ඉටුකම අරමුදල – දැනුවත් කරන්න මිලියන 67යි : පීසිආර් කරන්න මිලියන 42යි !

කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීම් සඳහා ඉටුකම – සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් 6,75,43,967 ක මුදලක් (හයකෝටි හැත්තෑපන් ලක්ෂ හතළිස් තුන්දහස් නවසිය හැට හතක්), එනම් රුපියල් මිලියන 67ක් වැයකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නමුත් කොවිඩ් 19 වෛරසය ආසාදිත බව හඳුනාගැනීමේ පීසීආර් පරීක්ෂණ සඳහා එම අරමුදලෙන් වැයකර ඇත්තේ රුපියල් 4,26,05,812 ක මුදලක් (හාරකෝටි විසි හය ලක්ෂ පන්දහස් අටසිය දොළහක්), එනම් රුපියල් මිලියන 42 කි.
නිරෝධායන කටයුතු සඳහා මේ අරමුදලෙන් රුපියල් 3,80,31,065 ක මුදලක් (තුන්කෝටි අසූ ලක්ෂ තිස්එක් දහස් හැට පහක්), එනම් රුපියල් මිලියන 38ක් වැයකර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම අරමුදලේ මේ වන විට පවතින රුපියල් 136,09,22,969.24 (කෝටි 136ක්), එනම් රුපියල් මිලියන 1,360ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අරමුදලට බැර වූ මුළු මුදල රුපියල් 175,24,02,793.24ක් (කෝටි 175ක්), එනම් රුපියල් මිලියන 1,752ක් බවත්, එයින් මේ වන විට වැය කර ඇති මුදල රුපියල් 39,14,79,824.00 ක් (කෝටි 39ක්), එනම් රුපියල් මිලියන 391ක් බවත්, එය සමස්ත එකතු වූ මුදලින් සියයට 23ක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.අරමුදලේ ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැයකිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා මුදලක් වුවද, එය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව අරමුදලේ මුදල් වැය කළ ආකාරය පහත පරිදි වේ.
වසංගතය වෙනුවෙන් දරා ඇති වියදම්
➢ PCR පරීක්ෂණ ආශ්‍රිත වියදම් – රු. 42,605,812 (මිලියන 42.6)
➢ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා – රු. 67,543,967 (මිලියන 67.5)
➢ නිරෝධායන කටයුතු ආශ්‍රිත වියදම් – රු. 38,031,065 (මිලියන 38)
➢ පරිපාලන වියදම් – රු. 3,000
අපේක්ෂිත වියදම්
➢ එන්නත්කරණය ආශ්‍රිත වියදම් – රු. 41,545,980 (මිලියන 41.5)
➢ ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා – රු. 194,000,000 (මිලියන 194)
➢ ICU ඇඳන් මිලදී ගැනීම සඳහා – රු. 7,750,000 (මිලියන 7.7)
ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුළු මුදල – රු. 391,479,824 (මිලියන 391.4)
මෙම සියලු වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය මඟින් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ අදාළ නිවේ⁣දනයේ සඳහන් ය.මෙරට පදිංචි ජනතාව, දේශීය ආයතන කිහිපයක් සහ විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉටුකම කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කර ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන කොවිඩ්-19 අරමුදලට දායක වී නැති බවත් එහා වැඩිදුරටත් සඳහන් වේ.
එහි මෙසේද දැක්වෙයි.
‘ජාත්‍යන්තර නීති අනුව විදේශ ආධාර හා පරිත්‍යාග සිදුකෙරෙනුයේ මහා භාණ්ඩාගාරය වෙත ය. මෙම අරමුදලත්, ජාත්‍යන්තර ආයතනවලින් ලද පරිත්‍යාගත් අතර කිසිදු සම්බන්ධතාවක් නැත. තවද 2020 වර්ෂය තුළ කොවිඩ් 19 අරමුදලට මහජන පරිත්‍යාග වැඩි වශයෙන් ලැබුණද, 2021 වර්ෂයේ අප්‍රේල් මස තෙක් ලැබී ඇති පරිත්‍යාගවල මාසික සාමාන්‍ය රුපියල් මිලියන 7ක් පමණ වේ.මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්වල ප්‍රචාරණය වන තොරතුරු සත්‍ය නොවන අතර, 2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇතැයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය කියා සිටී.’
Previous articleපීසීආර් 21,000ක් හිරවෙලා : පරණ වාර්තා දුන්නට වැඩක් නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
Next articleමැයි 18 : වසංගතයට මුවා වී චීනයට ඉඩම් ලියන දවස ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here