රැලි කියන්නෙ කාලෙන් කාලෙට මිනිස්සුන්ට දෙන සීනිබෝල : දැන් නහයට උඩින් වතුර ගිහින් ඉවරයි – වසංගත රෝග විද්‍යාඥ ප්‍රසන්න කුරේ

කොවිඩ් 19 වසංගත තත්ත්වයේ සීග්‍ර වර්ධනයක් ඇතිවීමට වසංගතය පාලනය සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ වැරදි කළමනාකරණය සහ රජයේ බලධාරීන් හා ආයතනවල අවිද්‍යාත්මක තීරණ හේතු වූ බව වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා පැවසීය.
මෙවැනි අවස්ථාවක ආණ්ඩුවේ වගකීම නිවැරදි තීන්දු තීරණ ගැනීම වුවත්, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ වසංගතය පාලනයේදී පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවේ වැරදි වසංගත කළමනාකරණය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ රජයේ ආයතන සහ බලධාරීන් අවිද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
හිටපු ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා මේ අදහස් පළකළේ MediaLK සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ය.

නැවියො නැති නැවක්

‘මේක නිකම් නැවියා නැති නැවක් වගේ. ඔහේ පාවෙනවා. අනෙක, අපේ රටේ තවමත් වසංගතය පාලනය කරන එක හමුදාවේ වගකීමක් වගේනේ යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මෙහෙයවන්නා හමුදා නිලධාරියෙක්නේ. මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද මේකෙන් දෙන පණිවුඩය? මේ සමස්ත තත්ත්වය මිනිසුන්ගේ සමාජ හා වෛද්‍ය විද්‍යාත්මක කාරණාවක්. වෛද්‍ය විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව මේක මිනිස්සුන්ගේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. මේවා සම්පූර්ණයෙන්ම බිඳලා දාලා, මේවා සැලකිල්ලට ගන්නේ නැතුව ඉතාමත් නරකම පාලන ක්‍රමයක් පවත්වාගෙන ගිය එකක් තමයි මෙතැනදි මම නම් දකින්නේ.’
මෙවැනි තත්ත්වයක් යටතේ, මෙවැනි කාලයකදී මාධ්‍ය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත්, පසුගිය වසර තුළ කොරෝනා වසංගතය සම්බන්ධ පුවත් පළකිරීමේදී මාධ්‍ය මගින් පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම ප්‍රබල ලෙස සිදු වූ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍යවරයා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…

බිහිරි අලින්ට වීණා වැයීමක්

විවිධ පාර්ශ්ව මේ තුන්වැනි රැල්ලේ වගකීම එක-එක තැන්වලට පටවන්න හදනවා අපි දැක්කා. විශේෂයෙන්ම දේශපාලනඥයන් ඒ වගකීම ජනතාව පිට පටවනවා අපි දැක්කා. මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ… ?
කොහේ තියෙන කතාවක්ද දැන් මේ ජනතාවට වරද පටවන්නේ. ලංකාවේ දෙපාරක්ද, තුන්පාරක්ද කොහෙද බොහොම ප්‍රසිද්ධියේ මේ වරද ජනතාව පිට පැටෙව්වා, ජනතාව පරෙස්සම් වෙන්නේ නෑ කියලා. අපේ සෞඛ්‍ය ඇමතිතුමිය පවා ඒක කිව්වා. ‘අපි කරන්න ඕනෙ හැමදේම කළා. දැන් ජනතාව අතේ තමයි මේක තියෙන්නේ’ කියලා. මම මේ දේ කලිනුත් කියලා තියෙනවා. මේ රටේ අපි කියන ඒවා බිහිරි අලින්ට වීණා වයනවා වගේ. ඒවා එහෙම සාකච්ඡාවට ගන්නෙවත් නෑ. ඒ වගේ දේවල් සාකච්ඡාවට ගන්න සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය වෙලත් නෑ.

පුද්ගල වගකීමේ මට්ටම් පහක්

මම මේකෙ වගකීම ගැන මට්ටම් පහකින් කිව්වා.පළවැනි එක තමයි, පුද්ගල වගකීම. Stay at Home කියන එක. ඒ කියන්නේ ගෙදර ඉන්න එක. ඒක හැම තිස්සෙම ප්‍රායෝගික නෑනේ. ඒත් ඒක අත්‍යවශ්‍ය, ප්‍රායෝගික අවස්ථාවලදී භාවිතා කරන්න ඕනේ. ඒක ඉතාමත්ම විද්‍යානුකූල හරි දෙයක්. ඒක අමුතුවෙන් තේරුම් කරන්න අවශ්‍ය නෑ. අපේ පෞද්ගලික අංශය මේ පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා ආණ්ඩුවට වඩා. ඒ කියන්නේ පෞද්ගලික අංශය යම් කිසි ප්‍රමාණයකට ගෙවල්වල ඉඳන් වැඩකරන්න ඉඩදීලා තියෙනවා. රටක පාලනයක් කියලා දෙයක් තියෙනවා නම්, පාලනය කරන්නේ බුද්ධිමත් මිනිස්සු නම් මෙන්න මේවා තමයි ප්‍රතිපත්තිමය තීරණ. ඒ වගේ දේවල් මොකුත් වුණේ නෑනේ මේ කාලය ඇතුළත. සෝඩා බෝතලේ ඇරියා වගේ තමයි ඔක්කොම සිද්ධ වුණේ. අපේ මුළු පාලන ක්‍රමවේදයම සෝඩා බෝතලය ඇරියා වගේ.
දෙවැනි කාරණය තමයි, ප්‍රජාව හැටියට සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම. සමාජ දුරස්ථභාවය කියන්නේ මේ රජයේ වැඩ එක්ක කොලොප්පමක්. රටේ නායකයෝ මේ සම්බන්ධව දෙන පණිවුඩය මොකක්ද ? කොරෝනා ආරම්භ වුණාට පස්සේ ගතවුණු මුළු අවුරුද්ද තුළම ආණ්ඩුව පැත්තෙන් කිසිම දුරස්ථභාවයක් පැවතුණේ නෑ මහජන උත්සවවල. කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් සහිත රටක් වන නවසීලන්තයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිව තනතුරින් පහතට දැම්මා, හරියට එයාගේ වැඩේ නොකළාට. ඔන්න නායකත්වය ක්‍රියාවෙන්ම පෙන්නපු අවස්ථාවක්.
තුන්වැනි කාරණාව තමයි, අපි වගේ වෘත්තිකයන්ගේ වගකීම්. මේ ගැන රටට සුදුසු දේ යෝජනා කරන එක වගේ දේවල්. වෘත්තිකයන්ගේ වගකීම තමයි, අපේ සැපයුම් දාමය සහ සේවා දාමය පවත්වාගෙන යෑම. මේ වෙනකොට ඉස්පිරිතාලවල බෝනොවන රෝග සම්බන්ධ සායනවල ලෙඩ්ඩු බලන්නේ නෑ. මාධ්‍ය එයාලට ඕනෙ දේවල් විතරයි වාර්තා කරන්නේ. අවුරුද්දක් වෙලත් තවම බෝනොවන රෝග, ඒ කියන්නේ දියවැඩියාව, රුධිර පීඩනය, හෘද රෝග වගේ ලෙඩ්ඩු බලන්නේ නෑ. සම්පූර්ණයෙන් සේවා ක්ෂේත්‍රය කඩාගෙන වැටිලා. හැම අංශයකම එහෙමයි. උදාහරණයක් විදිහට මම මෑතකදි ගියා, රජයේ ආයතනයකට. යන්න බෑ ඇතුළට. තව තැනකට ගියා, එතැන ඇතුළට සපත්තු ගලවලා යන්න ඕනෙ. මම අහන්නේ මොකක්ද මේ ප්‍රොටෝකෝලය. අපේ ශිෂ්ඨාචාරය සම්පූර්ණයෙන් බිඳවැටිලා තියෙන්නේ.
හතරවැනි කාරණය තමයි, අපේ මාධ්‍ය මේ ගැන වගකීමෙන් යුතුව ක්‍රියාකරන්න ඕනෙ. විශේෂයෙන්ම වෙනස් කොට සැලකීම කරන්න එපා කියලා කියන්න ඕනෙ. ජාතිවාදීව වෙනස් කොට සැලකීම පහුගිය කාලයේ තදබල ලෙස සිද්ධ වුණා.
පස්වැනි කාරණය තමයි, ඉතා වැදගත්ම දේ.ආණ්ඩුවේ වගකීම මොකක්ද? ආණ්ඩුවේ වගකීම තමයි, හරි තීනදු-තීරණ ගැනීම. හැමවෙලාවෙම නිවැරදි තීන්දු ගන්න ඕනෙ.

මේක ශිෂ්ඨාචාරයේ කඩාවැටීමක්

ඇහුව ප්‍රශ්නය කා‌ගෙද වැරැද්ද කියලා. මේකත් එක්ක අවුරුද්දක් ආව ගමන දිහා හැරිලා බැලුවා නම් මේකේ තියෙන වැරදි කළමනාකරණය, මානව හිමිකම් උල්ලංඝනය, අවිද්‍යාත්මක විදිහට රජයේ ආයතන සහ බලධාරීන් ක්‍රියාත්මක වීම පෙනෙන්නට තියෙනවා. මේ පෙන්නුම් කරන්නේ මුලින් කිව්වා වගේ ශිෂ්ඨාචාරයේ කඩාවැටීමක්. ලංකාව ගැන වෙනම සාකච්ඡාවක් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. මම මේ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක්. මම හිටපු ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයෙක්. කාලයකට උඩදි වසංගත පාලනයට සෘජුව දායකවෙලා තියෙනවා. ඒ කාලවලදි අත්දැකීම් සහ අපි අපේ දැනුම එකතැන තියාගත්තේ නෑ. අපි ඒ දේවල් ගැන කියවමින්, ලෝකයේ වෙන්නේ මොකක්ද කියලා බලමින් වැඩ කළා. මේක නිකම් නැවියා නැති නැවක් වගේ. ඔහේ පාවෙනවා.

ඉදිරියේදි මේ අවදානම කොයිවිදිහට වැඩිවෙයිද ?

පළමු, දෙවැනි සහ තුන්වැනි රැලි කියන්නේ මේගොල්ලො විසින් හදලා දුන්නු දේවල්. මේ බංකොලොත් ක්‍රමවේදය තුළ එයාලාම හදලා දුන්නු දේවල්. පළවැනි දේ වුණේ මේ වයිරස් එකට රටට ඇතුළු වෙන්න ඉඩක් නොදෙන එක. ඒකට කිසිම උත්සාහයක් ගත්තේ නෑනේ. ඇත්තටම වෛරස් එකක් ආවට පස්සේ ඒක පාලනය කරන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මේ වගේ වෛරස් එකක්. මේ වෛරස් එකේ හැසිරීම මේක තමයි. යම්කිසි විදිහකට වැඩිවෙනවා. ඊට පස්සේ අඩුවෙනවා. අලුත් ප්‍රභේද එනවා. ඊට පස්සේ වැඩිවෙනවා. ඉතින් කාලෙන්-කාලෙට මිනිස්සුන්ට දෙන සීනිබෝල තමයි, මේ පළමු රැල්ල, දෙවැනි රැල්ල කියන ඒවා. අපිට ඒක වැදගත් නෑනේ. මේ රැලි අතරත් රෝගීන් බෝවෙන එක සිද්ධ වෙනවානේ. මේ රැලි අතර මිනිස්සු මැරෙන එකත් සිද්ධ වුණානේ.

මේ තියෙන්නෙ අපේ වැඩවල ප්‍රතිඵල

ලංකාව සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයන් එක්කත් මං කතා කළා. ලංකාවේ මේ තියෙන්නේ දික්ගැස්සුණු ප්‍රතිචාරයක්. පළවැනි අවස්ථාවේදී කළෙත් ලොක්ඩවුන් එකක් නෙමෙයිනේ. ඒ ඇඳිරි නීතියක් දැම්මේ. ලෝකේ කොහෙවත් වුණේ නැති දෙයක්. අනෙක් රටවල කළේ ලොක්ඩවුන්. මෙහේ දැම්මේ ලොක්ඩවුන් එකක් නෙමෙයි. ලොක්ඩවුන් එකකදි විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒකෙදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනවා. ඇතැම් විට අවශ්‍යතා හැටියට මිනිස්සුන්ට රස්සාවලට වගේ යන්න පුළුවන්. විශේෂම දේ තමයි, රජයේ මැදිහත්වීමෙන් අත්‍යවශ්‍ය සේවා සපයනවා. ඒ මොකුත් නැතුවනෙ මේ රටේ වැඩ වුණේ. පොලිස් ඇඳිරි නීතියක් දැම්මේ. අපේ මහජන සෞඛ්‍ය ප්‍රොටෝකෝලයන්ට අනුකූල දෙයක් නෙමෙයි ඒක. මේවා සාකච්ඡාවට ගත්තේ නැහැ. දෙන සීනිබෝල කන්න තමයි මිනිස්සුන්ව පුරුදු කළේ. ඒකෙන් වුණේ ඒ කාලවකවානුවේ මිනිස්සුන්ව හිරකරගෙන හිටියා. ඒ අතරතුර තොන්ඩමන්ගේ මළගෙදර වගේ ඒවත් පැවැත්වුණා. මේක හෙමින්-හෙමින් රට පුරාම පැතිරුණා. මොකක්ද මේක.. සම්පූර්ණ විහිළුවකනෙ. මේක බ්‍රැන්ඩික්ස් එකෙන්ද ආවේ? මාළු මාර්කට් එකෙන්ද ආවේ? කොහෙන් ආවා කියලද විශ්වාස කරන්නේ? මම දැක්කා කවුද ප්‍රශ්න කරනවා පෑලියගොඩ මාළු මාර්කට් එකට කොහොමද එංගලන්තයේ ප්‍රභේදයක් ආවේ කියලා. කරගෙන ගිය බොරුවේ ඇත්ත තත්ත්වය දැන් එළිවෙලා තියෙනවා. රෙදි නෑ දැන්… දැන් තමයි හෙලුව අනාවරණය වෙලා තියෙන්නේ.

මේ තියෙන්නෙ හදන දත්ත

දැන් ඉන්න වසංගත රෝග සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥයා කියලා තියෙන සම්පූර්ණ බොරු, වැරදි කතාවක් අද මාධ්‍යයක දාලා තිබුණා. දිගින්-දිගටම කිව්වේ සමාජ ව්‍යාප්තියක් නෑ කියලා. කාවද මේ බොරු කියලා රවට්ටන්න හදන්නේ. අනෙක මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, මේ දත්ත කියන ඒවා නිරපේක්ෂ දේවල් නෙමෙයි. ඒවා සාපේක්ෂ දේවල්. බොහොම විවෘත මනසින් බලන්න ඕනෙ. අනෙක් වැදගත්ම කාරණය තමයි, අපේ රටේ පීසීආර්වල තත්ත්වය මොකක්ද කියන එක. කවදාවත් අවශ්‍ය වෙලාවට, නිසි මට්ටමට සිද්ධවුණාද? අපේ මේ දත්ත අවශ්‍ය විදිහට හදපු දත්ත. ඒ කාලවලට අවශ්‍ය විදිහට තීරණය කරලා, මොන විදිහට ද මේ වසංගතය ගැන පින්තූරය එළියට දෙන්නේ කියලා ඒ අවශ්‍ය විදිහට තමයි එයාලා මේ දත්ත හදලා තියෙන්නේ. අපිට හිතන්න වෙන්නේ එහෙමයි.

මේ තත්ත්වයෙන් ගොඩඑන්න ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ කොහොමද ?

ඇත්තටම දැන් නම් කියන්න වෙන්නේ නහයට උඩින් වතුර ගිහින් ඉවරයි කියලයි. ඒ නහයට උඩින් ගිය වතුර ටික දැන් ඔළුවට උඩින් යමින් තියෙන්නේ. සමාජ විද්‍යාව අනුව ගත්තොත් ප්‍රංශ දාර්ශනික මයිකල් ෆූකෝගේ ප්‍රසිද්ධ ප්‍රකාශය තමයි, විසංයෝජනය කියන එක. ඇත්තටම අපිට අවශ්‍ය අපේ සෞඛ්‍ය පද්ධතිය නැවත විසංයෝජනය කිරීමක්. ප්‍රතිසංස්කරණය කරන්න බෑ. මේ පද්ධතිය වැරදියි. මේ පද්ධතිය අන්ධයි. මෙහෙම යන්න අමාරුයි. මේක අනෙක් අංශවලටත් අදාළයි. මේකෙ සම්පූර්ණයෙන් ඉන්නේ මේ ගැන කිසිම දැනුමක් නැති මිනිස්සු.
Previous articleපාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අවතාරයක්ද?
Next articleඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි – විකල්ප යෝජනාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here