන වැටීමේ බරපතළ අනතුරක් ඇතැයි ද සඳහන් කළ ලේකම්වරයා, ඇතැම් දිස්ත්‍රික්කවල එවැනි තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බව ද අවධාරණය කළේය.
MediaLK සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ අදහස් පළකළේය.
ලංකාවේ දැන් පවතින තත්ත්වය තීරණාත්මක බවත්, එවැනි තත්ත්වයකදී අනිවාර්යයෙන් සංචරණ සීමා පැනවිය යුතු බවත් පෙන්වා දුන් ලේකම්වරයා, මේ පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් පිළිනොගතහොත් තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වනු ඇති බවත්, එසේ වුවහොත් ලංකාවත් ඉන්දියාව වැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමේ ඉඩක් ඇති බවත් පෙන්වා දුන්නේය.
ලේකම්වරයා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…
මේ එන්නේ පරණ පීසීආර් පරීක්ෂණ වාර්තා ද, මොකක්ද ඇත්ත… ?
මෑතකදී සිදුකරපු පීසීආර් වාර්තා නෙමෙයි ඔය එන්නෙ. දින කිහිපයකට කලින් ඒවා. දවස් 5, 6, 7, 8 පරණ ඒවා, සමහර අවස්ථාවල දවස් 10ක් පරණ පීසීආර් වාර්තා තමයි එන්නේ. මැයි හතරවැනිදා කරපු පීසීආර් පරීක්ෂණ වාර්තා එන්නේ අටවැනිදා. ඊට පස්සේ කරපු ඒවා තවත් නෑ. මොනරාගල දිස්ත්‍රික්කයේ මැයි දෙවැනිදා කරපු පීසීආර් වාර්තා මේ වෙනකම් නෑ. මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය මේකයි. පීසීආර් සාම්පල් 21,000ක් විතර ලැබ්වල හිරවෙලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා.
ඒකට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා. රසායනාගාරවලට දිනපතා ලැබෙන පීසීආර් ප්‍රමාණය වැඩියි. දිනකට පීසීආර් 25,000ක් පමණ සිදුකෙරෙනවා.රසායනාගාරවල ධාරිතාව ඉක්මවා සාම්පල් ලැබීමත්, ඒ සඳහා දැනුම තියෙන රසායනාගාර කාර්මික ශිල්පීන් ප්‍රමාණවත් නොවීමේත් ගැටළුවක් තියෙනවා. ඉතා ඉක්මනින් මේවා කරන්න බෑ. පැය අටක් විතර යනවා. ඒත් එක්ක සාම්පල් ගොඩගැසීමක් සිද්ධ වෙනවා. ඒකෙන් ඔවුනුත් දැඩි අපහසුතාවට පත්වෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි. සේවා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමත්, ඉහළ තාක්ෂණයෙන් යුත් උපකරණ හා රසායනාගාර කට්ටල ලබාදීමත්, සේවක අඩුපාඩු තියෙන තැන්වලට විශ්‍රාම ගිය හෝ කොන්ත්‍රාත් පදනම මත හෝ නිලධාරීන් බඳවාගැනීමත් කාලෝචිතයි කියන මතයේ අපි ඉන්නවා. විශේෂයෙන් මේ දිනවල රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය නිසා විශ්ලේෂණ වාර්තා මේ විදිහට ලැබෙන එක ගැටළුවක්.
සීග්‍ර ව්‍යාප්තියක් තියෙන වෛරසයක් සමගයි අපි සටන් කරන්නේ. ඉතින් අපිට දවස් පහක්-හයක් පරණ විශ්ලේෂණ වාර්තා ලැබෙනවා කියන්නේ කිසිම තේරුමක් නෑ. වාර්තා එන්න දවස් හතක් ගියාට පස්සේ ඒ රෝගියා රෝහල්ගත කළත් වැඩක් නෑ. වෙනත් අමාරු නැත්නම් දවස් දහයකින් පස්සේ අනිවාර්යයෙන් රෝහලෙන් ගෙදර යවනවා. ඒ වගේ තත්ත්වයක් තුළ ප්‍රදේශවාසීන් සහ පීසීආර්වලට ලක්වූ අය ගැටළුවකට මුහුණ දෙනවා. තමන් ආසාදිත ද කියන එක බලාගන්න විදිහක් නෑ. වැඩපොළකට යන්න විදිහක් නෑ. ප්‍රදේශවාසීන් සැකයෙන් ඉන්නේ අසල්වැසියාගෙ පීසීආර් පරීක්ෂණය කොයිවෙලාවෙ පොසිටිව් වෙයිද කියලා. ඒ වගේම ආශ්‍රිතයන් තැන්-තැන්වල සැරිසරලා, වෛරසය පැතිරිලා වෙන්න පුඵවන්. මේ වාර්තා ඉක්මනින් ආවේ නැත්නම් තවත් රෝගය උත්සන්න වෙන්න පුළුවන්. මේවට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම මගින් මේක යම්තාක් දුරට පාලනය කරගන්න පුළුවන්.
ඔබේ සංගමය මේ ගැටළුවට යෝජනා කරන විසඳුම මොකක්ද ?
අපි යෝජනා කරනවා, රජයේ රසායනාගාරවල දරන්න බැරි ධාරිතාවක් තියෙනවා නම් පුද්ගලික අංශ එක්ක එකතුවෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ පීසීආර් කරන්න. සෞඛ්‍ය අමාත්‍යංශය එහෙම සහාය මීට පෙරත් අරගෙන තියෙනවා. වෛරසය මේ වෙලාවේ රට තුළ සීග්‍රයෙන් පැතිර යන නිසා පුද්ගලික අංශයෙනුත් යම් සහායක් ලබාගැනීමේ කිසිම ගැටළුවක් නෑ. ඒ ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කරන්නෙ කොහොමද කියලා රජය තීරණයක් ගන්න ඔ්නෙ. ගෙවනවද, ගෙවනව නම් ගෙවන්නෙ කොහොමද වගේ තීරණ. කොහොම වුණත් වඩා වැදගත් වෙන්නෙ ඉතාම ඉක්මනින් තීරණයක් ගන්න එක.
රටම ලොක්ඩවුන් කරන්න අවශ්‍ය ද, නැද්ද ?
මේ දිනවල තියෙන තත්ත්වය ‍සෞඛ්‍ය සේවාවට දරාගන්න අමාරුයි. රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන් පිරිලා. සාමාන්‍ය රෝගීන්ටවත් අයිසීයූ බෙඩ් එකක් ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාගන්න තියෙන ස්ථාන පවා මේ වෙද්දි මේ සඳහා වෙන්කරලා තියෙනවා. සෞඛ්‍ය සේවාවේ උපරිම මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ. එතැනින් එහාට යනවා කියන්නේ සෞඛ්‍ය සේවාව ගුණාත්මක සේවාවක් විදිහට දෙන්න බැරි විදිහට කඩාගෙන වැටීමේ බරපතළ අවදානමක් තියෙනවා. එවැනි තත්ත්වයක් සමහර දිස්ත්‍රික්කවල ඇති වෙලා තියෙනවා.
ඇත්තටම දැනටමත් ප්‍රමාද වැඩියි. අපි මීට සෑහෙන දවසකට පෙර දැනුම් දුන්නා, රට තුළ සංචරණ සීමා පැනවිය යුතුයි කියලා. ඒවා අදාළ වෙලාවට සිද්ධ වුණේ නෑ. මම හිතන්නේ පනවන ලද සංචරණ සීමාත් යම් – යම් පුද්ගලයන්ගේ බලපෑම් මත ඉවත් කරන ආකාරය දකින්න ලැබුණා. අවාසනාවන්ත සිදුවීම් ඒවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගත නොහැකි ඒ පිළිබඳ දැනුමක් නැති අය මේවාට මැදිහත්වීම බරපතළ තත්ත්වයක්. තවදුරටත් යම් යම් ප්‍රදේශවල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඉතා විශාල වශයෙන් කාර්යාලවලට සේවකයන් ගෙන්වනවා. ඔවුනුත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අය. මේ මගින් මේක තවදුරටත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ලංකාවෙ දැන් තියෙන තත්ත්වය ඉතාම තීරණාත්මකයි. එවැනි තත්ත්වයකදී සංචරණ සීමා පැනවීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ප්‍රමාද වෙලා හෝ පළාත් වශයෙන් එවැනි තීරණයක් අරගෙන තියෙනවා. ඒක ප්‍රමාණවත්ද කියන එක ගැටළුවක්. මෙහෙම හිතුවක්කාරී විදිහට ගියොත් ඉන්දියාව වගේ අවසනාවන්ත තත්ත්වයකට ලංකාව පත්වෙන්න පුළුවන්.
උතුරෙදි වගේම දකුණෙදිත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව ඉදිරිපත් කරමින්, පොලිසිය පුද්ගලයන්ව කකුල්වලින් උස්සගෙන යනවා අපි දැක්කා. නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණාත්මක වගකීමක් දරන පාර්ශ්වයක් වන ඔබට, ඒ ගැන තියෙන්නෙ මොන වගේ අදහසක් ද…?
එවැනි සිද්ධි සීයට සීයක් අනුමත කරන්න බෑ. හැබැයි කිසියම් පුද්ගලයෙකුට කියලා-කියලා ඒ ක්‍රියාදාමය කරන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටක විනයක් නැත්නම් ඒ රට පිරිහෙනවා. චීනය වගේ සමහර රටවල් මේ සම්බන්ධයෙන් දැඩි තීරණ ගත්තා. තදින් නීතිය ක්‍රියාත්මක කළා. පාරේ අනවසරයෙන් වෙළෙඳාම් කරපු අය, සැරිසැරූ අය හමුදා සහ කැරලි මර්දන පොලිසිය මෙහෙයවලා මැඩපැවැත්වුවා. අපි කියන්නේ නෑ, රබර් උණ්ඩවලින් වෙඩි තියන්න කියලා. නමුත් මිනිස්සු මේවා අහන්නේ නැත්නම් ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමක් අත්‍යවශ්‍යයි. මේකෙදි විතරක් නෙමෙයි, ඕනෙම තැනකදි එහෙම අහන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අවස්ථාවේදී වෙන කරන්න දෙයක් නැත්නම් ඒ පුද්ගලයන් මෙල්ල කරන්න නම් අධිකරණයට ඉදිරිපත් කරන්න වෙනවා.
හැබැයි ඔවුන්ව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ට අවදානමක් තියෙනවා. අපි දැක්කා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට සමහර තැන්වලදි ආසාදිත පුද්ගලයන් කෙළ ගැහුවා. පුද්ගලයන්ගෙ මානසික තත්ත්වය ගැන අපි දන්නෙ නෑ. එවැනි අවස්ථා වළක්වාගැනීමත් වැදගත් වෙනවා.
මේ වෙලාවෙ පොදුවේ ජනතාව දැනුම්වත් කරන්න මොනවද කරන්න ඕනේ… ?
කෝටි දෙකකට වැඩි මේ රටේ ජනතාව මේ ලෙඩේ ගැන දන්නෙෑ කියලා දැන් කිව්වොත් ඒක විහිළුවක්. හැමෝම දන්නවා. නමුත් මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ජනතාවට පූර්වාදර්ශ නැතිකම, නැත්නම් වගකිවයුත්තන් පූර්වාදර්ශ සපයන්නෙ නැති එක. අපි දන්නවා සෞඛ්‍ය අංශ උපරිම මහන්සියෙන් කටයුතු කරනවා. සෞඛ්‍ය අංශයේ හැම සේවාවක්ම, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සිට ඉහළටම. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රෑ නිදි මරාගෙන සේවය කරනවා.
ඒ වගේම ඇතැම් දෙපාර්තමේන්තු වගකීමෙන් කටයුතු කළා පසුගිය දවස්වල. වි⁣⁣ශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ සම්බන්ධ අංශ පාසල් වැසීමට තීරණය කළා, පාසල් සිසුන් සහ ගුරුවරුන් එක්රැස්වීම වළක්වන්න. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සීමාකිරීම් කළා. ඒ වගේම වැදගත් තීරණයක් ගත්තා, ගැබිණි කාන්තාවන් සේවයට ගෙන්වීම වළක්වන්න. පඩි සහිතව නිවසේ සිට වැඩකරන්න ඔවුන්ට අවස්ථාව සලසා දුන්නා. මේ වගේ සාධනීය පියවර අරන් තියෙනවා.
හැබැයි සමහර අංශවල බලධාරීන් කිසිදු පියවරක් අරන් නෑ මේ සම්බන්ධයෙන්. ප්‍රවාහන අමාත්‍යාංශය මගින් පසුගිය දවස්වල සාකච්ඡා කරලා බස් ගාස්තු වැඩි කරලා නව රෙගුලාසි හඳුන්වලා දුන්නා. ඒවා කීයෙන්-කීදෙනාද ක්‍රියාත්මක ක⁣⁣ළේ. නමුත් ඒ සම්බන්ධයෙන් අධීක්ෂණයක් නියාමනයක් වෙන්නේ නෑ.
ඒ වගේම තවත් සමහර අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු තියෙනවා ඔවුන්ගෙන් මේ සඳහා ලැබෙන දායකත්වය ඉතාම අල්පයි. ඉතින් මේ වෙලාවේ අංශ කිහිපයකට විතරක් මේක පාලනය කරන්න දීලා අනෙක් අය ඇස්-කන් වැසුණා සේ සිටීම ගැටළුවක්. ඒකයි මේ වෙලා තියෙන්නේ. ජනතාව මේ ගැන නොදැනුවත් කියන්න බෑ. ජනතාවත් ඇත්තටම වගකියන්න ඕනෙ. මොකද මේක එක පුද්ගලයෙකුට එක අංශයකට විතරක් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමෝටම වගකීමක් තියෙනවා. අපි නිරන්තරයෙන් මතක් කරනවා, නිවසින් බැහැරව යද්දි මුහුණු ආවරණය දාලා ද බලන්න කියලා. කාගෙන් හරි ඉල්ලගත්ත එකක් හරි එල්ලගත්ත එකක් හරි නෙමෙයි. ඒක ආරක්ෂිත මුහුණු ආවරණයක් වෙන්න ඕනෙ. නැත්නම් ආරක්ෂාවක් සැලසෙන්නේ නෑ. නිවැරදි විදිහට ඒක පළඳින හැටි අපි කියලා දීලා තියෙනවා. ඒක අතපතගෑමෙන් වළකින්න, තමන් යන කාරණාව ඉවර වෙනකම් ගලවන්න එපා කියලා අපි දැනුම්දීලා තියෙනවා. ආරක්ෂිතව සමාජයෙ හැසිරෙන්නේ කොහොමද කියන එක, දුරස්ථව කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි කියලා දීලා තියෙනවා. අත සබන් දාලා හෝදන්නේ කොහොමද මේ හැම දෙයක්ම මාධ්‍ය මගින් කියනවා හැම අවස්ථාවෙම.
මේ නව ⁣ප්‍රභේදය ගැන අලුත් අවුරුද්දට පෙර සිට ම අනතුරු ඇඟවීම් කළ බවට වාර්තා පළවෙනවා. ඒත් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන්නෙ අවුරුද්දෙන් පස්සෙ තහවුරු වූ බවක්…?
ඔව්. අවුරුද්දට පෙර සිට ම සංගමයක් විදිහට මේ ගැන අපිත් දිගින්-දිගටම අනතුරු ඇඟවීම් කළා.
Previous articleහෙද සේවයේ 2,300කට එන්නත නෑ : සෞඛ්‍ය සේවය කඩාවැටීමේ අවදානමක් – සමස්ත ලංකා හෙද සංගමය
Next articleඉටුකම අරමුදල – දැනුවත් කරන්න මිලියන 67යි : පීසිආර් කරන්න මිලියන 42යි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here