හෙද සේවයේ 2,300කට එන්නත නෑ : සෞඛ්‍ය සේවය කඩාවැටීමේ අවදානමක් – සමස්ත ලංකා හෙද සංගමය

(නිලූක සඳුන් පද්මසිරි)
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල හෙද සේවය සඳහා අලුතින් පත්වූ 2,300කට අධික සංඛ්‍යාවකට මෙතෙක් කිසිදු කොරෝනා එන්නතක් ලබාදී නැති බවත්, මෙය සෞඛ්‍ය සේවයේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරනු ඇති බවත්  සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ අලුතින් හෙද සේවයට එක්වූ 381කට එන්නත ලබාදී නැතැයිද, එහි පෙර සිට සේවය කළ නමුත් විවිධ හේතු මත පළමු කොරෝනා එන්නත ලබාගත නොහැකි වූ හෙදියන් 400කට පමණ ද මේ වන තෙක් එන්නත ලබාදී නැතැයි ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම රෝහල්වල අත්‍යවශ්‍ය උපකරණවල බරපතල හිඟයක් ඇති බවත්, ජාතික රෝහලේ සේවකයන්ට මුහුණු ආවරණ, පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ) අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
‘අද උදේ ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය කිව්වා සර්ජිකල් මාස්ක් දෙකක් දාන්න කියලා. අපි කියන්න කැමතියි සර්ජිකල් මාස්ක් දෙකක් තියා එකක්වත් දාන්න ජාතික රෝහල තුළත් මාස්ක් නෑ. දෙකක් දාන්න කලින් එකක් දාන්න අවශ්‍ය ප්‍රමාණය හරි ගෙනැත් දෙන්න’ යැයි ලේකම්වරයා MediaLK සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…
කොරෝනා පාලන කටයුතුවල නිරතවෙලා ඉන්න හෙද සේවයේ පිරිසට මේ වෙනකොට තියෙන අඩුපාඩු මොනවාද ?
අත්‍යවශ්‍ය උපකරණවල බරපතල හිඟයක් තියෙනවා. සැකකටයුතු කොරෝනා රෝගීන් ළඟට යනකොට ඇඳගෙන යන පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ) දවස් ගාණක් ලැබෙන්නැතුව තිබිලා, සති දෙකහමාරකට පස්සෙ 800ක ප්‍රමාණයක් ගිය සතියෙ ලැබුණා. දවසකට ජාතික රෝහලේ මේවා අවශ්‍යතාව 800-1000ක් අතර ප්‍රමාණයක්. ශල්‍යාගාරවලට, දැඩි සත්කාර ඒකකවලට, කොරෝනා වාට්ටුවලට වගේ. ඒවා හරියට ලැබෙන්නේ නෑ අවශ්‍ය ප්‍රමාණයට. මුළු රටේම ගත්තහම ලැබෙන උපකරණ ලොකු හිඟයක් තියෙනවා. පීපීඊ, සර්ජිකල් මාස්ක්, එන්95 මාස්ක්. ජාතික රෝහලට එන් 95 මාස්ක් 1,000ක් වගේ ප්‍රමාණයක් තමයි දෙන්නේ දවස් තුනකට.
ජාතික රෝහලට දිනකට මේ මාස්ක් කීයක් අවශ්‍යද ?
ඉන්ෆෙක්ෂන් කොන්ට්‍රෝල් එකෙන් ගත්ත විස්තර අනුව දිනකට 700-800ක් වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. දවස් තුනකට සැරයක් මාස්ක් 1,000ක් දීලා හරියන්නේ නැහැනේ. ඒක බරපතළ කාරණයක්. අද උදේ ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය කිව්වා සර්ජිකල් මාස්ක් දෙකක් දාන්න කියලා. අපි එයාට කියන්න කැමතියි සර්ජිකල් මාස්ක් දෙකක් තියා එකක්වත් දාන්න ජාතික රෝහල තුළත් මාස්ක් නෑ. දෙකක් දාන්න කලින් එකක් දාන්න අවශ්‍ය ප්‍රමාණයට හරි ගෙනැත් දෙන්න.
අනෙක නිසි ක්‍රමවේදයකට නෙමෙයි කොරෝනා වාට්ටු ඇතිකරන්නේ. ජාතික රෝහල පුරාම කොරෝනා වාට්ටු දාලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය රෝගීන් සහ කාර්යමණ්ඩලය බරපතළ අනතුරකට මුහුණ දෙනවා. තට්ටු ගණනාවක වාට්ටු කිහිපයක් තියෙන ගොඩනැගිල්ලක කොරෝනා වාට්ටුවක් – දෙකක් පටන් ගන්නවා. අනෙක් වාට්ටුවල සාමාන්‍ය රෝගීන්. සෙකන්ඩ් මෙඩිකල් ෆ්ලෝ එකේ 47 ඒ වාට්ටුවෙ කොරෝනා වාට්ටුවක් පටන් අරගෙන තියෙනවා. තර්ඩ් මෙඩිකල් ෆ්ලෝ එකේ 56  වාට්ටුවත්, 14 වාට්ටුවත් 56-ඒ වාට්ටුවත් අරගෙන තියෙනවා කොරෝනාවලට. අන්න එහෙම වාට්ටු තුනක් සහ ඒකෙ දැඩිසත්කාර ඒකකය අරගෙන තියෙනවා. 32 වාට්ටුව, 24 වාට්ටුව, 52 වාට්ටුව. අන්න එහෙම තැන් ගණනාවක් අරගෙන. කොරෝනා රෝගීන් හැමතැනම ඉන්නවා. විධිමත් ක්‍රමවේදයකට අනුව සැලසුම් කරලා නෑ. මේ වෙනකොට ඒ කාරණය බරපතළයි.
කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ නැවතිලා කියලා ඔබ නියෝජනය කරන සංගමය ප්‍රකාශ කරලා තිබුණා. මොකක්ද මේ කතාව…?
කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ කරන එක 07 වැනිදා උදේ 11ට වගේ නැවතුණේ. දවස් දෙකක් විතර ඇන්ටිජන් පරීක්ෂණ නැවතිලා තිබුණා. ඇන්ටිජන් ටෙස්ට් කිට් ලබානොදීම තමයි හේතුව. නැවත ඊයෙ හවස එක වෙනකොට ඇන්ටිජන් පරීක්ෂණ කිරීම ආරම්භ කළා. නමුත් සැලකිය යුතු මට්ටමකින් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමක් වෙන්නේ නෑ. මේ විදිහට නැවත ඇන්ටිජන් පරීක්ෂණ නැවතුණොත් විශාල අපහසුතාවක් ඇතිවෙනවා. ලෙඩ්ඩු ඇඩ්මිට් කරගන්න බැරුව, බලාගෙන ඉන්න වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඇන්ටිජන් පරීක්ෂණ සිදුවිය යුතුයි.
දැන් ගැටළුවක් නෑ… ?
දැන් කරගෙන යනවා. හදිසි අනතුරු අංශයේ ලොකු පිරිසක් ඇන්ටිජන් නැතුව ඇතුළුවෙලා හිටියා. ඒ අයගේ ඊයේ (09) හවස කරලා තිබුණා. දැන් වුණත් අවශ්‍ය ප්‍රමාණය ලැබිලා නැහැ. කොහෙන් හරි ගෙනැත් මේ අවලාදෙන් ගැලවෙන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒක වුණත් නිශ්චිත ප්‍රමාණවලින් ලැබෙන්නේ නැති එකක් තමයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ඇන්ටිජන් නැතිවුණොත් ඒ කාර්යය ඇණහිටින්න පුළුවන් නැවතත්.
කොවිඩ් මර්දන එන්නතේ ප්‍රමුඛතාව ලැබෙන්නෙ සෞඛ්‍ය සේවයේ සහ කොරෝනා පාලනයේ මුල්පෙළ ඉන්න පිරිසට. මේ වෙද්දි හෙද සේවයේ සියල්ලන්ට එන්නතේ එක මාත්‍රාවක් හෝ ලැබිලා තියෙනවාද?
දැන් රුසියාවේ ස්පුට්නික්, චීනයේ සිනොෆාම් වගේ එන්නත් ලංකාවට ගෙනැල්ලා එන්නත්කරණය සිදුකරනවා. නමුත් ජාතික රෝහලේ විතරක් එන්නත්කරණයට ලක්නොවුණු හෙද සේවයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉන් කොටසක් එනම් 381 දෙනෙක් අලුතින් පත්වීම් ලත් පිරිස. 400කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා, පළමු එන්නත ගහපු අවස්ථාවේ විවිධ හේතු මත එන්නත්කරණය සිදුකරගන්න නොහැකි වුණු අය. ගර්භණී නිසා, අසාත්මිකතා, නිවාඩු ලබා සිටීම වැනි කරුණු ඒවාට හේතුවුණා. එතකොට මේ වෙද්දි 780කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා, ජාතික රෝහලේ පමණක් එන්නත්කරණයට ලක් නොවුණු අය. ඔවුන් ලොකු අවදානමක ඉන්නෙ.
සමස්තයක් විදිහට රටේම තියෙන්නෙ මොන වගේ තත්ත්වයක් ද ?
මුළු රටේම අලුතින් පත්වීම් ලබපු හෙද සේවයේ 2,350 දෙනෙක් ඉන්නවා පළවැනි එන්නතවත් ලැබුණෙ නැති අය. අමාත්‍යංශය පම්පෝරි ගහනවා දැන් රටේ අනෙක් ඒවා ගැන. නමුත් ඒ ළමයින්ට එන්නතක් දීලා නෑ. ඒගොල්ලො මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන, ඒ වෙනුවෙන් වැඩ කරන අය. ඒ අයට කියන තැනට එයාලා ඩියුටි එකට යනවා. ඒ අයට මුලින්ම එන්නත දෙන්න ඔ්නෙ. හැබැයි තවම ආණ්ඩුව හෝ රෝහල් බලධාරීන් හෝ කිසිදු පියවරක් අරන් නෑ එන්නත ලබාදෙන්න. ස්පුට්නික් එන්නත ඇවිත් දැන් සතියකට වැඩියි. චීන එන්නතත් ඇවිත් සතියකට වැඩියි. අනෙක් අයට දෙනවා, නමුත් රෝහල් කාර්යමණ්ඩලවලට මේ වගේ දීලා නෑ. මේ වෙනකොට ගොඩක් කාර්යමණ්ඩලවල අය පොසිටිව් වෙලා තියෙනවා.
මේ වෙද්දි හෙද සේවයේ කීදෙනෙකුට වෛරසය ආසාදනය වෙලා තියෙනවාද ?
100කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි පොසිටිව් වෙලා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ වෙනකොට අයිඩීඑච් රෝහලේ විතරක් හෙද නිලධාරීන් අට දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. ඒ තොරතුරු එළියට දෙන්නේ නෑ.
බොරැල්ල ආයුර්වේද රෝහලේ හයදෙනෙකුට ආසාදනය වෙලා තියෙනවා. බොරැල්ල ආයුර්වේද රෝහලේ කිසිම සේවකයෙකුට එන්නතේ පළවැනි මාත්‍රාවවත් ගහලා නෑ. ජාතික රෝහලේ විතරක් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඒ අතර විශේෂ ශ්‍රේණියේ හෙදියන් තුන්දෙනෙක් සහ සිස්ටර්ලා දෙන්නෙක් ඉන්නවා. මේ ගණන් දවස ගානේ වැඩිවෙනවා. අයිඩීඑච් එකේ එහෙම හරියට ගණන් හදලා නෑ මම හිතන්නේ.
හෙද කාර්ය මණ්ඩලයේ ගර්භණී හෙද නිලධාරිනියන් සම්බන්ධයෙන් සිදුකෙරෙන ක්‍රියා පටිපාටිය මොකක්ද ?
හෙද කාර්ය මණ්ඩලයේ ගර්භණී හෙද නිලධාරිනියන්ට සහ කිරි දෙන මව්වරුන්ට පසුගිය කොරෝනා වසංගතය අවස්ථාවේ, ඒ කියන්නෙ මේ වගේ ප්‍රබල නැති අවස්ථාවක ඒගොල්ලොන්ට ලබාදුන්නා විශේෂ පහසුකම් ප්‍රමාණයක්. ඔවුන්ගේ ආසන්න රෝහලක සේවය කරන්නත් ඉඩදුන්නා. ඔවුන්ට විශේෂ නිවාඩු දුන්නා. නමුත් දැන් එහෙම නෑ. රාජ්‍ය සේවයේ අනෙක් සියලු පිරිස් කැඳවීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. අනෙක් රාජ්‍ය ආයතනවල ගර්භණී අයට විශේෂ වරප්‍රසාද තියෙනවා. හැබැයි හෙද සේවාව තුළ රටපුරාම රෝහල්වල කිසිදු ගර්භණී හෙද නිලධාරිනියකට හෝ කිරි දෙන මවකට කිසිදු වරප්‍රසාදයක් නෑ. අනෙකුත් හෙද නිලධාරිනියන් හා සමානවම වැඩ කරනවා. එතකොට මාස්ක් එක දාගෙන හිරවෙලා ඉන්න එක ගර්භණී මව්වරුන්ට බරපතළ තත්ත්වයක්. බබාටයි, එයාටයි දෙන්නටම ඔක්සිජන් අවශ්‍යයි. මාස්ක් දෙකක් දාන්න කියලනේ ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය කියන්නේ. එහෙම දාපුවම හුස්ම ගන්න අමාරුයි. දරුවට බරපතළයි එහෙම වුණාම. සෞඛ්‍ය බලධාරීන් කිසිදු පියවරක් අරගෙන නෑ එයාලා සම්බන්ධයෙන්. අපි ඉල්ලන්නේ අඩුම තරමෙ එයාලගේ නිවාස ආසන්නයක තියෙන රෝහලක සේවය කරන්න දෙන්න මේ වෙලාවෙ.
Previous article‘රෝහල් හැදුවට කාර්ය මණ්ඩලය කෝ? ’ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Next articleපීසීආර් 21,000ක් හිරවෙලා : පරණ වාර්තා දුන්නට වැඩක් නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here