‘රෝහල් හැදුවට කාර්ය මණ්ඩලය කෝ? ’ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ඇඳන් අලුතෙන් හැදුව ද, රෝහල් අලුතෙන් හැදුව ද රෝගීන් කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් රෝහල් කාර්ය මණ්ඩලයක් නොමැති වීම බරපතල තත්ත්වයක් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.
මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිට, අගමැතිට, සෞඛ්‍ය ඇමැතිට, සෞඛ්‍ය ලේකම්ට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට කීවද වැඩක් නොවූ බව ද ඒ හිමියෝ පැවසූහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය වෙත කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් යනු වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා වෙහෙස මහන්සි වි වැඩ කළ හිමිනමකි. ‘අපි අඩුපාඩු පෙන්වද්දි අපිට ආණ්ඩු විරෝධීන් කියනවා. අපි ආණ්ඩුවිරෝධීන් නෙමෙයි. ‘ යැයි ද ආනන්ද හිමියන් ප්‍රකාශ කළේය.
‘මේ වන විට හෙද නිලධාරීන් 246ක් කොවිඩ් නිසා රෝගී වෙලා ඉන්නවා. මේවා සත්‍ය වාර්තා. ආණ්ඩුව වගේ බොරු වාර්තා අපි දෙන්නේ නෑ.’ යැයි ද ඒ හිමියන් සඳහන් කළේය.
‘ඇඳන් සංඛ්‍යාව මදි රෝගීන්ට. සාත්තු සේවකයින් මදි රෝගීන්ට. පුහුණු හෙද නිලධාරීන් මදි. එන්න එන්න ව්‍යාප්ත වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ විමර්ශන වාර්තා බැලුවොත් සැප්තැම්බර් පළමුවෙනිදා වන විට කොවිඩ් මරණ 20800 දක්වා වර්ධනය විය හැකි බව තිබෙනවා.  මේක අපි ගාව විතරක් නෙමෙයි. ආණ්ඩුවෙත් තියෙනවා.’
‘ඒ අස්සේ අපි දැක්කා මේගොල්ලෝ ඇඳන් 1100ක රෝහලක් හදන්න හදනවා කියලා. රෝහල් හදන්න පුලුවන්. බිල්ඩින් හදන්න පුලුවන්. කෝ මේවට සේවකයෝ? කෝ මේවට පුහුණු හෙදියෝ? කෝ මේවට අවශ්‍ය වෛද්‍ය උපකරණ? මොනවත් නෑ. ඇඳන් 1100 හදලා දැම්මා කියලා මේක ජයගන්න පුලුවන්කමක් නෑ. අද සෑහෙන්න රෝහල් වහලා තියනවා කාර්ය මණ්ඩලය නැතුව. ඒ්වා ප්‍රතිසංස්කරණය කරලා ගන්න. ‘
කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා මීට පෙර දායක වූ වෛද්‍ය අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර, අමල් සිල්වා වැනි නිලධාරීන් මේ වන විට කොවිඩ් සම්බන්ධයෙන් ඇති කමිටුවකටවත් පත් කර නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ චෝදනා කළහ.
‘ අද අයාලේ යන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේවා හරියට කළමනාකරණය කරන්න බැරි නම්, සේවකයන් හරියට දෙන්න බැරි නම් අඩුම තරමේ සුමාන දෙකක්වත් මේ රට වහන්න. මේ රට වහන්නේ නැතිව මෙ යන ගමන සුබදායක වෙන්නේ නෑ. ‘
‘මේක තවදුරටත් ඉන්දියාවක් කරන්නේ නැතුව විශාලා මහනුවරක් කරන්නේ නැතුව දූරදර්ශීය මේක ඉවරයක් කරන්න. ‘
‘පළවෙනි එන්නත දුන්නා. දෙවැනි එක දීගන්න බෑ. හොර ගුහාවලින් මේක දෙන්නේ. ‘ යැයි ද ඒ හිමියෝ ප්‍රකාශ කළහ.
Previous articleඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි – විකල්ප යෝජනාවක් !
Next articleහෙද සේවයේ 2,300කට එන්නත නෑ : සෞඛ්‍ය සේවය කඩාවැටීමේ අවදානමක් – සමස්ත ලංකා හෙද සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here