ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි – විකල්ප යෝජනාවක් !

අධ්‍යාපනයේ විෂමතා තීව්‍ර කරන හා විකෘතිතා ඇති කරන ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවට වසංගත කාලය තුළ දරුවන්ට ගුණාත්මක හා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් වහාම ආණ්ඩුව සකස් කළ යුතු බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේය.

ඔහු මෙසේද කීවේය.

‘වසංගතයත් එක්ක දැන් නැවතත් පාසල් වහලා තියෙනවා. නමුත් ආරම්භ කිරීමට අදාළව දින නියමයක් නෑ. ආරම්භ කළත් යළි වසංගතයේ හතර වැනි රැල්ලක් ආවොත් යළි වසාදමන්න සිද්ධ වෙයි. මේ විදිහට වසංගතයේ උච්ඡාවචනයන් එක්ක පාසල් වසාදැමීම සහ විවෘත කිරීම වෙනුවට වසංගත කාලය තුළ අධ්‍යාපනයේ අඛණ්ඩතාවය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

අපි මීට පෙර පාසල් වසා දැමූ අවස්ථාවලදීත් මේ ගැන ආණ්ඩුවට කිව්වා. නමුත් ආණ්ඩුව ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඒ නිසා අපි මෙවර විධිමත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. පාසල්, පන්සල් හා දේවස්ථාන හැම ගමකම තියෙනවා. මේවා යොදාගනිමින් ගමේ දරුවන්ට ගමේම අධ්‍යාපනය දෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපි දන්නවා පාසල් විවෘත කිරීමට බැරි වසංගතය පැතිරෙන අවදානම නිසයි. ඒකට එක  හේතුවක් තමයි, පාසල්වල ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වීම. අනෙක ශිෂ්‍යයන්ට නිවසේ සිට පාසල් දක්වා විශාල දුරක් ගමන් කිරීමට සිදුවීම. නමුත් ගමේම පොදු තැනක දරුවන්ට අධ්‍යාපනය දෙන වැඩපිළිවෙළක් හැදුවොත් අවදානම අඩුයි.

ගමට අධ්‍යාපන මධ්‍යස්ථානයක්

ගමේම ගුරුවරු මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් ප්‍රමාණවත් නැත්නම් සහයක භූමිකාවක් සඳහා සංවර්ධන නිලධාරී පත්වීම් ලද උපාධිධාරීන් වුණත් සම්බන්ධ කරගැනීම ගැටළුවක් නෑ. මොකද අපි දන්නවා ඔන්ලයින් හරහා අධ්‍යාපනය අන්තිම අසාර්ථකයි. දැන් කෙරන ඔන්ලයින් ක්ලාස් ගත්තොත් ශිෂ්‍යයෝ සීයට 20ක්වත් සම්බන්ධවෙන්නේ නෑ. අනෙක ඒ සඳහා බොහෝ දරුවන්ට තාක්ෂණික මෙවලම් නෑ. අන්තර්ජාල පහසුකම් නෑ. පිරිවැය දරාගන්න බෑ. ඒ නිසා සාතිශය බහුතරයක් දරුවන්ට අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න බෑ.

අන්තර්ජාල පහසුකම් නෑ

අනෙක ඔන්ලයින් හරහා ඉගැන්වීමට කිසි පහසුකමක් නෑ. ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා පහසුකම් ඇති කරලා තියෙනවා. නමුත් අපේ රටේදි මේ කිසිවක් නෑ. වෙන් කරපු ප්‍රතිපාදනත් බිලියන 42කින් කැපුවා. ගුරුවරුන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් මේ පිරිවැය දරාගන්න බෑ. දරුවන්ටත් එහෙමයි. ඒ නිසා මේ ක්‍රමය අසාර්ථකයි. සමීක්ෂණවලට අනුව විශ්වවිද්‍යාලවලවත් සිසුන්ට මේ සඳහා පහසුකම් නෑ. දැනුම හා නිපුණතා නෑ. අන්තර්ජාල ආවරණය නෑ. එහෙම නම් පාසල්වල තත්ත්වය පැහැදිලියි.

අධ්‍යාපන අමාත්‍යාංශය කරන්නේ ගුරුවරුන්ට බොරුවට උපදෙස් දෙන එක විතරයි. නමුත් කිසි පහසුකමක් දෙන්නෙ නෑ. ඒ නිසා අපි කියනවා මේ විකෘති ඔන්ලයින් ක්‍රමවේදය වෙනුවට අපි ගේන යෝජනාව ක්‍රියාත්මක කරන්න. එතැනදි ගුරුවරයාගෙ සෘජු අධීක්ෂණයක් දරුවන්ට ලැබෙනවා. ඇතැම් පාඩම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ මධ්‍යස්ථානවලදී විකාශනය කළ හැකියි. එතැන ඉගෙනුම් පරිසරයක් හැදෙනවා. ගුරුවරු ඉන්නවා. ඒ නිසා දරුවන්ට මඟඅරින්න බෑ.

වන්දි ගන්න ක්‍රමයක් සකස් කරන්න

‘ගුරුවරු සහ දරුවෝ වසංගතයට ගොදුරුවෙමින් ඉන්නවා. හැබැයි රෝහල් ගතකරන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට අග්‍රහාර සහ සුරක්ෂා රක්ෂණ වන්දි ලබාගන්න බෑ. මොකද රෝහල් ගතවීමට අදාළ සහතිකයක් නැතුව ගෙවන්නෙ නෑ. ඒ නිසා අපි කියනවා MOH සහතිකයක් දුන්නම මේ වන්දි ගෙවීමට වැඩපිළිවෙළක් හදන්න කියලා.’ යැයි එම සංගමයේ සාමාජික වාස් ගුණවර්ධන පැවසීය.

නැවත සමීක්ෂණවලට පෙර සරසවිවලට සිසුන් බඳවාගන්න එපා

‘කැබිනට් මණ්ඩලය ගත් තීරණ දෙකකට අපි අපේ විරෝධය පළකරනවා. පළවැනි එක තමයි, ප්‍රතිඵල නැවත සමීක්ෂණවලට පෙර සරසවිවලට සිසුන් බඳවාගන්න. මේක බරපතළ අසාධාරණයක්. මොකද නැවත සමීක්ෂණවලින් තේරෙන සිසුන් බඳවාගන්න පුරප්පාඩු නැති වුණොත් ඒක දරුවන්ට අසාධාරණයක්. ඒ නිසා අපි කියනවා බඳවාගැනීම් නැවත සමීක්ෂණවලට පසු කළ යුතුයි. ඊළඟ එක තමයි, සාපෙළ හා උසස්පෙළ විභාග පැවැත්වෙන දින වෙනස් කරන තීරණයක් ගත්තා. අපොස සාපෙළ අගෝස්තු මාසයේ තියන්න යනවා. අපි අහනවා මාස 7කින් පුළුවන් ද 11 වසර විෂය නිර්දේශය අවසන් කරන්න. කොහොමද අඩුම ගාණෙ ප්‍රායෝගික පරීක්ෂණවලටවත් කාලය ප්‍රමාණවත් නෑ. අපි කියනවා මේ තීරණය ගනිද්දි විදුහල්පතිවරුන්ගෙන් අහන්න. ගුරුවරුන්ගෙන් අහන්න. එහෙම නැතුව දරුවෝ පරීක්ෂණාගාර මීයෝ ගාණට දාලා තීරණ ගන්න එපා.’
Previous articleරැලි කියන්නෙ කාලෙන් කාලෙට මිනිස්සුන්ට දෙන සීනිබෝල : දැන් නහයට උඩින් වතුර ගිහින් ඉවරයි – වසංගත රෝග විද්‍යාඥ ප්‍රසන්න කුරේ
Next article‘රෝහල් හැදුවට කාර්ය මණ්ඩලය කෝ? ’ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here